මැදින් අවඅටවක 2020.03.16
දෑසම පෙනෙන්නා
ඇසුරු කරන පුද්ගලයින් නිසා ජීවිතය සම්පූර්ණයෙන් ම යහපත් මගට යොමු කර ගන්නෝ වැඩ
සාදාගන්මෝ වෙති. අවාසනාවන්ත ලෙස, වැරැදි මාර්ගයට යොමූ වූවෝ, අවැඩ සාදා ගන්නෝ ද
වෙති. පුද්ගල ඇසුර ඒ සා බලවත් ය. තෝරා බේරා ගෙන පුද්ගලයින් ඇසුරු කළ යුතු මේ නිසා
ය.
එහෙත් සමාජ ජීවිතයේ දී ඇසෙන, පෙනෙන සිදුවීම් අනුව නම් බොහෝ දෙනෙක් පුද්ගල ඇසුරේ දී
අතරමං වී ඇති සෙයක් හැඟේ. යොවුන් වියේ ඇතැම් පාසල් දරුවන්, තරුණ තරුණියයන් පමණක්
නොව අත්දැකීම් ඇති සමහර වැඩිහිටියන් ද මෙසේ අතරමං වූවෝ අතර වෙති.
යම් පාසල් දරුවෙක්, තරුණයෙක්, තරුණියක් ආදී වශයෙන් ඕනෑම වයසක, ඕනෑම තරාතිරමක
පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී සිටිනවා නම්, මත්වතුර පරිහරණය කරන්නේ නම්,
වෙනත් අපාගාමී කටයුත්තක නිරත වී නම්, ඒ තැනැත්තා එහි යොමු කළ හේතු සාධක අතර ප්‍රමුඛ
වන්නේ නරක පුද්ගල ඇසුරම ය.
ජීවිතයේ දුරින් දුරු කළ යුතු පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳ ව අංගුත්තර නිකායේ අවධාරිත
ය. ඒ අන්ධ පුද්ගලයා සහ එක් ඇසක් පමණක් ඇත්තා ය. මෙහි අන්ධ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ
දෑස් නො පෙනෙනකම නොවේ. ආලෝකය පෙනුණ ද , නො පෙනෙන්නා සේ අඳුරෙහිම ගිලුණු පුද්ගලයන්
ය. ධර්මානුකූල විවරණය නම්, මේ අන්ධයා වෙත නො ලද සම්පත් ලබා ගැනීමට හෝ ලද සම්පත්
දියුණු කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව නම් ඇස නැත. කුසල් - අකුසල්, වැරැද්ද - නිවැරැද්ද
, හොඳ - නරක වෙන් කොට දැන ගැනීමේ නුවණැස නැත.
එක් ඇසක් ඇති පුද්ගලයාට නොලද සම්පත් ලබා ගැනීමට, ලද සම්පත් දියුණු කර ගැනීමට නුවණැස
ඇත. එහෙත් කුසලය - අකුසලය, හොඳ - නරක, උස් - පහත්කම් හඳුනා ගැනීමේ නුවණ නැත.
ධර්මානුකූල විවරණයට අනුව දෑසම පෙනෙන්නා ආලෝකයෙන් ආලෝකයට යන්නා ය. එවැනි පුද්ගලයෙකුට
නො ලද සම්පත් ළඟා කර ගැනීමට, ලද සම්පත් දියුණු කර ගැනීමට ප්‍රඥාව ඇත. එමෙන් ම කුසල්
- අකුසල්, හොඳ - නරක, වැරැද්ද - නිවැරැද්ද හඳුනා ගැනීමට නුවණ ඇත. අප ඇසුරු කළයුතු
එවැන්නෝ ය. ඔවුන් කල්‍යාණ මිතුරන් වනවා විනා කිසි විටෙක පස මිතුරන් වන්නේ නැත. බුදු
දහමෙහි සඳහන් වන්නේ මෙසේ දෑසම පෙනෙන පුද්ගලයා ශ්‍රේෂ්ඨයෙකු වන බව ය. ඔහු නිතරම
නිවැරැදි වූත්, උතුම් වූත් කල්පනාවෙන් යුතු වූවෙකි. නිරවුල් මනසකින් කටයුතු කරන
නිසා ව්‍යාකූල සිතින් වැරැදි තීරණ නො ගන්නේ ය. ඔහු තුළ වන උට්ඨාන වීර්යය අන්‍යයන්ට
ද ආදර්ශවත් ය.දැහැමින් උපයාගත් ධනය දැහැමිව පරිහරණය කරන එවන් පුද්ගලයා අත්ත හිත
වනවා සේ ම පරහිත ද වන්නේ ය. ඔහුගේ මෙලොව, පරලොව උභය ජීවිතය ම සාර්ථක ය. යම්තාක් හෝ
නුවණින් විමසා බලන්නේ නම්, ධර්මයට අනුව, සමාජ නීතියට, සොබා දහමට අනුව ගළපා බලන්නේ
නම්, එවැන්නෝ හඳුනා ගැනීම අසීරු නැත.
පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ම මනුස්ස ජීවිතයක වටිනාකම අවබෝධ කර ගැනීම
අවශ්‍යව තිබේ. දෑස් තිබිය දී අන්ධයන් ලෙස ඉබාගාතේ ගමන් කළ යුතු නැත. සුදුසු
නුසුදුසු පුද්ගලයන් කවුරුද යන්න හඳුනා ගැනීමට තමන්ට අවබෝධයක් තිබිය යුතුම ය.
අත්දැකීම් මද වූවන්ට ඒ අවබෝධය ලබා දීමට නිවස, දහම් පාසල, පාසල පමණක් නොව ගමේ සමිති
සමාගම් ද එහිලා තෝ තැන්නක් විය යුතුව ඇත.
|