දැවෙන
සිත් :
ඉවසීම නැති නිසා සැනසීම නැති වුණා
“මං ජීවත් වෙන්න නොකරපු දෙයක් නැහැ..මගෙ දරුවෝ පුංචි කාලේ තමයි මගෙ රස්සාව නැති
වුණේ. මම පුද්ගලික අංශයේ රස්සාවක් කරපු කෙනෙක්. කන්තෝරුවෙ අය බොරු කියලා මා මුදල්
වංචාවකට හසු කෙරුවා. නඩු කියන්න මට සල්ලි තිබුණේ නැහැ.
මගෙ බිරිඳවත් පිළිගත්තේ නැහැ මම හොරෙක් නොවන බව. එයා කිව්වේම මම සල්ලි හොරකම් කරලා
වෙන කෙනෙක්ට දෙන්න ඇති කියලා. ඒත් කිසිම දවසක හොරකම් නොකරපු මා අන්තිමට එයා
මිනිමරුවෙක් කෙරුවා.“
මැදිවියේ මිනිසා පවසන්නට වුයේ බොහෝ කනගාටුවෙනි. ඔහු වයස අවුරුදු පනහක් තරමේ අයෙකි.
රස්සාව නැති වුණාට පස්සේ මම කුලී වැඩ කරන්න ගත්තා. ගෙවල් හදන තැන්වල අත් උදව්වට
ගියා. මට කවදාවත් එහෙම තැනක වැඩ කරලා පුරුද්දක් තිබුණේ නැහැ. මගේ සහෝදරයෝ කැමති
වුණේ නැහැ මම කුලී වැඩ කරන්න යනවට. මගේ අයියා විවාහ වෙලා හිටියට එයාට දරුවෝ හිටියේ
නැහැ. අයියා අපේ ලොකු දුවව එයාගේ ගෙදර එක්ක ගෙන ගියා. මට නම් ඕන වුණේ කන්න බොන්න
නැති වුණත් දරුවෝ දෙන්නා මා ළඟ තියා ගන්න. එයා නම් බොහෝම කැමැත්තෙන් අයියට දුව බාර
දුන්නා. බාල දුව විතරයි ගෙදර හිටියේ. මම සමහර වෙලාවට දුර පළාත්වලත් වැඩට ගියා.
පවුලට ඕන වුණේ සල්ලි විතරයි.
“පුතේ උඹ ඔය දුර පළාත්වල වැඩට යන එක නතර කරලා මේ ළඟ පාතින් රස්සාවක් හොයා ගනින්.“
අම්මා මට කිහිප දවසක්ම කිව්වා. ඒත් ඇයි අම්මා එහෙම කියන්නේ කියලා මට තේරුණේ නැහැ. .
“මචං උඹ පොඩ්ඩක් ගෙදර ගැන කල්පනාවෙන් හිටපං“
මාසයකට විතර පස්සේ ගමට ආ මට මගේ යාළුවෙක් කිව්වේ අපි පුංචි සාදයක් දාද්දි. ඒ වෙලාවේ
මත් වෙලා හිටිය මට ඒක ඒ තරම් තේරුණේ නැහැ. ඒ වුණත් පහුවදා මම මේ කතාව මතක් වෙලා
යාළුවාගෙන් විස්තර ඇහුවා. යාළුවා කිව්වෙ ම නෑ.
මම දවස් කිහිපයක් ගෙරදට වෙලා හිටියා.
“ ඇයි තමුසේ වැඩට යන්නේ නැත්තේ. මෙතන ලැගලා හිටියාම කන්න බොන්න ඉබේ ලැබෙනවද? “
බිරිඳ පොල්ලෙන් ගනවා වගේ උදේ හවස කියවන්න ගත්තා. ඒ වෙනකොට මගේ අතේ රුපියල් දහ දාහක්
විතර තිබුණා. මම කාමරයට ගිහිල්ලා පවුලගේ අතට රුපියල් පන්දාහක් දුන්නා. එච්චර වෙලා
මට දොස් කියමින් හිටපු එයා ඒක අතට ගත්තේ හිනාවෙලා. මං හිතුවා එතකොටවත් මට කනක්
ඇහිලා ඉන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණත් එයා ආයෙමත් හැන්දෑ වෙනකොට කියවන්න ගත්තා.
“මුසලකමට ගෙදරට වෙලා ඉන්නේ නැතිව රස්සාවට යනවකෝ.“
කවදාවත් සැනසිල්ලේ ගෙදර ඉන්න නැති නිසා මම පහුවදා උදේම වැඩට යනවා කියලා හිතා ගත්තා.
ඒත් ගෙදරින් යනවා කියලා හිතෙන කොට මට මතක් වුණේ මගේ යාළුවා කියපු එක.
“මචං උඹ පොඩ්ඩක් ගෙදර ගැන කල්පනාවෙන් හිටපං“
එදා උදේ මම ගෙදරින් යන්න පිට වෙන්න හදනකොට බිරිඳ තේ එකක් හදලා දුන්නා. ඒ දුන්නෙත්
ඕනෑවට එපාවට. මට තේ බොන්නවත් හිතක් තිබුණේ නැහැ.. මම වචනයක් වත් කතා නොකර ගෙදරින්
එළියට බැස්සා. දුව මා පස්සෙන් ආවා. මම පොඩි කෙල්ලගෙ ඔළුව අතගෑවේ බොහෝම ආදරෙන්. මට
ගෙදර සැනසිල්ලක් තිබුණා නම් තිබුණේ පොඩි කෙල්ලගේ හිනාවයි කතාවයි විතරයි.
“ඔයා කවද්ද ආයේ එන්නේ.....“පවුල මගෙන් ඇහුවා
මතු සම්බන්ධයි...
ඉනෝකා සමරවික්රම |