[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 57: ලාහුගල මගුල් මහ විහාරයේ බෝධිඝරය

ලාහුගල මගුල් මහ විහාරයේ බෝධිඝරය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ

මොණරාගල පොතුවිල් මාර්ගය අසල මෙම පුදබිම පිහිටා ඇත. පැරැණි පානම්පත්තුවේ ලාහුගල නමැති ගමෙහි මගුල් මහ විහාරය පිහිටා තිබේ. මෙම පුදබිම ඉතා පැරැණි පුදබිමක් බවට විශේෂිත ලකුණක් නම් පුරාණ සිරිපතුල් ගල් ( සිරිපතුල ලාංඡනය සහිත ගල්පුවරු) හමුවීම යි.මෙහි විහාරයකට අවශ්‍ය දාගැබක , ප්‍රතිමාඝරයක (පිළිමගෙයක) හා බෝධියක් සඳහා සාදන ලද බෝගෙය (බෝධිඝරයක්) ද තවත් පුරාණ විහාරයකට අවශ්‍ය වූ ගොඩනැගිලි නටබුන් රැසක් ද හමුවී ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම පුදබිමෙහි ඇති මූර්තිකලාවට අයත් වූ නිර්මාණ ද, ගොඩනැගිලි ද සංරක්ෂණය කර තිබේ. අනුරාධපුර යුගයේ ඉතා ප්‍රකට රජ කෙනෙක් වූ ධාතුසේන (ක්‍රි.ව. 455-473) රජතුමා පළමුවෙන් ම මෙම විහාරයේ ගෘහ නිර්මාණ කටයුතු කරවා තිබේ. ඒ බව සඳහන් වන්නේ මීට පසුකාලයේ දී මෙහි ලියවන ලද (ක්‍රි.ව. දාහතරවන සියවසේදී) ශිලා ලිපියක ය. විහාර මහා දේවිය නම් බිසවකගේ නාමය ද මෙහි සඳහන් වන නිසා මෙහි සත්‍ය නොවූ ජනප්‍රවාදයක් ද පවතී. ඒ පිළිබඳ පසුව සඳහන් වේ.

ද්‍රවිඩ ආක්‍රමණ ජයග්‍රහණය කළ ධාතුසේන රජතුමා විසින් මෙම පුදබිමේ ආරම්භකයා බව සඳහන් වන ශිලා ලිපියේ ම 14 වන සියවසේ ගම්පොල රාජධානියට අයත්වන දෙබෑ රජවරුන් වන පස්වන පැරකුම්බා සහ හතරවන බුවනෙකබා රජවරුන්ට බිසවක ලෙස ඉහත සඳහන් විහාරමහා දේවිය එම ශිලා ලිපියේ සඳහන් වේ. රුහුණූ මහ වෙහෙර නමින් මේ පුදබිම එහි හඳුන්වා ඇත.

මෙම විහාරයට ලාහුගල මගුල් මහ විහාරය යන නාමය යෙදී ඇති කරුණ පිළිබඳ ප්‍රකට විද්වතෙකු ව සිටි ආචාර්ය ගුණපාල සේනාධීර මහතා සඳහන් කරන්නේ රජකෙනෙකු විසින් කරවන ලද විහාරය යන අර්ථයෙන් මගුල් මහ විහාරය යන්න යෙදුණු රුහුණු ප්‍රදේශයේ වනගත ප්‍රදේශවල මෙවැනි නාමයෙන් හඳුන්වන විහාර රැසක් ඇතිබව ය. රජමහ විහාරය යන්න ද රජවරුන් කරවන ලද විහාර සඳහා යෙදෙන බව ඔහු සඳහන් කරයි. මගුල් මහ විහාර ගෙයට අයත් වන ගල්ටැම් වලින්ද පැහැදිලි වන්නේ මෙහි රජ දවස ඉතා දියුණු අන්දමින් මෙම පුදබිම පැවැති බව ය.

එහි දොරටු දෙපස ඇති මුරගල්වල අල්පඋන්නත ව නෙළා ඇති පුන්කලස් රූප ද දක්නට ලැබේ. මෙම පුන්කලස් සහිත මුරගල් ද අනුරාධපුර රාජධානි සමයේ මුල්කාලයට අයත්වන බව කලා විචාරකයන්ගේ අදහස ය. ඒ අනුව මුරගල්වල විකාශනය ගැන සඳහන් කරන විට එහි දෙවැනි අවස්ථාවට ඒවා අයත් වන්නේ ය. මෙහි ඇති බෝධිඝරයෙහි නටබුන් (මෙම බෝධිඝරයට මගුල්පෝරුව යැයි වැරැදි ජනප්‍රවාදයකි) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇත. ආචාර්ය ගුණපාල සේනාධීර මහතා මෙහිදී උක්කටුකයෙන් සිටින සිංහරූප වළල්ලකින් යුක්ත බව ද සඳහන් කර ඇත.

කළුගල් පවුරකින් වට කළ හතරැස් මළුවක් තුළ පැරැණි විහාරයකට අයත්වන විවිධ නටබුන් මෙහි දක්නට ලැබේ. ඒ නටබුන් අතර බුදු ගෙය, බෝධිඝරය හා පධානඝරය යන ගොඩනැගිලි දක්නට ලැබේ. මෙහි ඇති සඳකඩ පහන ඉතා සරල ය. රුහුණේ පාලකයා වූ දප්පුල රජු (ක්‍රි.ව. 659 පමණ )කරවන ලද බවට මහාවංසයේ සඳහන් වන රෝහණ විහාරය මෙය විය හැකි බව සී.ඩබ්ලිව්. නිකලස් මහතා සඳහන් කරයි.

(සිංහල දේශික විශ්වකෝෂය ආචාර්ය සෝමපාල ජයවර්ධන පි. 127 ඇස්ගොඩගේ සහ සහෝදරයෝ - 1996 –)

ආචාර්ය ජයවර්ධන මහතා ද ඉහත සඳහන් වන ජනප්‍රවාදය ප්‍රතික්ෂේප කරමින් මෙසේ සඳහන් කරයි.

රුහුණේ රජ කළ කාවන්තිස්ස රජතුමා හා කැලණියෙන් පාකර එවන ලදුව මාගමට ළඟාවූ විහාර මහා දේවිය අතර ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී සිදුවු විවාහය මෙම මගුල් මහ විහාර භූමියේ දී සිදුකරන ලද බවට ජනප්‍රවාදයක් පවතී. එහි විවාහය සිදුකිරීමේ දී පාවිච්චි කළ මගුල්පෝරුව ලෙස මෙම ස්ථානයේ දැන් තහවුරු කර ඇති බෝධිඝරයේ ගල් පුවරු සහිත නටබුන් පෙන්වා දීමේ සිරිතක් පවතී. එහෙත් එය පදනම් විරහිත ජනප්‍රවාදය කි. ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ දී සිටි විහාරමහා දේවිය ලෙස වරදවා ගැනීමෙන් මෙම ජනප්‍රවාදය බිහිවූ බව සිතිය හැකි ය.

ඉහත සඳහන් ග්‍රන්ථය පිටු අංක 128

හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු මෙන්ම ප්‍රකට විද්වතෙකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතා සිය පුරාවිද්‍යා පාලන වාර්තාවේ. (1964-65–) මෙම පුදබිම ගැන මෙසේ සඳහන් කර ඇත. නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ පානම් පත්තුවේ ලාහුගල පිහිටි මගුල් මහ විහාරය යැයි හඳුන්වන රුහුණු මහ විහාර භූමියෙහි ඇති පුරාවස්තුන් දෙපාර්තමේන්තුව විසින් ගවේෂණය කරන ලදී. ඉතිහාසයේ පෙනෙන අන්දමට රුහුණු මහ විහාරය කළේ ධාතුසේන රජතුමා ය. ගම්පොල සිව්වන බුවනෙකබා හා දැදිගම පැරකුම්බා යන දෙරජුන්ට බිසව වූ විහාරමහා දේවි නම් බිසොවක පුදබිමේ වල්බිහිවී තිබුණ පැරැණි නටබුන් සම්පූර්ණයෙන් කටුකොහොල් හැරවූ බව සඳහන් වේ.

මේ බිසවගේ නමින් පිහිටුවන ලද සෙල්ලිපි දෙකක් ද රුහුණු මහ වෙහෙර භූමියේ තිබේ. (ශිලාලිපි සංග්‍රහයේ ඪම වන වෙළුමේ පිටු අංක (161-169–) මේ සෙල්ලිපි දෙක 14 වන සියවස ට අයත් වේ. මෙහි ඇත්තේ බෝධිඝර ගොඩනැගිල්ලක නටබුන් මිස මගුල්පෝරුවක් නොවන බව පුරාවිද්‍යා කැණීමෙන් දැනගත හැකි විය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවකින් මෙතෙක් කැණීම් කර තහවුරු කරනලද එකම බෝධිඝරය වු නිල්ලග්ගම බෝධිඝරය පිළිබඳ විස්තර 1954 පුරාවිද්‍යා පාලක වාර්තාවේ සඳහන් වේ. (1964-65 පුරාවිද්‍යා පාලන වාර්තාව – පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සී.ඉ. ගොඩකුඹුර පි. 16)

මැදින් අමාවක පෝය 

 මැදින් අමාවක පෝය මාර්තු 23 වන දා සඳුදා අපරභාග 12.30 ට ලබයි. 24 වන දා අඟහරුවාදා අපර භාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 23 වන දා සඳුදා ය.

මීළඟ පෝය අප්‍රේල් 01 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]