බෝසත්වරු බණ කතා කියද්දී වන දෙවඟනො මල්වල ලියතී
පෑලියගොඩ
විද්‍යාලංකාර පිරුවෙන්හි ආචාර්ය
කැලණිය විශ්ව විද්‍යාලයේ
සිංහල අංශයේ අංශාධිපති
ආචාර්ය
මල්වානේ චන්දරතන හිමි
ගහක් යට සෙවණෙහි සිටින ඔබට, ඒ ගස විසින් නිහඬව කුමක් හෝ දෙයක් පවසනු ලබයි. ‘මා ඔබට
සෙවණ සදමි’ වරෙක ගිනිකූටක අව්වෙන් ද වරෙක මොර සූරන වැස්සෙන් ද දැඩි පීඩාවට පත්වෙමි.
එසේ වුව ද ඔබ කෙරෙහි මගේ තුන්හිතකවත් අමනාපයක් නැත. නැවතත් මම ඔබට සෙවණ සදමි. මා ඵල
දරන විට මිනිසුන් ගල්, පොලු ගසා, අතු කඩා බිඳ දමා ඒ ඵලයන් කඩා ගැනීමට යුහුසුළු වේ.
එසේ වුව ද ඔබ කෙරෙහි අහිතක් අමනාපයක් මා තුළ නැත. ඊළඟ වතාවටත් මෙලෙස ම මම ඔබට ඵල
ලබා දීමට උත්සහ ගනිමි. එයට හේතුව වන්නේ මා උපන්නේ අනුන්ට සේවය කිරීම සඳහා ය.”
“පරෝපකාරාය පලන්ති වෘක්ෂාඞ” යන ආප්ත වදනෙහි අර්ථය ද එයයි. එසේ සේවය කිරීමට යන මාවත
රෝසමල් අතුරන ලද සුව පහසු සුන්දර එකක් නොවේ. එය අතිශයින් ම කර්කෂ රළු ගොරෝසු නින්දා
අපහාසවලින් පිරුණ අමිහිරි මාවතකි. ඒ සියල්ල දරාගෙන මැදහත් සිතින් ලෝකයට සේවය කරන
ලෙස මේ ගස අපට නිහඬව පාඩමක් කියා දෙයි.
කොළඹ යුගයේ කවීහු පරිසරය යනු ළමා ලෝකයේ සහෘදයින් බව ධ්වනිත කිරීමට ස්වකීය නිර්මාණ
උපයෝගී කොට ගත්හ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ වෙසක් මිහිර පද්‍ය පන්තිය, මව සහ
දරුවෙකු අතර ඇති වුණ සංවාදයක ස්වරූපයෙන් ඉදිරිපත් කොට ඇත. බටහිර දාර්ශනිකයෙක් වරෙක
මෙසේ සඳහන් කරයි. “මිනිසුන් දහසක් එකතු වී ගොඩනැගිල්ලක් සෑදුව ද එය නිවහනක් කළ
හැක්කේ එක් ගැහැනියකට පමණය.” එම ගැහැනිය වෙන කවුරුන්වත් නොව ඒ නිවහන තුළ ජීවත්වන
මෑණියන් ය. චන්ද්‍රරත්න මානවසිංහ එම පද්‍ය පන්තියෙන් ගෙයක් නිවහනක් කරන මවකගේ
මාතෘත්වයේ අසිරිමත් බව ඉදිරිපත් කරයි. එයින් ප්‍රධානම ලක්ෂණයක් වන්නේ, සිය දරුවන්ට
පරිසරය පිළිබඳ ආදරණීය හැඟීම් ජනිත කරවීමයි.
මෙහිදී දරුවා සිය මවගෙන් විමසා සිටින්නේ මල් පෙතිවල කවුදෝ ලියා ඇති අකුරු ජාතිය
මොනවා ද? යන්නයි. එහි දී සිය මව පවසන්නේ බෝසත්වරු බණ කතා පවසන විට වනයේ ජීවත් වන
දෙව්ලියන් එම බණ කතා මල් පෙතිවල ලියා ඇති බවයි. එහි දී කවියා සිය මවගේ මුවින්
දරුවාට තුරුලතාවල පිපී ඇති සුවඳවත් පුෂ්පයන් බණ කතා ලියවුණ බණ පොත් බව සඳහන් කරයි.
මල් පෙතිවල බණ කතා ලියා නැති බව අපි දනිමු. එසේ වුව ද එයින් දරුවාට පරිසරය පිළිබඳ
අසීමිත ගෞරවයක් ඇති කරවයි. එවිට දරුවා කිසි දවසක ගහකොළ විනාශ කිරීම වෙනුවට, ඒවා
දිවිහිමියෙන් ආරක්ෂා කිරීමට පෙලඹෙයි. ඒවාට අසීමිත ආදරය දක්වයි. දරුවා අසන ලද
ප්‍රශ්නවලට තම මව ජීවිතය නම් සරසවියෙන් ලබා ගත් අව්‍යාජ දැනුම මුල්කොට ගෙන දෙන ලද
පිළිතුරු දරුවාට සමාජ යථාර්තය මැනවින් තේරුම් ගැනීමට ඉඩ හරියි.
“අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ කිචි බිචි ගා මොනවද කියතී
උන් දන්නව ඇති මේ මල්වල ඇතිපුංචි අකුරු නිතරම බලතී
ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව් කුරුලු ගීතවල රස මතුවේ
එක එක තාලෙට කියන කියන ගී මල් කොළවල තව තව ලියවේ”
මෙහි දී කවියා පවසන්නේ වන සතුන්ට, කුරුල්ලන්ට, තුරුලතාදියට එහි පිපුණු මල්වලට
උනුන්ගේ වටිනාකම් තේරුම් ගැනීමට හැකියාවක් තිබේ නම් දියුණු මනසක් ඇති මිනිසුන්ට ඒ
පිළිබඳ ව සිතීමට නොහැකි වන්නේ මන් ද? යන්නයි. එයින් මව සිය දරුවාට නිවහනේ දී ඒ
අසිරිමත් පරිසරය පිළිබඳ සදාදරණිය හැඟීම් ජනිත කරවයි.
‘බිම බැලුවත් මල් උඩ බැලුවත් මල් පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ මල් ද කුරුල්ලන් කොහි යනවා‘
වෙසක් මාසයේ දී අවට පරිසරය දෙසත් බැලු බැලූ සෑම දිසාවකම ලස්සන මල් පිපී එහි අසිරිය
විඳීමින් පුංචි කුරුල්ලන් ඉගිලෙන හැටි සෑමදාම දක්නට නැත්තේ ඇයි දැයි දරුවා මවගෙන්
විමසයි. එවිට මව දරුවාට අසිරිමත් සෞන්දර්ය අප වටා පරිසරය තුළ නිර්මාණය වීමට හේතුව
සඳහන් කරයි. බුදු හාමුදුරුවෝ ලොව පහළ වන කාලයට මුළු මහත් විශ්වය ම සොම්නසට පත්වේ.
බුදු හාමුදුරුවෝ යනු සත්‍යයේත්, ධර්මයේත් ප්‍රතිමූර්තියයි. සත්‍යගරුක බවට ත්
ධාර්මිකත්වයට ත් මුළු මහත් ලෝකයම අවනත වන බව මවගේ මුවින් පිටවන වදන්වලින් දරුවා
මැනවින් තේරුම් ගනියි. මව දරුවාට අවබෝධ කරවන්නේ යහපත් ධාර්මික දිවි පෙවෙතක් ගත
කරන්නේ නම් ඔහු නමට මල් පිපී සුවඳ හමන බවත්, කුරුල්ලන් ගී ගයමින් අපමණ මිහිරියාවෙන්
පියාසර කරන බවත්, මල් සුවඳ රැගෙන සිසිල් සුළං ලොව පුරා ම හමා යන බවත් ය.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වෙසක් මිහිර පද්‍ය පන්තියෙන් ළමා ලෝකයේ මනස සුවපත්
කිරීමට අවශ්‍ය සදූපදේශය සම්පාදනය කිරීමට ගත් උත්සාහය අතිශයෙන් ම ප්‍රශස්ත ය. සුවබර
ජීවිතයකට මිල මුදල් මෙන්ම භෞතික සම්පත්වල සම්බන්ධයක් තිබෙන නමුත් කවියා විසින්
ධ්වනිත කරනු ලබන සමුදයාර්ථය ඊට වෙනස් ය. මිල මුදල් හා භෞතික සම්පත් පමණක් තිබීම
ප්‍රමාණවත් නොවේ. එකිනෙකාට ආදරය කිරීම; ගෞරව දැක්වීම; මානව හිතවාදී ව ජීවත්වීම;
සුවබර ජීවිතයක සැඟවුණ අර්ථයන් ය. කුඩා අතු පැලක් වුව එය මහා මන්දිරයක් කර ගත හැකි
වන්නේ එවිට ය. තමා අවට පරිසරයටත් අවට සතා සිවුපාවටත් තුරුලතාදියටත් හිතවත් ව
ළෙන්ගතුව කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ නිවහන මහා මන්දිරයකි. එයින් මිනිසා කරුණා
මෛත්‍රිය පෙරදැරි ව ජීවත්වීමට හුරුපුරුදු වෙයි. |