[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලංකාවේ බෞද්ධ ස්තූප - 4: මිහිඳු මහ රහතන් වහන්සේගේ ඉල්ලීමෙන් ඉදිකළ ථූපාරාමය

ලංකාවේ බෞද්ධ ස්තූප - 4:

මිහිඳු මහ රහතන් වහන්සේගේ ඉල්ලීමෙන් ඉදිකළ ථූපාරාමය

"පත්තපමාණං මුනිරාජ ධාතුයො
නිධාය ධාතුංපිච දක්ඛිණ කඛං
දෙවාදි තිසෙසෙන කාතංහි ථූපා
රාමාභිදානං පනමාමි භත්‍යා

දකුණු අකුධාතුන් වහන්සේ හා පාත්‍රයක් ප්‍රමාණ වූ ස්වර්ඥ ධාතූන් වහන්සේ ද තැන්පත් කොට, දෙවන පෑතිස් මහ රජතුමා විසින් කරවන ලද උතුම් ථූපාරාම ස්තූපයට, මම නමස්කාර කරමි."

ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මා හිමියන් ගේ ඉල්ලීමක් පරිදි ,එකල ලක් ධරණීතලයේ පළමු බෞද්ධ පාලකයා වූ දේවානම්පියතිස්ස රජතුමා විසින් උස් වේදිකාවක් මත තනවන ලද ප්‍රථම ඵෙතිහාසික ස්තූපය “ථූපාරාමය යි.”

මේ මහා භද්‍ර කල්පයෙහි පහළ වූ සිව් බුදුරජාණන් වහන්සේලා ගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ පුණ්‍ය භූමියක් බව මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුට පැවසූහ. මුල් අවධියේ දී පණ්ඩුකාභය රජු, මහේජ යක්ෂයා වෙනුවෙන් තැන වූ දෙවොලක් මෙහි පැවැති බව ජනප්‍රවාදයෙහි සඳහන් වේ. එහෙත් ථූපාරාම ස්තූපය ඉදිකරන ක්‍රි. පූ. 3 වෙනි සියවසේ එවැනි දේවාලයක් එහි නොවූ බව ද සඳහන් වේ. මෙම පෙදෙස පුරාණ නන්දන උයනට අයත් භූමියක් ලෙස ද සඳහන් වේ. දේවානම්පියතිස්ස රජතුමා පළමුව මහා විහාරය ද, දෙවනුව මිහින්තලයේ චේතියගිරි විහාරය ද, තුන්වෙනුව ථූපාරාමය ද ඉදි කළ බව මහාවංශය සඳහන් කරයි.

බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමට මෙන් ම බුදුරජාණන් වහන්සේ සිහි කරමින් පූජා පැවැත්වීමට පූජාර්භ වස්තුවක් නොමැතිවීමේ අඩුව සපුරාලනු පිණිස ථූපාරාම ස්තූපය ඉදිකරවා තිබේ. මෙම කාලය වන විට බුද්ධ ප්‍රතිමා තැනීමේ ශිල්පය ආරම්භ වී නොතිබූ බව ද සඳහන් වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ ගේ අකුධාතූන් වහන්සේ මෙම ස්තූපයේ තැන්පත් කොට ඇති බව මහා වංශයේ සඳහන් වේ. අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ඉල්ලීමක් අනුව ස්තූපය ගොඩනැඟීමේ කටයුතු ආරම්භ වූ පසු උන්වහන්සේගේ ම අනුශාසනාව පරිදි ශක්‍රදේවේන්ද්‍රයා සතු වූ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතූන් වහන්සේ ස්තූපයේ තැන්පත් කිරීම සඳහා සුමන සාමණේරයන් වහන්සේ විසින් වැඩම කරවන ලදී. මඟුල් ඇතු පිට තබා, පෙරහරින්, මහත් හරසරින් වැඩම වූ අකුධාතූන් වහන්සේ, අභය වැවෙන් ගෙනා ඇතාගේ උසට ගොඩ ගසන ලද පස් ගොඩ මතට වැඩම කරවන ලදී. ඇතු එහි ම නැවතී ධාතූන් වහන්සේට ආරක්ෂාව සලසන ලද බවට සඳහන් වේ.

දේවානම්පියතිස්ස මහ රජතුමා, වහා ගඩොල් තනවා ස්තූපය ඉදිකරවී ය. මහාවංශයේ සඳහන් වන පරිද්දෙන් ස්තූපයේ ධාතු ගර්භය ඉතා ඉක්මනින් නිම කරවා තිබේ. අනතුරුව දකුණු අකුධාතූන් වහන්සේ සහ රාජකීයයෝ නොයෙක් වස්තූන් ද ධාතු ගර්භයේ තැන්පත් කරන ලදින් ස්තූපයේ ඉදිකිරීම් අවසන් කරන ලදී. ථූපාරාම ස්තූපය අලංකාර ස්තූපයකි. ඒ අලංකාරයට හේතු වී ඇත්තේ ඒ වටා තනා ඇති වටදාගේ විසිතුරු ගල් කණු ය. ස්තූපය වටා අලංකාර කුලුනු ශීර්ෂ සහිත ගල් කණු පේළි හතරකි. මෙම කුලුනු මඟින් වටදාගෙය හෙවත් චේතියඝරයකින් ස්තූපය වසා පැවති ගොඩනැගිල්ලේ පියස්ස දරා සිටින්නට ඇති බව ද සඳහන් වේ. ඒ වගේ ම ස්තූපය අව් වැසි, සුළංඟින් ආරක්ෂා වීමටත්, ස්තූපයේ නිදන් කර ඇති ධාතූන් වහන්සේට ගෞරවය දැක්වීමක් උදෙසාත් වටදාගේ ඉදිකර තිබෙන්නට ඇති බව සඳහන් වේ.

මෙම අලංකාර වූ ද, ප්‍රමාණයෙන් කුඩා වූ ද ස්තූපය මුලින් ම ඉදි කරන ලද්දේ ධාන්‍ය ගොඩක එනම්, ධාන්‍යාකාර ස්වරූපයට ය. එහෙත් වරින් වර විනාශ වීමත් සමඟ නැවත නැවත ප්‍රතිසංස්කරණය කිරීමත් හේතුවෙන් වර්තමානයේ දක්නට ලැබෙන්නේ ඝණ්ටාකාර හැඩයයි. ස්තූපයේ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමෙන් පසු ධාතූන් වහන්සේ දැක් වූ ප්‍රාතිහාර්ය කෙරෙහි පැහැදුණු රජුගේ බාල සහෝදරයා වූ මත්තාභය රජ කුමරු සමඟ දහසක් දෙනා ද නොයෙක් ගම් ප්‍රදේශවල වැසියෝ පන්සියයක් දෙනා ද ,පැවිදි වූ බව මහා වංශයේ සඳහන් වේ.


ඝණ්ටාකාර හැඩය

මෙම ස්තූපය මුල් කොට දේවානම්පියතිස්ස රජතුමා විසින් සංඝාරාමයක් ද ගොඩනංවන ලදී. ස්තූප ආරාමය ‘ථූපාරාම’ නමින් ප්‍රකට විය. දේවානම්පියතිස්ස මහ රජුට පසු කාලීන රජවරු ථූපාරාම ස්තූපය ප්‍රතිසංස්කරණය සිදුකරමින් නවාංග රාශියක් ඊට එක් කළ බව ද සඳහන් වේ. වසභ රජු විසින් ස්තූපයේ කොතට රන් තහඩු සවිකරවන ලදී. ධාතුසේන රජු මෙන් ම දෙවැනි අග්ගබෝධි රජු විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී. මේ ආකාරයට දෙවැනි කාශ්‍යප රජු, මානවම්ම රජු, සය වැනි අග්ගබෝධි රජු, දෙවැනි මහින්ද රජු, දෙවැනි දප්පුල රජු, දෙවැනි සේන රජු, දෙවැනි උදය රජු, මහා පරාක්‍රමබාහු රජු යන රජවරුන් විසින් ඒ ඒ කාලවල දී යම් යම් ප්‍රතිසංස්කරණ හා නවාංග ද ස්තූපයට එකතු කරන ලද බව සඳහන් වේ.

ක්‍රි. ව. 840 පාණ්ඩ්‍යයෝ ථූපඝරයේ වස්තුව කොල්ලකා විනාශ කළහ. සොළීන් විසින් ද මුළු ථූපාරාමය ම කොල්ලකා විනාශ කරන ලදී. ක්‍රි. ව. 1862 දී සිදුකරන ලද ප්‍රතිසංස්කරණයෙන් ථූපාරාම ස්තූපයේ ප්‍රමාණය මෙන් ම හැඩය ද වෙනස් වී ඇත. වර්තමානයේ ස්තූපයේ උස අඩි 63 ක් ද විශ්කම්භය අඩි 59 ක් ද වේ. පිහිටි පොළවේ සිට අඩි 11 හා අඟල් 6ක් උස් වූ සලපතළ මළුවේ ස්තූපය ඉදිකර තිබේ. 2 වන සියවසේ ඉදිකළ මලසුන් ගෙවල් හතරක් සිව් කොනේ පිහිටා තිබේ.

ථූපාරාම ස්තූපය හාත්පස අවට භූමියේ විවිධ ආගමික ගොඩනැගිලි ඉදිකරන ලද බව ද වංශ කතාවේ සඳහන් වේ. නමුත් මෙම ගොඩනැගිලිවලින් වැඩි ප්‍රමාණයක් විනාශ වී ගොස් තිබේ. උත්තිය රජු විසින් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ පිරිනිවීමෙන් පසු ආදාහනය කර, සංඝමිත්තා ස්තූපය කරවී ය. එය ථූපාරාමයේ ප්‍රධාන පියගැට පෙළ ඉදිරියේ ඇති චතුරශ්‍රාකාර වේදිකාව සහිත කුඩා ස්තූපය වේ. ඒ අසලම එනම් ථූපාරාම ස්තූපයේ නැගෙනහිර දොරටුව අසල ගඩොලින් තැනූ වේදිකාවක් මත කුඩා ස්තූපයකි. එම ස්ථූපය වටා ගෙතී ඇති විශ්වාස කළ නොහැකි කතාවක් ද මහාවංශයේ සඳහන් වේ.

මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ, සතර බුදුරජාණන් වහන්සේලා එනම් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම බුදුරජාණන් වහන්සේලා ලංකා ද්වීපයට වැඩම කරවා නැවත දඹදිවට වඩින්නට අහසට පැන නැගුන ස්ථානයේ ශ්‍රී පාද සලකුණු පිහිටි අතර, ඒ සලකුණු මත ඉදිකරන ලද ස්තූපය ‘පාදලඤ්ජන” ස්තූපය නම් වේ. මෙම ස්තූපය ලජ්ජිතිස්ස රජු විසින් ඉදිකරන්නටඇතැයි ද සඳහන් වේ. ථූපාරාම ස්තූපය ඉදිරිපස ප්‍රවේශය අසල පිහිටි ඉතා පැරැණි ළිඳකි. එම ළිඳෙන් නාග ලෝකයේ සිට නාගයන් මතු වූ බවට ඇති ජනප්‍රවාදය නිසා එය "නාගලු ළිද "නම් ලැබී ඇත.

ථූපාරාම ස්තූපය වටා මෙවැනි බොහෝ ජනප්‍රවාදයන් මෙන් ම මහාවංශය හා සමන්ත පාසාදිකාව හා නොයෙක් සෙල්ලිපිවල ද විවිධ වර්ණනාවන් මෙන් ම ඵෙතිහාසික කරුණු ද සඳහන් වේ.

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk