මැදින් අමාවක 2020.03.23
තමන්ට ද හිත – අනුන්ට ද හිත සමාජයක්
මහා වනස්පතියක, රූස්ස ගසක වුව පිළිලයක් හැදුණේ නම් එය ගස සමඟ ම වැඩී මුළු ගසම විනාශ
කර දමන්නේ ය. ගස රැක ගන්නට නම් වහාම පිළිලය ඉවත් කළ යුතු ය. එවැනි පිළිල මිනිස්
සමාජයේ ද වෙති. යම් අවස්ථාවක, යම් පුද්ගලයෙකු වෙතින් මානව දයාව, අනුකම්පාව, කරුණාව,
මෛත්‍රිය ගිලිහී ගියේ නම් ඒ මොහොතේම ඔහු වෙතින් විද්‍යමාන වනුයේ නොමිනිස්කම ය.
අනුන්ට තබා තමන්ගේ හිත පිණිසවත් නොවන එවැන්නෝ තමන් ට ම පිළිලයකි. සමාජයට ද
පිළිලයකි.
එවැන්නෝ ආත්මාර්ථකාමී ය. හිතුවක් ම කරන්නෝ ය. යහපත – අයහපත නො හඳුනන්නෝ ය. මුලා වූ
සිතින් ගන්නා වැරැදි තීරණ මගින් තමන් ද විනාශ වී සමාජය ද විනාශයෙහි හෙළන්නෝ ය. මේ
මව්පියන් ය, මේ දරුවන් ය, නෑදෑ හිතමිතුරන් ය, මේ මාගේ ගම ය, මා උපන් රට ය, මාගේ
ජාතිය ය යන අල්පමාත්‍ර වූ ද හැඟීමක් නැති එවන්නෝ මිනිස් වෙසින් සිටින පිළිල ම ය.
අනුන් වෙනුවෙන් සංවේදීවන, අනුන් ගැන හිතන ස්වභාවයක් නැති එවැන්නෝ ගන්නා තීන්දු තීරණ
සමාජය තුළ මහා ව්‍යසන නිර්මාණය කරන්නට හේතුවනු ඇත. එවැනි අවාසනාවන්ත සිදුවීම් මේ
දිනවල අපට අසන්නට, දකින්නට ලැබේ. ඒ ඉතා සුළු පිරිසක් වෙතිනි. එහෙත් ඔවුන් කළ අමනෝඥ
කමේ පල මුළුමහත් සමාජයක් ම අවිනිශ්චිත කරන්නට, අඩපණ කරන්නට හේතු කාරණා නිර්මාණය කර
ඇත.
ඉතා කෙටි කාලයක් තුළ කොරෝනා වෛරසය ලෝකයේ බහුතරයක් රටවල ජන ජීවිතය අඩාල කර තිබේ. ලොව
මහා බලවතුන් පවා රෝග බියෙන් ඇලළී ගොසිනි. අප මාතෘ භූමියෙහි ද එම වෛරස පැතිරයාම
වැළැක්වීමට සාර්ථක පියවර රැසක් ගැනුණි. රට ද ආරක්ෂා වුණි.
රෝගයේ නිජබිම වූ චීනයේ වූහාන්වල අධ්‍යාපනය ලබන අපේ දරුවන් එහි තනි කරන්නට අපේ
රාජ්‍ය නායකත්වය ඉඩ දුන්නේ නැත. එමෙන්ම රෝගය පැතිරී ගිය අන්‍ය රටවල අපේ විදේශීය
ශ්‍රමිකයන්ට ද මව් රටට ඒමට අවස්ථාව ලැබුණි. බොහෝ දෙනෙක් අවවාද හා උපදෙස් අනුව ම
නිරෝධායනය වුණි. රට රෝග උවදුරින් ආරක්ෂා කරගන්නට උපරිම සහාය දුණි. එහෙත් සුළු
පිරිසක් කළ අමනෝඥ ක්‍රියාවක් නිසා අද වනවිට ශ්‍රී ලාංකිකයන් ද රෝගයට ගොදුරු වෙමින්
සිටී. නිරෝධායනය නොවී සැඟවී සිටින්නට, පලා යන්නට පෙර ඔවුන්ට තමන්ගේ දරුපැටවුන් ගැන
හෝ සිතන්නට ඉඩ තිබුණි. මව්පියන්, සහෝදර සහෝදරියන් ගැන හෝ සිතන්නට ඉඩ තිබුණි. එහෙත්
ඔවුහු ඒ තැනට එන්නට කාරුණික නොවූ හ. ඒ ආත්මාර්ථකාමීත්වය විසින් ගිලගනු ලැබුවේ අනුන්
පමණක් නොවේ. තමන් ද විනාශයට වැටුණි.
තවත් කෙනෙක් වැරැදි තොරතුරු මුදාහරිමින් සමාජය බිය ගන්වන්නට, තමන්ගේ පහත් අරමුණු
මුදුන් පමුණුවා ගන්නට වෑයම් කරති. එවැන්නෝ ද මිනිස් පිළිල ය. යම් තරමක හෝ
අධ්‍යාපනයක්, අඩුම තරමේ සමාජයේ ජීවත්වීම තුළ ලද අත්දැකීමක් වූයේ නම් මෙවැනි අසංවර
හැසිරීම් රටට ලෝකයට ප්‍රදර්ශනය කිරීමට ඉදිරිපත් නොවනු ඇත. සමහරු ලජ්ජා වන්නේ, බිය
වන්නේ ලජ්ජා බිය විය යුතු දෙයට නොවේ. තමන් කරන කියන දේ සමාජයක් තුළ ලජ්ජාවට කරුණක්
වන බව ඇතැමෙකුට වැටහෙන්නේ බොහෝ කල්ගත ව ය. සරලව ම කියනවා රෝගයක් වැළඳීම ලජ්ජාවට
කරුණක් නොවේ. රෝග වාහකයෙක් වන බව හෝ එසේ වීමට ඉඩ ඇති බව හෝ දැන දැනම සමාජයෙන් වහං
වෙන්නට උත්සාහ දැරුවෝ ලජ්ජාවට පත්විය යුත්තෝ ම ය. එවැන්නන්ට අනාගතයේ හෝ නිසි දඬුවම්
ලැබිය යුතු ම ය. ඒ අන්‍යයන්ට ද පාඩම් පිණිස ය.
හෙට දවසේත් මෙවැනි කනගාටුදායක සිදුවීම් නොවන තැනට අපේ බාල පරපුර හෝ නිර්මාණය කළ
යුතුව ඇත. මිනිසා, මිනිසා වෙනුවෙන් අනුකම්පාව, දයාව, කරුණාව වර්ධනය කරන තැනට
හසුරුවා ගත යුතුව තිබේ. අනුන් වෙනුවෙන් සංවේදී වන්නට සිත් පුරුදු පුහුණු කළ යුතුව
තිබේ. බුදුරජාණන් වහන්සේ අගය කොට වදාළේ කුළුණු සිත් ඇති, බොහෝ වු මානය නැති, මුළා
නොවූ, රළු වදන් නැති, ප්‍රලාප බස් නැති, අසංවර ඉඳුරන් නැති අය ම ය. එවැනි මිනිස්
සමාජයක් බිහි කරන්නට වගකිවයුතු සියල්ලන්ගේ අවධානය ඇවැසි ම කාලයකි. |