ඇසළ පුර පසළොස්වක 2020.07.04
අවබෝධයෙන් තෙරුවන් සරණ යමු
බෝසතාණන් වහන්සේ කෙලෙස් මරුන් පරදා උතුම් සම්බෝධියට පැමිණ,පස්වග තවුසන් උදෙසා පළමු
දම් දෙසුම පැවැත්වූ පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි. ඒ අසිරිමත් සිරි සදහම්
දෙසුම් අකාලික ය. අදත් ලෝ වැසි සුවහසක් බොදුනුවෝ ඒ සදහම් ගඟුලේ ගිලී නිවී පහන්
වෙති. අනාගතයේත් එලෙස ම ය.
ඒ අතරම තවත් පිරිසක් සදහම් ආලෝකය දකිමින් ඊට පිටුපා අඳුරේ ම ගිලෙති. ලෝබ, ද්වේෂ,
මෝහා දී අකුසල සිතිවිලි වලින් මඩනා ලදුව පාපයෙහි ම ගැලෙති. මෙලොව ද පිරිහී පරලොව ද
පිරිහෙති. අපාගත වෙති.
මිනිසා සියලු සත්ත්වයන් අතර උසස් ය. ඒ සිතන්නට හැකියාවක් ඇති නිසා ය. ධර්මය ශ්‍රවණය
කළ පමණට, පොත පතෙන් කියවා දැනුම දියුණු කරගත් පමණට අපගේ සිත් අපිරිසුදු කරන කෙලෙස්
මළ බැහැර කළ නොහැකි ය. එසේ කළ හැකි වන්නේ ධර්මය ප්‍රායෝගික ජීවිතයට පුරුදු පුහුණු
කිරීම තුළ ය.
අප ජීවත්වන්නේ ඉතා කෙටි කාලයකි. ඇසිපිල්ලමක් ගසා ඊළඟ ඇසිපිල්ලම ගසන මොහොතේ වුව අපගේ
මරණය සිදුවිය හැකි ය. බොහෝ දෙනෙක් එය තේරුම් ගන්නා බවක් පෙනෙන්නට නැත. මරණය යහපත්
වන්නේ අප සත්පුරුෂයන් වූ තරමට ය. එසේ ජීවත්වීමට ජීවිතාවබෝධය ඇවැසි ය.
ජීවිතාවබෝධය නම්, අප අසන, දකින, දැනෙන, හැඟෙන සෑම දෙයක් පිළිබඳව ම ඇති යථාර්ථය
දැකීම ය. අපගේ හැසිරීම්, තමන්ටත්, අනුන්ටත් අනර්ථකාරී නො වන්නේ ඒ අවබෝධය ඇති තැන ය.
අවබෝධය ඇති පුද්ගලයා අනුන්ට ඊර්ෂ්‍යා නො කරන්නේ ය. තමන් උසස් කොට අන්‍යයන් හෙළා නො
දකින්නේ ය. කෝපය, මසුරුබව, වංකබව, ඔහු තුළ නැත. ඔහු පවට ලජ්ජාශීලි ය. බිය ය.
තමන්ට තමන් අවංක වීම තුළ මෙතෙක් ආ ගමන් මග විමර්ශනය කළේ නම්, ධර්මානුකූලව ජීවත්
වූයේ ද, නැද්ද යන බව තමන්ට ම තේරුම් ගත හැකි ය.
අඩුම තරමේ පංචසීල ප්‍රතිපදාව හෝ ආරක්ෂා කර ගත නොහැකි නම්, ඒ පුද්ගලයා තෙරුවන් සරණ
ගිය බෞද්ධයකු වන්නේ නැත. තෙරුවන් සරණ යනවා යනු බුදු ගුණ, දහම් ගුණ , සඟ ගුණ අපගේ
ජීවිතයට ද ප්‍රායෝගිකව එක් කර ගැනීම ය. වචනයෙන් සරණ ගිය පමණින් බෞද්ධයකු වන්නේ නැත.
බෞද්ධ සමාජය තුළ ඇතැම් විටෙක නො කටයුතු දෑ සිදුවන්නේ බෞද්ධකම වචනයට පමණක් සීමා
කිරීම නිසා ය.
බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේ අමතා මෙසේ දේශනා කළහ.
මහණෙනි, වැසි වර්ග හතරකි. එක් අවස්ථාවක අහස මහ හඬින් ගිගුරුම් දෙයි. එහෙත් වැසි නො
වැටේ. තවත් අවස්ථාවක මද වැසි වැටේ. අහස ගුගුරන්නේ නැත, තවත් අවස්ථාවක ගිගිරු ම ද,
වැස්ස ද දෙකම නැත, විටෙක මහ හඬින් ගුගුරමින් මහා වැසි වසී. වැස්ස ගැන මෙසේ දේශනා
කරන බුදුරජාණන් වහන්සේ වැහි වැනි ම පුද්ගලයන් සිව් වර්ගයක් සිටින බව පෙන්වා දෙයි.
සමහර කෙනෙක් මෙම බොහෝ සිල්වත්වෙමි. දන් පින් කරමියි පවසයි. අන්‍යයන්ය ද එසේවන ලෙස
අවවාද කරයි. වචනයට පමණක් සීමාවන එවැන්නෝ අහස ගිගිරුව ද නො වෙසිනා වැස්ස වැනි ය.
ඇතැම් කෙනෙක් නිහඬ ය. එහෙත් සිල්වත් ය. දන් පින් කරති. එවැන්නෝ අහස ගුගුරන්නේ නැතිව
වැටෙන වැස්සක් වැනි ය. ඇතැම්හු දන් පින් කිරීම් නැත. බොරු කියවිලි ද නැත. හරියට
ගිගිරුම ද, වැහි පොද ද නැති වැස්සක් සේ ය. එහෙත් ඇතැම් පුද්ගලයෝ ඉහළින් කතා කරති.
එලෙසම සිල්වත් වෙති. දන් පින් ද කරති. ඔවුහු ගුගුරමින් වසිනා මහා ධාරානිපාත
වර්ෂාවක් බඳු ය. සිල්වත් වීම හා දුසිල්වත් වීම තුළ තමන් කරගන්නා දැයෙහි ඵලය බාර
ගන්නට වන්නේ තමන්ට ම ය. ඒ දැන ධර්ම මාර්ගයට පැමිණිමේ හා නොපැමිණීමේ වගකීම ද තම තමන්
ම වටහා ගත යුතු ය. |