[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්වාභාවික විපත්වල සැඟවුණු යථාර්ථය

ස්වාභාවික විපත්වල සැඟවුණු යථාර්ථය

ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය තීරණය වන්නේ එය තුළ ජීවීත්වන ජීවින්ගේ විශේෂයෙන් ම මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරිත්වය අනුව බව බුදුදහම පෙන්වා දෙයි. මනුෂ්‍යයා කෙලෙස්වලින් ආතුර නො වී ධර්මානුකූලව කටයුතු කිරීමේ දී ඔහුගේ එම නිවුණු සිත හෙවත් කුසල සිත වෙතින් ස්වභාව ධර්මයට හෙවත් පරිසරයට මුදා හැරෙන කිරණ යහපත් කිරණ වන අතර, ඒ මඟින් ස්වභාව ධර්මය යහපත් වී සමතුලිත භාවයෙන් ක්‍රියා කරයි.

මනුෂ්‍යයා කෙලෙස්වලින් ආතුර වී අධාර්මික ව කටයුතු කිරීමේ දී ඔහුගේ රත් වූ සිත හෙවත් අකුසල සිත වෙතින් ස්වභාව ධර්මයට හෙවත් පරිසරයට මුදා හැරෙන කිරණ අයහපත් විෂ කිරණ ය. ඒ මඟින් ස්වභාව ධර්මය අයහපත් වී අසමතුලිත භාවයෙන් ක්‍රියා කර යි. ඒ හේතුවෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදි මහා භූත රූප විකෘති වී ජල ගැලීම් , නියඟ භූමිකම්පා මෙන්ම වසංගත රෝග ආදිය ද ඇතිවන බව බුදුදහමේ පෙන්වා දී ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග ඇතැම් බෞද්ධ රටවල කොරෝනා වයිරස රෝගයේ ව්‍යාප්තිය මදක් හෝ අවම වූ බව දක්නට ඇති අතර, ආර්ථික අතින් ද, විද්‍යා හා තාක්ෂණ ඥානය අතින් ද ඉතා ඉහළ තලයක පසු වන බොහෝ බටහිර රටවල රෝගය පාලනය කර ගැනීම දුෂ්කර වී ඇති බව දක්නට ලැබේ. ඊට හේතුව ඒ ඒ රටවල සිදු කෙරෙන අකුසල කර්මයන්ගේ අඩු වැඩි වීම බව පෙන්වා දිය හැකි ය.

බටහිර අන්‍යාගමික රටවල පමණක් නොව පෙරදිග ඇතැම් බෞද්ධ රටවල ද පංච ශීලය සුරකින ධාර්මික දිවි පෙවෙතකට හුරු වූ මිනිසුන් සොයා ගැනීම තරමක අසීරු ය. බුදු දහමේ කේන්ද්‍රස්ථානය යනුවෙන් හඳුන්වන අපගේ ශ්‍රී ලංකාව තුළද මනුෂ්‍යයාගේ රස තෘෂ්ණාව සංතර්පය කිරීම සඳහා දිනකට මරණයට පත් කරනු ලබන ගවයන්, එළුවන්, කුකුළන් , ඌරන් හා තවත් ගොඩබිම වසන අහිංසක සතුන් ද, කරදිය හා මිරිදිය මත්ස්‍යයන් ද ප්‍රමාණය කෙ තරම් ද? තමන් ඝාතනය කිරීමේ දී වදවේදනාවට පත්වන මෙම සතුන් වෙතින් එම මරණීය අවස්ථාවේ දී පිටවන විෂ කිරණ මොනතරම් අධික තාපයකින් යුක්තවනවා ඇති ද? මෙම සතුන් අවසන් හුස්ම හෙළන්නේ මනුෂ්‍යයාට ආශිර්වාද කරමින් ද? නැතහොත් සාප කරමින් ද? එවිට පිටවන විෂ කිරණවලින් ස්වභාව ධර්මය විකෘති නො වන්නේ ද?

සොරකම් , වංචා දූෂණ, කාම අපරාධ, මත්පැන් හා මත්ද්‍රව්‍ය ආදි නොයෙකුත් විෂමාචාර සිදුකිරීමේ දී ස්වභාව ධර්මයට මුසුවන විෂ කිරණ ප්‍රමාණය ගණනය කළ හැකි ද?

මනුෂ්‍යයා විසින් දිනපතා ස්වභාවික පරිසරය වෙත මුදා හරිනු ලබන විෂ කිරණ කලක් තිස්සේ එකතු වීමෙන් එහි ප්‍රමාණය වැඩි වී ධාරිතාවය ඉක්ම ගිය විට පුපුරා යාමක් සිදු වේ. ස්වභාවික විපත් ලෙස අප විසින් හඳුන්වනු ලබන්නේ එම පුපුරා යාමයි. එය සුළි සුළඟක්, ජල ගැලීමක් භූමි කම්පාවක් හෝ වසංගත රෝගයක් වශයෙන් මතුවිය හැකි ය. මෙවැනි ව්‍යසන ඇතිවීමේ දී ඒවා දේවකෝප යනුවෙන් අපගේ පැරැන්නන් විසින් හැදින්වීම ඉතා සාධාරණ ය. ඊට හේතුව ලෝක පාලක දෙවියන් වන ස්වභාව ධර්මය කෝපවීම, සමතුලිත බව නැතිවීම මෙවැනි විපත් සිදුවන බැවිනි.

මේ සඳහා හොඳ උදාහරණයක් බුද්ධ කාලයෙන් පෙන්වා දිය හැකි ය. බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ විශාලා මහනුවර ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය යි. කලින් එම නගරයේ වැසියන් අතර පැවැති ධාර්මික තත්ත්වය කාලයාගේ ඇවෑමෙන් වෙනස් වී මනුෂ්‍යයන් අධාර්මික තත්ත්වයට පත් විය. මනුෂ්‍යයාගේ මනුස්සකම නැති වී ගොස් අමනුස්ස තත්ත්වයට පත් විය. අමනුස්සයන් බිහි වූයේ මනුෂ්‍යයාගේ ම චිත්ත සන්තානය තුළිනි. ඒ ආකාරයට අමනුස්ස බිය ඇති විය. මෙසේ මනුෂ්‍යයා අමනුස්ස සිතින් ක්‍රියාකිරීමේ දී පස් පව්, දස අකුසල් සිදු වී පරිසරයට හෙවත් ස්වභාව ධර්මයට විෂ කිරණ මුදාහැරීම සිදු විය. ස්වභාව ධර්මය විකෘති වී හෙවත් කෝප වී වැසි නැති විය. වගාවන් පාළු විය. ශික්ෂාව හෙවත් ආහාර නැතිවිය. ඒ ආකාරයට දුර්භික්ෂ බිය ඇති විය. ආහාර නැතිවීම නිසා ශරීරයට අවශ්‍ය පෝෂණය නැති වී මිනිසුන් රෝගී වූහ. ඒ ආකාරයට රෝග බිය ඇති විය.

පසුව බුදුරජාණන් වහන්සේ වැඩම කර උන්වහන්සේගේ මහා කරුණාවෙන් ස්වභාව ධර්මය තුළ විකෘති වී තිබූ, කර්කශ වී තිබූ පඨවි, ආපෝ, තේජෝ වායෝ ආදී මහා භූතයන් යළි සමතුලිත තත්ත්වයට පත් කරන ලදී. මේ සඳහා උන්වහන්සේ උපයෝගී කර ගත්තේ රතන සූත්‍රය යි. තව ද උන්වහන්සේ විසින් නුවරවාසීනට දහම් දෙසා පව්, දස, අකුසල කිරීමෙන් වළකාලන ලදී. එයින් විශාලා මහනුවර යළි යථා තත්ත්වයට පත් විය.

එසේ “නම් වසංගත රෝග ආදී ස්වභාවික විපත්වලින් මිදීමට නම් කළයුතුවන්නේ පස් පව්, දස අකුසල්වලින් වැළකී නිවුණු සිතක් භාවිත කරමින් ජීවත් වීම යි. එවිට පරිසරයට හෙවත් ස්වභාව ධර්මයට මුදා හැරෙන කිරණ තාපාංකයෙන් අඩු යහපත් සුදු කිරණ නිසා ස්වභාව ධර්මය සමතුලිත භාවයෙන් පවතී. ස්වභාවික විපත් සිදු නොවේ. සියලු අකටයුතුකම්.පව්කම් සිදුකරමින් උදේ හවා රතන සූත්‍රය දේශනා කළාට හෝ ශබ්දවාහිනී යන්ත්‍ර මඟින් විසුරුවා හැරියාට හරියන්නේ නැත. විකෘති වී ගිය ස්්වභාව ධර්මය යළි ප්‍රකෘතිමත් කිරීමේ ශක්තිය ශබ්දවාහිනී යන්ත්‍ර තුළ හෝ අකුසලයෙන් රත් වූ සිත් ඇති මනුෂ්‍යයන් තුළ හෝ නැති බැවිනි.

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk