[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් ආලෝකයෙන් විශ්වය ඒකාලෝක විය

සදහම් ආලෝකයෙන් විශ්වය ඒකාලෝක විය

බුද්ධ ජීවිතය සම්බන්ධයෙන් සිතන පතන ඕන ම කෙනෙකුට සිහියට නැගෙන එක ම පළමු සූත්‍රය වන්නේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව යි. මේ දේශනාව සිදු කර ඇත්තේ අද වැනි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක යි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් අනතුරු ව යම් දහමක් ලෝකය හමුවේ ප්‍රකාශ කළා නම්, ඒ හැම දහමක ම පදනම වෙලා තිබෙන්නේ මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව යි.

අප දන්නවා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ගිහි විනය සම්බන්ධයෙන් දේශනා කළ සූත්‍ර ධර්මයන් වන සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ, වසල, මංගල වැනි සූත්‍ර රාශියක් ගැන.

මේ සම්බන්ධයෙන් සලකන විට ත් ඒ හැම එකකට ම පදනම් වෙලා තිබෙන්නේත් මෙම දම්සක් සූත්‍ර දේශනාව යි.

ඒ කියන්නේ සිද්ධාර්ථ ගෞතම නම් වූ අප බෝධිසත්වයන් වහන්සේ එදා දිපංකර පාදමුලයේ දී මෙයින් සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි සිද්ධාර්ථ ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන බවට දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබා දුන් අවස්ථාවේ සිට එදා සුද්ධෝදන රජතුමාට දාව මහාමායා නම් දේවීන් කුසින් බිහි වී මේ මිහිපිට මිනිසත් බව ලබා ගත්තා.

එතැන් සිට 29 වන අවුරුද්දක් මුළුල්ලෙහි අධික ලෙස කාමභෝගි, අතිශය ලෞකික සැප සම්පත්වලට ගිජු වී, එහි ආශ්වාදය ලබා එහි ආදීනව ද මැනවින් දැන හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් යසෝදරා දේවීන් හට රාහුල පුත්කුමරු ලැබුණු දිනයේ එම ජීවිතයෙන් ඉවත්වීම හෙවත් නිස්සරණය අරමුණු කර ගිහිගෙයින් නික්මුණා. ඉන් අනතුරු ව උන්වහන්සේ අවුරුදු හයක් පුරා අත්වින්ඳේ එදා භාරතිය සමාජයේ විවිධ ආගමික ශාස්තෘවරයන් විසින් අධික ලෙස ශරීරයට දුක් දීමෙන් ලැබෙනවා කියන විමුක්තිය සොයා ගැනිම අරමුණු කොට අත්තකිලමථානුයෝගි දිවි පෙවෙතක් ගත කිරීමෙන් ලැබූ අත්දැකීම් රාශියක්. මෙය බැලූ බැල්මට සුළුපටු කාලයක් නොවේ. අවරුදු හයක්.

ඉතින් මේ අන්ත දෙකේ ම ආශ්වාදය, ආදිිනව (විපාක), වගේම මෙයින් විමුක්තියක් නොමැති බවත්, එහි නිසරු බවත් අවබෝධ විම තුළ එයින් මිදීම හෙවත් නිස්සරණය පිණිස තෝරා ගත්තේ ඒ අන්ත දෙකට ම නොයන මැදුම් පිළිවෙත යි. මේ මග අනුගමනය කරමින්

උන්වහන්සේට කල් ගෙවන්ට වූයේ පැය 12 කට වැනි සිමිත කාලයක්. උන්වහන්සේ ස්ථිර අධිෂ්ඨානයෙන් චතුරංග සමන්නාගත විර්යයෙන් යුක්ත ව එම මධ්‍යම ප්‍රතිපදාව තුළ ක්‍රියාකරමින් ආනාපානසතියෙන් ලොවුතුරා බුද්ධත්වයට පත් වි තමන් වහන්සේගේ අරමුණ සඵල කර ගත්තා. ඒ අවස්ථාවේ උන්වහන්සේ ප්‍රකාශ කළ ”අනෙකජාති සංසාරං” යනා දී ප්‍රීති වාක්‍යයෙන් හෙවත්, ප්‍රථම උදානයෙන් පැහැදිලි ව ප්‍රකාශ කළේ අනන්ත සංසාරයෙහි ඉපදෙමින් මැරෙමින් සත්වයා ගමන් කරන මෙම සංසාර ගමනේ නැවතීම උන්වහන්සේ සොයා ගත් බවත්, මේ සසර ගමන ඇති තෘෂ්ණාව නමැති ඇලීම සුණු විසුණු කිරිමෙන් එම උදාර අරමුණ ඉටු කර ගත හැකි ආකාරය යි.

එහෙත් සුදුසු අවස්ථාව එළඹෙන තුරු එසේ සොයා ගත් විමුක්ති මාර්ගය අන් කවරෙකුට හෝ පැහැදිලි කිරීමෙන් බුදුරජාණන් වහන්සේ වැළකී සිටියා. අනතුරුව සහම්පතී මහා බ්‍රහ්මයා උන්වහන්සේ හමුවට පැමිණෙන අවස්ථාව වන විට උන්වහන්සේ තමන් වහසේට සෙවණ ලබා දුන් ඇසතු බෝ රුක මුල කේන්ද්‍ර කර ගත් සත්සතිය අවසාන කර අටවන සතියේ නැවතත් අජපාල නම් නුගරුක මුලට වැඩම කළ අවස්ථාව උදා වුණා. ඒ අවස්ථාවේ මහා බ්‍රහ්මයා විසින් ආරාධනා කළේ උන්වහන්සේ අවබෝධ කර ගත් නවතම ඒ අපූරු දහම ලොවට හිත පිණිස දේශනා කරන ලෙසට යි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ද එම දහම දේශනා කිරිමට සුදුසු කාලය බව අවබෝධ කර ගෙන යුතුකමක් වශයෙන් කෘතවේදීත්වය පළ කරනු පිණිස පළමුවෙන් ම එම දහම දේශනා කරන්නට කල්පනා කළේ තමන් වහන්සේට මේ විමුක්තිය සොයා යන ගමනේ දී දුෂ්කර ක්‍රියා සමයෙහි උපකාරී ව සිටි, එහෙත් පසුව තමන් වහන්සේ අතහැර ගිය පස්වග තවුසන්ට මේ දහම දේශනා කිරීමට යි.

උන්වහන්සේ පස්වග තවුසන් උතුම් පැවිදි බවෙහි පිහිටුවා බරණැස ඉසිපතනාරාමයේ දී එදා අද වාගේ ඇසළ පුර පසළොස්වක පොහෝ දා තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව ලෙස මේ දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කරන්නට වූවා. එදා මනුෂ්‍ය ගණයට වැටෙන අය වශයෙන් එහි ධර්ම ශ්‍රවණයට හිටියේ පස්වග භික්ෂූන් වහන්සේලා පමණි. අනිත් සියලු දෙනා දිව්‍ය බ්‍රහ්ම පිරිස් ය. උන්වහන්සේ දම් දෙසුම ආරම්භ කරන්නේ ම මෙතෙක් කලක් තමන් වහන්සේගේ අනන්ත සංසාර ගමනේ දී ප්‍රත්‍යක්ෂ කර ගත් කාමසුඛල්ලිකානුයෝගයත්, අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකේ ආදිනව පෙන්වා දෙමිනු යි. මෙය තමා සැබෑ ආචාර්යවරයෙකු ලෙස බුදු රජාණන් වහන්සේගේ පළමු අනුශාසනය. උන්වහන්සේ අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් තුළ අවබෝධ කර ගත්තේ මේ අන්ත දෙකේ ආදිනවයන් අත්දැකීමෙන්, ඒ අනුව ම දේශනාව සිදු කළා. බුදුවන ආත්ම භවයෙහි දී උන්වහන්සේ වඩාත් ප්‍රත්‍යක්ෂ කර ගත්තේ එම අන්ත දෙක පිළිබඳ වෙන කවරදාටත් වඩා විශාල අත්දැකීම් රාශියක්. උන්වහන්සේ ඒ සියල්ලක් අවබෝධයෙන් තේරුම්ගත් ගත්තා.

උන්වහන්සේ විසින් මේ ආකාරයෙන් දේශනා කරන ලද දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දී දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය හා දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා සත්‍යය යන සත්‍ය හතර පැහැදිලි කරන අවස්ථාවේ දී මුල් සත්‍යය තුනම විග්‍රහ කිරීමෙන් පසුව අවසානයට ගන්නා මේ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යය මගින් සමස්ත සූත්‍ර දේශනාවේ ම සාරාංශය ඉදිරිපත් කිරීමකු යි කර තිබෙන්නේ. උන්වහන්සේ මේ සූත්‍ර දේශනාවේ දී ප්‍රශ්නාර්ථයක් ඉදිරිපත් කරනවා.

මේ කියන අන්ත දෙකින් ඉවත් වුණා නම් එවිට තිබෙන්නේ මේ අන්ත දෙකට අයත් නො වන මැද මාවත යි. ඉතින් ඒ මැද මාවත කුමක්දැ යි උන්වහන්සේ විසින් ම ප්‍රශ්නාර්ථයක් ඉදිරිපත් කරනවා.දුක නැති කිරීමේ මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව කුමක්දැ යි යන්න උන්වහන්සේ විසින් ම දේශනාවේ දී නගන ලද ප්‍රශ්නයක්. එනම් දුක නැති කරීමේ මාර්ගය අන් කවරක් නොව ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එතකොට මේ දුකින් තමා අප හැම මොහොතක ම පෙළෙන්නේ.

මෙම ලිපියේ ඉතිරි කොටස ඇසළ අව අටවක පෝදා (ජූලි 12) කලාපයේ පළවේ.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]