[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුද්ධ ශාසනය රැක ගැනීමේ වගකීම හා වගවීම

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරන්නේ පොලොන්නරුව සෝමවතී රාජමහා විහාරාධිපති මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය වැඩබලන ලේඛකාධිකාරි ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ කථාකාචාර්ය හා වැඩබැලූ අංශාධිපති වශයෙන් ද කටයුතු කළහ.

සම්බුද්ධ ශාසනය රැක ගැනීමේ වගකීම හා වගවීම

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඉතාමත් කෙළිදෙළෙන් ගත කල ළමා කාලයේදී ම මහණදම් පිරීමට කටයුතු කළා. ඒ පිළිබඳ මතකය ආවර්ජනය කරනවා නම්,

ඔව්. මම ඉබ්බාගමුව පාසලෙන් මූලික අධ්‍යාපනය ලබාගෙන නවවන ශ්‍රේණිය සමත් වෙලා මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ වකවානුව වනවිට පහමුණේ ගුණානන්ද අනුනායක හාමුදුරුවන් වහන්සේ ධර්මරාජ විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කළා. 1967 දෙසැම්බර් 12 වනදා මල්වතු මහා විහාරයට පැමිණීමත් සමඟ අධ්‍යයන කටයුතු සඳහා සංඝරාජ පිරිවෙනට සම්බන්ධ වුණා. පොඩි හාමුදුරුවන් වහන්සේලා ආශ්‍රය කිරීමට ලැබීම බොහොම සතුට දනවන කාරණාවක් වගේම ඒ සියලු දෙනා අතර මම පන්තියේ පළමුවැනියා වීම තවත් සතුටට හේතුවක් වුණා. කුඩා සාමණේර හාමුදුරුවන් වහන්සේලා සමඟ නිතර සතුටින් කාලය ගත කිරීමට ලැබීම නිසාම පැවිදි වීමේ ආසාව නිරායාසයෙන්ම ඇති වුණා. ඒ අනුව සිරිමල්වත්තේ ආනන්ද අනු නායක හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1968 මැයි 08 වනදා මල්වතු මහා විහාරයේදී උතුම් වූ ප්‍රවෘජ්‍යා භූමියට පත්වුණා. කුඩා සාමණේර නමක් විදිහට අනෙකුත් පොඩි හාමුදුරුවන් වහන්සේලා සමඟ සංඝ රාජ පිරිවෙනේම අධ්‍යාපන කටයුතුවල නිරත වුණ ඒ සාමණේර අවධිය සිහිපත් වන විට අදටත් විශාල සතුටක් ඇතිවනවා.

පිරිවෙන් අධ්‍යාපනයේදී වගේම උසස් අධ්‍යාපනය ලබන කාලයේදීත් ඔබ වහන්සේට අමතක නොවන රසමුසු අද්දැකීම් අත්විඳීමට ලැබුණේ කුමන ආකාරයෙන්ද?

පාලි, සංස්කෘත බෞද්ධ සංස්කෘතිය සිංහල විෂයන් ඉතාම හොඳින් හැදෑරුවා. ඒ වගේම ප්‍රාචීන ප්‍රාරම්භ , ප්‍රාචීන මධ්‍යම, ප්‍රාචීන අවසාන විභාග වගේම උසස් පෙළ අධ්‍යයන කටයුතු සාර්ථකව කරගෙන 1975දී පේරාදෙණිය විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අවතීර්ණ වුණා. ප්‍රාචීන ප්‍රාරම්භ අධ්‍යයන කටයුතුවල නිරත වූ වකවානුවේ සඟරජවත නම් කාව්‍ය සංග්‍රහය නැවත සංස්කරණයක් ලෙස මුද්‍රණය කිරීමට කටයුතු කළා වගේම ප්‍රාචීන මධ්‍යම අධ්‍යයන කාලසීමාව තුළ වෘත්තමාලා ග්‍රන්ථයට සන්නයක් රචනා කිරීමට කටයුතු කළා.

පිරිවෙන් අධ්‍යාපනය ලබන කාලයේදී ශිෂ්‍ය සමිතියේ ලේකම් වශයෙන් වසර තුනක් අඛණ්ඩව ඉතාමත් ක්‍රියාශීලිව කටයුතු කළා.පාලි, සංස්කෘත, වාග්විද්‍යාව වැනි විෂයන් තෝරාගෙන ඉතාමත් කැපවීමෙන් අධ්‍යයන කටයුතු වල නිරත වීම නිසා ඉහළ ලකුණු ලබා ගැනීමට අවස්ථාව උදාවීමෙන් ආර්යවංශ මහා නායක සිහිවටන ශිෂ්‍යත්වය ලබා ගැනීමට හැකි වුණා. වර්තමාන සමාජය තුළ ගිහි පැවිදි දෙපාර්ශ්වයම අන්තර්ජාලයට බොහෝ සේ හුරුවීම නිසා පොත පත කියවීමෙන් දුරස්වෙලා තිබෙන බව දක්නට ලැබෙනවා. ඒත් ඒ කාල වකවානුවේදී අප නිතරම පොත්පත් ආශ්‍රය කරගෙන අරමුණක් ඇතුව අධ්‍යාපන කටයුතු වල නිරත වීමෙන් ඉතාම පහසුවෙන් විභාග සමත්වීමේ හැකියාව ලැබුණා. ගෞරව උපාධිය සඳහා සංස්කෘත විෂයත් අනු විෂය සඳහා පාලි විෂයත් අධ්‍යයනය කළා. එය සමත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයෙනුත් ඉන්දියාවේ පූනා විශ්ව විද්‍යාලයෙනුත් කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීමට ආරාධනාව ලැබුණත් පේරාදෙණිය සංස්කෘත ආචාර්යවරයකු නොසිටි නිසා එම විශ්වවිද්‍යාලය තුළ කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු ආරම්භ කළා. ඒ වකවානුව තුළ සංස්කෘත ඉගෙන ගැනීම සඳහා එකුදු ශිෂ්‍යයෙක්වත් නොසිටි තත්ත්වයක් පැවතුණා. ඒ කාලය වන විට ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියටම සංස්කෘත විෂය සම්බන්ධ කථිකාචාර්යවරු දෙදෙනෙක් පමණයි සිටියේ. මම පළ කළ දැන්වීමකට අනුව පැමිණි ශිෂ්‍යයන් පස්දෙනෙකුගෙන් මූලිකව සංස්කෘත අධ්‍යයන අංශයේ අධ්‍යයන කටයුතු ආරම්භ කළා. පෙරවරු කාලයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් පස්වරු කාලයේදී සංඝරාජ පිරිවෙනේත් ආචාර්යවරයකු වශයෙන් සේවය කිරීමට වගබලා ගත්තා.

ඔබ වහන්සේගේ පැවිදි ජීවිතය ගොඩනඟා ගැනීමට ගුරු හාමුදුරුවරුන්ගේ ආභාෂය කෙතරම් දුරට ඉවහල් වුණාද?

සංඝරාජ පිරිවෙනේ පරිවේණාධිපති වශයෙන් කටයුතු කළ සිරිමල්වත්තේ ආනන්ද අනුනාහිමිපාණන් වහන්සේ සංස්කෘත , පාලි , සිංහල පිළිබඳ අග්‍රගණ්‍ය පඬිවරයෙක්. උන්වහන්සේ දේවනාගරී හෙවත් සංස්කෘත අක්ෂරයෙන් සමන්විත ග්‍රන්ථයම බලාගෙන සංස්කෘත ඉගැන්වූවා. අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළා පමණක් නෙවෙයි, ඊට පරිබාහිරව සියලුම කාරණාවන් ඉගැන්වීමට නිතරම කටයුතු කළා. මල්වතු විහාරය ආරම්භයේ සිට ඉතිහාස තොරතුරුත් චාරිත්‍ර වාරිත්‍ර අස්ගිරිය විහාරය ඇතුළු ශාසනික ඓතිහාසික තොරතුරුත් ඉගැන්වීමට කටයුතු කළ නිසා ඒ තොරතුරු දැන ගැනීමේ භික්ෂු ආකල්ප වඩාත් නිවැරදි ආකාරයට ගොඩනඟා ගැනීමේ හැකියාව ලැබුණා. ඒ වගේම මල්වතු මහා විහාරයේ සියලු කාර්යයන් සඳහා සහභාගි කරවා ගැනීමට කටයුතු කළා. 1982දී නායක හාමුදුරුවන් විසින් කාරක සංඝ සභාවට පත්කර ගැනීමත් සමඟම ඒ කාර්යභාරයත් විනය කර්ම ආදියත් සමිති සමාගම්වල කටයුතුත් ඉෂ්ට සිද්ධ කළා.

ඔබ වහන්සේ භික්ෂු ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් අනුව නූතන භික්ෂු පරපුරට ලබාදිය හැකි අවවාද මොනවාද?

සරණංකර ස්වාමීන් වහන්සේ වැඩ සිටි කාලය වන විට උපසම්පදා භික්ෂූන් වහන්සේලා එකනමක්වත් වැඩ නොසිටි කාලයක් .ඒ වගේම සිංහල අධ්‍යාපනයත් ඉතාමත් පහළ මට්ටමක පැවතුණා. ඒ අවස්ථාවේ සාරාර්ථ සංග්‍රහය රචනා කළ සංඝරාජ හිමියන් ඒ ග්‍රන්ථය 1705 දී රාජ්‍යත්වයට පත්වූ නරේන්ද්‍රසිංහ රජතුමාට පිළිගැන්වූවා. අපමණ සතුටට පත්ව සිටි රජතුමා සංඝරාජ හිමියන්ට අවශ්‍ය දෙයක් ලබාදීමට විමසීමේදී නම ගමවත් නිවැරදිව ලියාගන්නට බැරිව සිටින පිරිසට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන ලෙසට රජුගෙන් කළ ඉල්ලීම ඉතාමත් සතුටින් ඉෂ්ට කළා. ඒ වගේම එකම උපසම්පදා භික්ෂූන්වහන්සේ නමක්වත් නොසිටීම හේතු කොටගෙන විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ රජවරුන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව 1853 උපාලි හාමුදුරුවන් ඇතුළු තවත් ස්වාමීන් වහන්සේලා වැඩම කරවා ගැනීමට කටයුතු කළා. ඒ අනුව පොහොය සීමා, සංඝාවාස, වෙහෙර විහාර ඉදිකරමින් එදා උපසම්පදා කරමින් ආරම්භ කළ, ශාසනය තමයි වර්තමානය දක්වා පවතින්නේ. සංඝරාජ හාමුදුරුවන් වහන්සේ සකස් කර තිබෙන කථිකාවක් අනුව බණ දහම්පොත් රචනා කළා. සියම්රටේ පරමධාර්මික රජතුමාගේ අනුදැනුම ඇතිව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් වැලිවිට සරණංකර හාමුදුරුවන් වහන්සේට ශ්‍රී ලංකාද්වීපය තුළ සංඝරාජ පදවියට පත්කිරීමටත් 1762 දී මල්වතු මහා විහාරයේ මහානායක පදවියට තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත හාමුදුරුවන් වහන්සේ පත්කිරීමටත්, අස්ගිරි මහා විහාරයේ මහානායක පදවියට උරුලෑවත්තේ ශ්‍රී ධම්මසිද්ධි හාමුදුරුවන් වහන්සේ පත්කිරීමටත් කටයුතු කළා. ඒ වගේම මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ උපසම්පදාව අඛණ්ඩ ව පවත්වා ඉගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කළා. කාරක පදවි, නායක පදවි ආදිය රජතුමා මුල් වෙමින් ආරම්භ කර තිබූ දේවල් වශයෙන් එදා සිට වර්තමානය දක්වාම පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටිනවා. ඒ චාරිත්‍ර වාරිත්‍ර සියල්ලම කුඩා කාලයේ සිටම මල්වතු මහා විහාර නායක හිමිපාණන් වහන්සේ පුරුදු පුහුණු කළා. නමුත් වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද නිසා එම කාරණා බොහෝදුරට අභාවයට පත්වෙමින් පවතිනවා. දුරකතනය, අන්තර්ජාලය වැනි තාක්ෂණය නිසා ගිහි පැවිදි සමාජය සම්පූර්ණයෙන් පිරිහීමට පවතින යුගයක් ඇතිවෙලා. මල්වතු අස්ගිරි උභය විහාරය ඇතුළු අමරපුර නිකාය , රාමඤ්ඤ නිකාය, මහානායක මාහිමිපාණන් වහන්සේලා රජයත් මූලික කරගෙන අනාගතය තුළ ශාසනය පවත්වාගෙන යාමට පවතින උවදුරු වළක්වා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා.

මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ එදා සිට වර්තමානය දක්වා පවතින කථිකාවත් සමඟ අනෙකුත් නිකායවල පවතින කථිකාවත් සම්බන්ධ කර ගනිමින් ශාසනය ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය කරුණු කාරණා සම්පාදනය කරමින් භික්ෂූන් වහන්සේලාට ශ්‍රද්ධාවත්, ප්‍රඥාවත් ගොඩනැඟෙන ආකාරයට අධ්‍යාපනය ලබා දිය යුතුයි. ඒවගේම භික්ෂූන් වහන්සේ උපැවිදි වීමේ ප්‍රමාණයට අනුව එතරම් ප්‍රමාණයක පැවිදි වීමක් සිදුවන්නේ නැහැ. පැවිදි කිරීමට දරුවන් සොයා ගැනීම අපහසු කාරණාවක් නිසා එය පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. පැවිදි කරන දරුවන් වැඩි කාලයක පුහුණුවක් ලබාදෙමින් පැවිදි කළ යුතුයි. ශාසනය ඇති කිරීමට වඩා ශාසනය නැති කිරීමේ බලවේගයන් අප හමුවේ උදාවෙලා තියෙනවා. ඒනිසා මේවා පිළිබඳව මහානායක මා හිමිපාණන් වහන්සේලා මුල්කරගෙන රජයත් මැදිහත් කරගෙන නීති පද්ධතියක් ඇති කරමින් ශාසනයේ ඉදිරි පැවැත්ම සඳහා කටයුතු කරගෙන යා යුතුයි. ඉතිහාසය , ආගම, සිංහල වැනි විෂයන් ගිහි පැවිදි සමාජයෙහි හදවත් තුළට කාවදින ආකාරයේ අධ්‍යාපනයක් ගොඩනැඟිය යුතුයි.

අපේ හාමුදුරුවනේ අභියෝග හමුවේ ඔබ වහන්සේලා ක්‍රියා කරන ආකාරය පැහැදිලි කරනවා නම්,

දේශීය අභියෝග මෙන්ම විදේශීය අභියෝග අප හමුවේ දක්නට ලැබෙනවා. එම අභියෝගයට මුහුණ දිය යුත්තේ අපේ ජනාධිපතිතුමා ඇතුළු රජයේ අවධානය පළමු කොට යොමුකරගෙන සාරධර්ම සහිත විනයානුකූල , ධර්මානුකූල ථේරවාදී භික්ෂු ආකල්පයන්ගෙන් පරිපුර්ණ පරපුරක් ගොඩ නගා ගැනීමටයි.

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk