[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මොහොතක් පාසා වෙනස්වීම නුවණින් විමසන්න

මොහොතක් පාසා වෙනස්වීම නුවණින් විමසන්න

උත්තරා නම් එකසිය විසි වියැති තෙරණින් වහන්සේ නමක් තමන්ගේ වත් පිළිවෙත් බොහොම හොඳින් ඉටු කළා. පිණ්ඩපාතයෙන් ජීවිතය ගෙවන එතුමිය තම පිණ්ඩපාත දානය භික්ෂූන් වහන්සේ නමක් හමු වුවත් උන්වහන්සේ උදෙසා දිනපතා ම පූජා කරනවා.

පිඬු පිදූ පින

මේ ආකාරයෙන් තම පිණ්ඩපාත දානය භික්ෂූන් වහන්සේ උදෙසා පූජා කළ මෙතුමිය දින තුනක් ම නිරාහාරව ගත කරනවා. සිව්වන දවසේත් මෙතුමිය දානය සඳහා වැඩම කරනවා. එදින තථාගත බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරාගෙන ඉදිරි මග වඩින භික්ෂුණීන් වහන්සේ දැක පසෙකට වීමට සැරසුණා. නමුත් දින තුනක් ම නිරාහාර ව සිටි මෙතුමියට සිවුරු කොන පයට පෑගී බිම ඇද වැටුණා. භාග්‍යවතුන් වහන්සේ මෙතුමිය සමීපයට වැඩම කර උවැටැන් කොට ‘පරිජිණ්ණමිදං රූපං’ ඔබ අප දරාගෙන සිටින රූපය දිර දිරා යන්නේ ය. ‘රොගනිඩ්ඪං පභංගුරං’ එය රෝගවලට කැදැල්ලකි. ‘භිජ්ජති පූතිසන්දෙහො’ නිරන්තරයෙන් වැගිරෙන ස්වභාවයෙන් යුක්ත වූවකි. ‘මරණංතං හි ජීවිතං’ ජීවිතය මරණයෙන් කෙළවර වන්නේ ය යනුවෙන් සදහම් වදාරනවා. එම ගාථා ධර්මය ශ්‍රවණය කළ ඇයට සෝවාන් මඟ ඵල ලබන්නට භාග්‍ය ලැබෙනවා.

මොහොතක් පාසා...

මේ ගාථා ධර්මය තුළින් අපේ ජීවිතය පිළිබඳ ව බොහෝ දේ ඉගෙන ගන්නට පුළුවන්. සමාජයේ බොහෝ දෙනෙක් මේ ශරීරයේ නියම ආකාරය තේරුම් ගෙන නැහැ. ඒ පිළිබඳ දැනගන්නට කටයුතු කරනවා යනුවෙන් පෙනෙන්නටවත් නැහැ.

ශරීරයේ ස්වභාවය මොහොතින් මොහොත දිරීමට පත් වීම යි. බලන්න, එදා මව් කුස පිළිසිඳ ගත්, ඇසටවත් නොපෙනෙන සියුම් කලලය පුරා නව මසකින් පුංචි බිළිඳෙක් වශයෙන් මෙලොව එළිය දුටුවා. ඒ බිළිඳා ළදරුවෙක් බවට පත් ව පසුව ළමයෙක් වී තරුණයෙක් වෙනවා. එහිදී අප සිතන්නේ බොහොම ශක්තිමත් බව යි. නමුත් වයස ගෙවී යද්දී රූපයේ ස්වභාවය තේරුම් ගන්නට ක්‍රම ක්‍රමයෙන් භාග්‍ය ලැබෙනවා. හිසකෙස් පැසෙනවා. සම රැළි වැටෙනවා, ඉන්ද්‍රියන් මේරීමට පත් වෙනවා, ආයුෂ ගෙවී ඇති බව වැටහෙන්නට ගන්නවා.

පින්වතුනි, බොහෝ දෙනෙකුට මේ දිරන ස්වභාවය තේරුම් ගන්නට නම් අපහසු යි. යම් කෙනෙක් මෙය තේරුම් ගත් විට, ඒ පුද්ගලයා පාපයෙන් බැහැර ව , සිතෙන්, කයෙන් , වචනයෙන් සිදුවන වැරැද්දෙන් බැහැර ව යහපත් පුද්ගලයෙක් වෙන්නට උත්සාහ කරනවා.

රෝගියෙක්, මහල්ලෙක් දැකීම නිසා බෝසතාණන් වහන්සේගේ ජීවිතය කෙතරම් වෙනස් කෙරුණා ද? නමුත් සමාජයේ තරුණ දරුවන් මේ පිළිබඳ සිතනවා ද? ඇතැම් තරුණ පිරිස් තමන් කවදා හෝ මහලු බවට පත් වෙනවා ද යනුවෙන් කිසිවිටෙකවත් සිතන බවක් පෙනෙන්නට නැහැ. තමන්ගේ මව් පියන්ගේ වදන් අසන්නේ නැහැ. වැඩිහිටි අවවාද පිළිගන්නේ නැහැ. වැරැදි වැඩට, පාපී ක්‍රියාවන්ට යොමු වෙනවා. අවසානයේ තම තරුණ ජීවිතය පවා විනාශ කර ගන්නවා.

සිතන්නට යමක්...

නිරන්තරයෙන් සිතන්න, අප වයසට යනවා, මහලු බවට පත් වෙනවා , මහලු වීමේ ස්වභාවයට පත් වෙනවා. ‘මා ජරාව ඇති කෙනෙක් බවට පත් වෙනවා’ යනුවෙන් නිබඳව ම මෙනෙහි කළ යුතු යි. රූපය නිරන්තරයෙන් ම රෝගවලට කැදැල්ලක් හා සමාන යි. බාහිර පරිසරයේ දී අත්වන රෝග පීඩාවන් ශරීරය තුළට ගලාගෙන එනවා. ශරීර අභ්‍යන්තරයේ පවා රෝග පීඩාවන්ට නිරන්තරයෙන්ම ලක් වෙනවා. බලන්න රෝහලක, ආරෝග්‍ය ශාලාවක කොපමණ දුක් විඳින අය ඉන්නවා ද? කෙනෙකුට නිරෝගී ජීවිතයක් ගත කරන්නට ලැබෙනවා නම්, එය මහා භාග්‍යක් බව භාග්‍යවතුන් වහන්සේ ‘ආරෝග්‍ය පරමා ලාභා ‘ යනුවෙන් නිරෝගීකම උතුම් ලාභයක් වශයෙන් දේශනා කර වදාළා. කොපමණ සම්පත් තිබුණත් අප රෝගියෙක් නම්, ඒ කිසිම සම්පතකින් ප්‍රයෝජනයක් නැහැ. රෝගී ළමයෙක් නම්, අධ්‍යාපන කටයුතු සඳහා යොමු වන්නට අපහසු වෙනවා. රෝගී තරුණයෙක් නම් තම දියුණු වීමේ කටයුතු ඇහිරී යනවා. ඒ නිසා නිරෝගී සම්පත තරම් උතුම් සම්පතක් තවත් ඇත්තේ නැහැ. නමුත් අප නිරෝගී මදයෙන් මත් වන්නට හොඳ නැහැ. මොකද? කිනම් මොහොතක හෝ අප රෝගී විය හැකි යි. ඒ නිසා නිරන්තරයෙන් කයෙන්, වචනයෙන්, සිතෙන් සුචරිත ධර්මයේ යෙදෙමින් ධර්මානුකූල ව ජීවිතය ගත කළ යුතු යි.

සිරුරේ ස්වභාවය

ඇතැමුන් නිත්‍ය යැයි , සුඛ යැයි සිතා සිටියත් සිරුරේ ස්වභාවය පිළිකුල්. ශරීරය නිරන්තරයෙන් ම වැගිරෙන ස්වභාවයෙන් යුක්ත යි. නව දොරකින් නිරන්තරයෙන් ම වැගිරෙනවා. දෙ ඇස්, දෙ කන් , දෙ නාස් පුඩු, මුඛය, මළ මූත්‍ර පිටවන මාර්ගයන්ගෙන් නිරන්තරයෙන් ම වැගිරෙනවා. එය හොඳ දෙයක් ද? යහපත් දෙයක් ද? නැහැ. නිරන්තරයෙන් ම අශූචියක්ම යි වැගිරෙන්නේ. නිබඳව ම සෝදා පිරිසුදු කළ යුතු යි. එසේ නොකළොත් තමන්ට ම තම සිරුරේ ස්වභාවය වැටහී යනවා. දින දෙක තුනක් අප ස්නානය නොකොළොත් , පිරිසුදු නොකළොත්, තමන්ට තමන් ම පිළිකුල් සහගතයි.

නිරන්තරයෙන් ම අශූචියෙන් පිරුණු රූපයක් හොඳින් අඟ පසඟ පිහිටා සමකින් වැසී පොරොවා තිබෙන්නේ. එය බුදුන් වහන්සේ උපමා කර ඇත්තේ අසූචි කළයකට යි.

ආදීනව දකින්න

“ලස්සන තරුණ දරුවෙක් ස්නානය කර අශුචියෙන් පිරී ගිය සිදුරු කළයක් හිස මත තබාගෙන යනවා” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ශරීරය පුරාම අශූචියක්මයි වැගිරෙන්නේ. රූපයේ ස්වභාවය එලෙස යි.

පින්වතුනි, කුණු වැගිරෙමින් මේ ජීවිතය ගත කළත්, මේ ජීවිතය දිගටම පවත්වා ගත නොහැකි යි . එය බිඳෙන සුළු යි. වෙනස්වන සුළු යි. මරණය ලොව සැමටම පොදු යි. හැම දෙයක්ම වෙනස් වෙනවා. නැති වෙනවා. සංඛත වූ දෙය මරණයෙන් කෙළවර වෙනවා. මරණය පිළිබඳ ව නිවැරැදි ව වටහා ගන්නට අවශ්‍ය ය යි. මේ ආකාරයකින් ජීවිතය මරණයෙන් කෙළවර වන බව දන්නවා නම්, දූෂණ, අපරාධ, බියකරු මිනී මැරුම් මෙතරම් ඉහළ ය න්නේ නැහැ. තමන්ගේ ජීවිතයේ වටිනාකම් යම් කෙනෙක් අවබෝධ කර ගන්නවා නම්, සමාජය බොහොම යහපත් වෙනවා. බියෙන් තොරව සමාජයක ජීවත්වන්නට භාග්‍ය ලැබෙනවා.

සතුට

ජරාව, ව්‍යාධිය , මරණය මෙවැනි දුක්වලින් පිරුණු රූපයක් ඔබ අප දරා සිටින්නේ. එහෙමනම් මේ සිරුර දුකින්ම යි පිරී පවතින්නේ. මෙයින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට නම් අප නුවණින් විමසා බැලිය යුතු යි. දුකෙහි කළකිරිය යුතු යි. ඒ නිසාම කිසිවිටක ඇලෙන්නේ නැහැ. නොඇලීම නිසා අනවශ්‍ය ප්‍රාර්ථනාවන්ගෙන් ජීවිතය පුරවා ගන්නේ නැහැ. ලද දෙයින් සතුටු වෙනවා. ජීවිතය සරල බවට පත් කර ගන්නවා. ලෞකික දියුණුව සලසා ගන්නවා. එය කෙලෙසුන් අඩු කරගන්න මාර්ගයක් ද වෙනවා.

මැදින් අව අටවක පෝය 

මැදින් අව අටවක පෝය මාර්තු 16 වන දා සඳුදා පූර්ව භාග 03.19 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 23 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]