ජාතියක උදාරත්වය ලොවට පෙන්වූ බෞද්ධ පිළිවෙත
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ආචාර්ය,
එච්. එම්. මහින්ද හේරත්
බුදු දහමේ මූලික අභිමතාර්ථය වන්නේ පුද්ගල සන්තානය තුළ ආධ්‍යාත්මික දියුණුව ඇති
කිරීමයි. ශෝකය, වැළපීම සමනය කිරීමයි.
දුක් දොම්නස ප්‍රහාණය කිරීමයි. ප්‍රඥාවේ පූර්ණත්වයට පමුණුවාලීමයි. අවසානයේ
නිර්වාණාවබෝධය සිදු වීමයි. මෙම බෞද්ධ නිර්වාණාගාමී ප්‍රතිපදාවේ ආරම්භක පියවර වන්නේ
මිනිසා තුළ මානුෂීය ගුණාංග උද්දීපනය කරමින් සදාචාරා සම්පන්න පුද්ගලයෙකු බිහි
කිරීමයි. ඒ සඳහා අදාළ වන ඉගැන්වීම් සමුදායක් බුදු සමය තුළ අන්තර්ගත වේ. නිදසුනක්
වශයෙන් මංගල, මෙත්ත, පරාභව, වසල, ව්‍යග්ඝපජ්ජ යනාදී සුත්‍ර දේශනා දැක්විය හැකි ය.
පරිපූර්ණ, ගුණගරුක, සදාචාර සම්පන්න පුද්ගලයෙක් බිහි කිරීමට බුද්ධ දේශනාවන් බෙහෙවින්
උපකාරී වේ. එම උදාර මානුෂීය ගුණාංගවලින් මිනිසා පරිපූර්ණ වන විට සදාචාර සම්පන්න
සමාජයක් බිහි වන බවත්, එම ගුණාංගවලින් දුරස් වන විට සමාජය පිරිහෙන බවත් අග්ගඤ්ඤ
සූත්‍රයෙන් පැහැදිලි කර ඇත.
කාලයත් සමග පසුගිය සමය වන විට ඇතැම් මිනිසුන් නොමිනිසුන් බවට පත්ව සමාජය විනාශ
මුඛයට පමුණුවන නොමිනිස් ක්‍රියා සමාජයේ ව්‍යාප්ත විය. එවැනි පසුබිමක් යටතේ ලෝකය තුළ
කොරෝනා නමින් දරුණු වසංගතයක් ඇති විය.
කොරෝනා වසංගතය හමුවේ නැවතත් මිනිසත් බව අවදි වන්නට විය. මානුෂීය ගුණාංග යම් පමණට
උද්දීපනය වන්නට ද විය. ඒ අනුව පවුල් ඒකකය ශක්තිමත් වීම සිදු විය. දෙමාපියන් දරුවන්
සමගියෙන් කටයුතු කරන සමාජයක් දක්නට ලැබුණි. මුදල් පසුපස ලුහු බඳීන සමාජයක, තමා සමග
ජීවත් වන අය අමතක කරන සමාජයක් ගොඩනැගී තිබුණු අතර එය යම් පමණකට යටපත් වී දෙමාපියන්
දරුවන් පිළිබඳව ද, දරුවන් දෙමාපියන් පිළිබඳව ද සිතන්නට විය. මව්පියන් දරුවන් එක්ව
බුදුන් වහන්සේට මල් පහන් පුදමින් තමන්ටත් සෙසු අයටත් මෙත් සිත පතුරුවමින් දවස ගෙවන
සමාජයක් දක්නට ලැබුණි. පරහිතකාමීත්වය යන මානුෂීය ගුණාංගය බෙහෙවින් ඉස්මතු වූ යුගයක්
වශයෙන් කොරෝනා වසංගත සමය දැක්විය හැකි ය. අනුන්ගේ දියුණුව, නිරෝගී බව හා සුවපත් බව
කැමැති වීම හා ඒ අනුව ක්‍රියා කිරීම පරිහිතකාමීත්වයේ ලක්‍ෂණයකි. සමාජයේ යහපත
වෙනුවෙන් නිරෝධායනට යොමු වීම සිදු විය.
යෝනිසෝමනසිකාරය යනු අවදි වූ සිහියෙන් කටයුතු කිරීමයි. තමා කරන කියන දේවල්, යන එන
ගමන් බිමන්, කායික හැසිරීම්, ශාරීරික ඉරියව් පිළිබඳව මනා අවබෝධයෙන් යුක්තව කටයුතු
කිරීම යොනිසෝමනසිකාරයේ ලක්‍ෂණයයි. පසුගිය වසංගත සමයේ අපගේ කායික වාචසික ක්‍රියාවන්
පිළිබඳ ව මිනිසුන් අවදියෙන් කටයුතු කළ බව පැහැදිලි කරුණකි. අප යන ගමන පිළිබඳව මනා
අවබෝධයක් අප සතුව තිබුණි. යම් තැනකට ගියත් එහි හැසිරීම මනා සිහියෙන් සිදු කරන ලදී.
ආගිය තැන් හා වේලාවන් පිළිබඳ අවබෝධයෙන් පසුවිය. මෙවැනි සිහිය පිහිටුවාගත් හැසිරීමක්
මිනිසුන් තුළින් මූර්තිමත් වූයේ වසංගතය නිසා ය.
තමාගෙන් පීඩාවක් පරිසරයට සිදු නොවීමට කටයුතු කිරීම බෞද්ධයෙකුගේ ලක්‍ෂණයයි. බෞද්ධයෝ
තමාට ඇති රෝගී තත්ත්වයන් සෙසු අය අතර පැතිර නොවීමටත් සෙසු අය කරදරයට පත් නොකිරීමත්
ක්‍රියා කරමින් සෙසු අයගේ නිරෝගී බව නිතැතින් ම ප්‍රාර්ථනා කරති. එය මනාව පෙන්නුම්
කළ යුගයක් වූයේ වසංගත සමයයි.
අප වාහානයක ගමන් කරන විට තමා ගමනක් යන බව සිහියේ තබා ගැනීමත්, තමා අවට සිටින අය
පිළිබඳව අවබෝධයෙන් පසුවීමත් මෙ යුගයේ දක්නට ලැබුණු තත්ත්වයකි. එය සිහියෙන් හා
ප්‍රඥාවෙන් කටයුතු කිරීමකි. එය බුදු දහමේ සති සම්පජඤ්ඤ නමින් හඳුන්වයි. නිවසක සිදු
වන දේ පිළිබඳව මනා අවබෝධයෙන් හා ප්‍රඥාවෙන් පසුවීම බෞද්ධ ජීවිතයක ලක්‍ෂණයකි. එසේ වූ
විට තම පවුලේ සාමාජිකයන් අතර හා සාමාජීය වශයෙන් මනා සම්බන්ධතාවක් හා නිරෝගීමත්
පරිසරයක් ගොඩ නැංවීමට සිහිය හා ප්‍රඥාව බෙහෙවින් ඉවහල් වේ.
තම ජීවිතය සෙසු අය වෙනුවෙන් කැප කිරීම උපරිම තලයකින් සිදු වූයේ බුදුන් වහන්සේගේ
චරිතය තුළ ය. එය සංසාරික වශයෙන් ආත්ම ගණනාවක් තුළ සිදු කළ ආකාරය ජාතක කථා තුළින්
ප්‍රකට වේ. එම තත්ත්වය වඩාත් මූර්තිමත් වූයේ බුදුන් වහන්සේගේ අවසන් ආත්ම භවයේ දී ය.
සියලු සැප සම්පත් හැර දුෂ්කරක්‍රියා කරමින් සිදු කළ අනුපමේය කැප කිරීම අති ප්‍රබල
ය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන බෞද්ධයන් විසින් යම් පමණකට හෝ සිය ජීවිතය
අනුන් වෙනුවෙන් ක්‍රියා කිරීම අවශ්‍යයෙන් ම සිදු විය යුත්තකි. කොරෝනා වසංගත සමයේ
රාජ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන්, ආරක්‍ෂක අංශවල සියලු දෙනා සිය ජීවත පරදුවට තබා අපගේ
ජීවිත ආරක්‍ෂා කළහ. අප අපගේ ගෞරවය ඔවුන් වෙනුවෙන් නිරතුරුව පුද කිරීමත් සැමදා සිය
සිත්වල එය සිහි තබා ගැනීමත් සිදු කළ යුතු ය. එබැවින් පසුගිය සමයේ බෞද්ධයින්ගේ
පරහිකතකාමීත්වය, ඉවසීම, කරුණාව, මෛත්‍රිය ආදී ගුණාංග මූර්තිමත් විය. බෞද්ධයෝ කළගුණ
දන්නා පිරිසකි. උපකාර ලබා ගෙන උදව් කළ අය පසෙක දමන පිරිසක් වශයෙන් බෞද්ධයෝ ක්‍රියා
නොකරති. අවස්ථාවදීහූ නොවෙති. ගුණමකු පිරිසක් ද නොවේ. එනිසා ගුණවත්, ගුණගරුක කළගුණ
දන්නාවූ පිරිසක් වශයෙන් අපි සියලු දෙනාම අපගේ ජීවිත රැක දුන් සැමට සැමදා ගෞරව කළ
යුතු ය.
අන්‍යන්ගේ වචනයට ගරු කිරීම හා අහුම්කන් දීම බෞද්ධයාගේ චරිතයේ ලක්‍ෂණයකි. අරගල
කිරීම, අවි අයුධ අමෝරා ගෙන හැසිරීම, වාග් ප්‍රහර එල්ල කිරීම, සෙසු අයගේ ජීවිත
හිංසාවට පත් කිරීම, මංකොල්ල කෑම බෞද්ධ චරිතයක ලක්‍ෂණය නොවේ. පසුගිය සමයේ බෞද්ධයෝ
එබඳු යහපත් ක්‍රියාවලින් යුක්තව කටයුතු කළහ. එය සැමදා පවත්වා ගෙන යාම අපගේ වගකීම
වේ.
අවංක බව හා අව්‍යාජත්වය ද බෞද්ධ ජිවිතයකින් ස්මතු විය යුත්තේ ය. එනිසා තමාට ඇති
රෝගී තත්ත්වයන් නොසඟවා පැවැසීමටත්, තමා ආ ගිය තැන් දැක්වීමටත්, සෙසු අය වෙනුවෙන්
නිරෝධයනයට යොමු වීමටත් බෞද්ධ ජනයා කටයුතු කළේ ය. තමාගේ ජීවිතය ආරක්‍ෂා කරමින් සෙසු
අයගේ ජීවත රැක ගැනීම පන්සිල් පදවල පළමු ශික්‍ෂාපදය වන ප්‍රණඝාතයෙන් වැළකීම යන්නෙන්
කියැවේ. එනිසා අපගේ ජීවිතය ආරක්‍ෂා කරමින් සෙසු අයගේ ජීවත අනතුරේ හෙළීම බෞද්ධ
පිළිවෙත නොවේ.
අපි සමවිටම ස්වභාව දහමත් සමග ක්‍රියා කළ යුතුවේ. මිනිසා ස්වභාව දහම ඉක්මවා යන්නේ
නම් එයට පරිසරයෙන් දඬුවම් ලැබෙන බවත් අමතක නොකළ යුතු ය. එය අග්ගඤ්ඤ සූත්‍රයෙන්
පැහැදිලි කර ඇත. අපගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අනවශ්‍ය ලෙස ගිජු කමින්, ආශාවෙන්
සියල්ල තමාට අත්පත් කර ගැනීම බෞද්ධයාගේ පිළිවෙත නොවේ. මට මෙන්ම සෙසු අයටත් සමාජයේ
ජීවත් වෙමින් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ඇති බව වටහා ගත යුතු වේ. තමාට තමා ප්‍රිය
නම්, එය තමා හොඳීන් රැක ගත යුතු ය. තමා පළමුව ගුණවත් වී සෙසු අයගේ පහසුව වෙනුවෙන්
කටයුතු කළ යුතු ය.
තමා සමාජයට අනුන්ට හිරිහැරයක් කළේ නම් එහි විපාකය තමා විසින් විඳීය යුතුය.
සත්පුරුෂයා තමාට මෙන්ම සෙසු අයටත් යහපතක් ම සිදු කරන්නේ ය. එසේම තමාගේ ක්‍රියාවල
පිරිසුදු බව හා අපිරිසිදු බව රඳා පවතින්නේ තමා තුළම ය. යමෙක් තමාගේ සැප කැමැතිව
සෙසු අයට හිංසා කිරීම බෞද්ධ පිළිවෙත නොවේ. මෙවැනි බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්
අපගේ ජීවිතවලට තව තවත් සමීප කර ගනිමින් උදාර මිනිසුන් වශයෙන් ජීවත් වෙමු.
වසංගත සමයේ අපගේ ජීවිතවලින් මූර්තිමත් වූ ගුණාංග, යහපුරුදු, සිරිත් විරිත් සැමදා
නොනැසි ආරක්‍ෂා කර ගැනීම බෞද්ධයාගේ ජීවිතයේ වගකීමක් බව සිහියේ තබා ගනිමු. එවිට
ධර්මයෙන් ම අපව ආරක්‍ෂා කරයි. |