පොසොන් අමාවක 2020.06.20
ලද දෙයින් සෑහීම
ජීවිතයේ පරම ධනය සතුට වන බව ය, බුදු දහමේ ඉගැන්වෙන්නේ. සතුටින් ජීවත් වීමට සියයල්ලෝ
කැමති වුව ද සතුට සොයා ගොස් දුකෙහි වැටෙන්නෝ අපමණ වෙති. බොහෝ දෙන සතුට මනින්නේ මිල
මුදල් වලිනි. වෙනත් ධන සම්පත් වලිනි. ඒ නිසා ම අපමණ ධනය ගොඩ ගසා ගනිති. එහෙත්,
සෑහීමකට පත් නොවෙති. තව තවත් සොයා යති.
ඒ අධිකතර ආශාව තුළ ඒ පුද්ගලයාට හොඳ නරක නොපැහැදිලි ය. දෑස් අන්ධ ය. අන්ධ දෙනෙතින්
තමන්ගේ ගොඩ වැඩි කර ගන්නට කවර හෝ උපක්‍රම යොදන්නේ ය. සමාජය තුළ අප බොහෝ විට අත්
විඳින්නේ මේ අධිවේගයෙන් යන ගමන තුළ වන අකටයුතුකම් ය. පුද්ගල වශයෙන් මෙන් ම පාරිසරික
වශයෙන් ද වන විනාශයන් ය. ලෝකය පුරා පැතිරී ගිය කෝවිඩ් වසංගත උවදුර ද දීර්ඝ කාලයක්
පුරා වර්ධනය වූ ඒ අමානුෂිකකමේ ම ප්‍රතිඵලයක් ලෙස සිතිය හැකි ය.
තමන්ගේ දියුණුව, තම දූ දරුවන්ගේ නෑදෑ හිත මිතුරන්ගේ දියුණුව උදෙසා යැයි කවර හෝ
උපක්‍රමයකින් පින් පව් නොතකා, යුතු අයුතුකම් නොතකා මේ යන ගමන තුළ ආධ්‍යාත්මික ව
පිරිහෙන්නේ තමන් ම බව බොහෝ දෙනාට වැටහෙන්නේ බොහෝ කල් ගෙවී ගිය පසු ය. ඒ ද, මරණ
මඤ්චකයේ දී ය.
ඉහිරුණ කිරට හඬා වැලපීමෙන් පළක් නොවන්නේ ය. අපට නිවැරැදි වන්නට ජීවිත කාලය තුළ බොහෝ
අවස්ථාවන් උදාවේ. ළමා වවිවිය, තරුණ විය, වැඩිහිටි, මහලු යන මේ කවර අවස්ථාවක හෝ වරද
වටහාගෙන නිවැරැදිවීමට පුළුවන.
“සෑහීමට පත්වීම” එහිදී ප්‍රධාන තැනක් ගනී. යම් දෙයකින් සෑහීමට පත් නොවන තාක්
කෙනෙකුට තමන්ගේ ජීවන ප්‍රපදාව නිවැරැදි කර ගැනීම අපහසු ය. ඒ තුළ අයහපත් බොහෝ දේ
නිර්මාණය වන බැවිනි.
බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ වීරියාරම්භ වර්ගයේ දී දේශනා කොට වදාළේ නූපන්
අකුසල් දහම් ඉපදීමටත්, උපන් කුසල් දහම් පිරිහීමටත් මහෙච්ඡතාවය හා සම අන් එකදු දහමක්
නොදකින බව ය.
ලද දෙයින් සෑහීමකට පත් නොවන පුද්ගලයාගේ ජීවිතය හිස් ය. භෞතික ව කෙතරම් දේ ගොඩ ගසා
ගත්ත ද, ඇතුළාන්තය තුªළ නිරන්තරයෙන් ගොඩ ගැසී පවතින තෘෂ්ණාව, මානය, බිය, අනුන්
ඉක්මවා යාමේ ආශාව, වෛරය, ක්‍රෝධය ඒ පුද්ගලයා ආගාධයට ඇද දමයි. ඒ තුළ සිදු කරගන්නා
අකුසලය බරපතළ ය. අප බොහෝ දෙනෙක් නොදැනුවත්ව ම ගමන් කරන්නේ මේ මග ම බව පෙනෙන්නේ සමාජ
ගත ජීවිතයේ අත් විඳින දේ තුළ ය. එහෙත් බෞද්ධ සමාජයක එවැනි පරිසරයකට ඉඩක් නැත.
බෞද්ධයා යන ගමන පිරිසුදු විය යුතු ය. කරන කියන දේ වැඩ දායක වන්නේත්, අවැඩදායක
වන්නේත් අප සිතන පතන දේ අනුව ය. සිතිවිලි පිරිසුදු විය යුතු, පිරිසුදු කරගත යුතු
වන්නේ එහෙයින් ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෙස, නූපන් කුසල් දහම් ඉපදීමටත්, උපන් අකුසල් දහම්
පිරිහීමටත් හේතුවන අල්පේච්ඡතාව වැනි එකදු දහමකුදු නොවේ. එහෙයින් අප අල්පේච්ඡතාවය ම
පුරුදු පුහුණු කළ යුතු ය. ලද දෙයින් සෑහීමට පත්වන කල ජීවිතය පහසු ය. සිතිවිලි ද
පිරිසුදු ය. වෛරය, කෝපය, මානය, ඊර්ෂ්‍යාව, පළි ගැනීමේ සිතිවිලි නූපදින්නේ ය. කෙනෙකු
ඉක්මවා යාමේ අදහස් නූපදින්නේ ය. හොඳ නරක හඳුනන එවැනි පුද්ගලයා තමන්ට ද අනර්ථ,
අනුන්ට ද අනර්ථ දේ නොකරන්නේ ය. තමන් කරන කියන දැයෙහි වගකීම ද ඵලවිපාකය ද තමන්ටම බව
දැන ජීවන ප්‍රතිපදාව සකසා ගන්නේ ය. |