[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වචනය පසු පස එන සිත් වේදනාව

වචනය පසු පස එන සිත් වේදනාව

සමහර පුද්ගලයන්ගේ කායික ඉරියව් නිසා අපට ඒ පුද්ගලයන් පිළිබඳ පටිඝයක් ඇතිවේ. එවැනි අවස්ථාවක පටිඝය දුරු කරගන්නේ කෙසේ ද?

නොසලකා හැරීම

මෙසේ සිතමු අප වැදගත් තැනකට යනවා . එහි සිටින යම් පුද්ගලයෙක් අප නොසලකා හරිනවා. තමන්ගේ පාඩුවේ වාඩි වී සිටින ඉරියව්වේ ම සිටිනවා. ඉතින් අපට කේන්තියක් ඇතිවනවා. එමඟින් හානියක් සිදු වන්නේ අපට ම යි. ඒ නිසා ඒ පුද්ගලයා කෙරෙහි උපේක්ෂාව, අනුකම්පාව, කරුණාව යන ගුණයන් පුරුදු කරන්නට ඕනෑ.

සමහරු නිවසට ගොස් නිවසේ අයත් සමඟ මේ සිදුවීම ගැන කියනවා. කාර්යාලයේ දී මෙහෙම පුද්ගලයකුගෙන් මේ ආකාරයේ ප්‍රතිචාරයක් ලැබුණා යැයි පවසනවා. සිදුවන්නේ කුමක් ද? නැවත පටිඝ සිතිවිලි ඇතිවීමයි. එය යළි යළි මෙනෙහි නොකර ඉන්න තැනට පත්විය යුතුයි.

“දර්ශන මත්තං” එය දර්ශන මාත්‍රයක් පමණක් යැයි සිතන්නට හැකිනම්, අනවශ්‍ය තරහක් ඇති කර නොගෙන සිටීමට පුළුවන්කම ලැබෙනවා.

වචනයක බලය

“වචනය” බොහොම බලවත්. එක ම වචනයකින් අප වෙත තිබෙන හොඳ ගතිගුණ, හැදිච්චකම, මානසික ඒකාග්‍රතාවය දෙදරා යා හැකියි. ඔහුගේ උත්සාහය අපතුළ වන ශාන්ත බව, කරුණාව, මෛත්‍රීය නැති කර දැමීමටයි. ඒ අවස්ථාවේ දී අප උත්සාහ කළ යුත්තේ කුමට ද? “අනේ ඔහු මේ කරන්නේ අකුසලයක්. එය මගේ ඇඟේ වැදුණේ නෑ නේ ද?” කියා කල්පනා කිරීමයි. එසේ කරන්නට පුළුවන්නම් එය ඉතාම වටිනවා.

නන්දි විසාල ජාතක කතාව ගැන සිතන්න. නන්දිවිසාල ගවයාට පිරිසක් ඉදිරියේ පරුෂ වචනයෙන් කතා කිරීම නිසා තම ස්වාමියාට ලැබෙන්නට තිබූ ඔට්ටුවක් අහිමි වෙනවා. මහා චිත්ත වේදනාවක් වෛරයක්, කේන්තියක් ඇති කර දෙනවා. පසුව නන්දිවිසාල තමන්ගේ ස්වාමියාට කරුණු පහදා දීමෙන් පසු වචනය පාලනය කර ගන්නවා. ආදරයෙන් කතා කරනවා. පැරදුණු ඔට්ටුව ජයග්‍රහණය කරනවා. තිරිසන් සතුන්ට පවා හොඳින් කතා කිරීම තුළ ඇතිවන වෙනස බලන්න. දුප්පත් ස්වාමියාට පුළුවන්කම ලැබෙනවා, අර විශාල වූ ධනස්කන්ධය යළි ජයග්‍රහණය කර ගන්න.

අපි නොසිතා සිදු කරන කායික, වාචසික ක්‍රියා ඊළඟ භවය මෙන් ම මේ භවයේ දී ත් අසාමාන්‍ය වූ දුක් උරුම කරදීම සඳහා බලපානවා.

දුක උරුම වීම

දිනක් කොසොල් රජතුමාගේ සේවකයන්ට මුණ ගැසුණු මාළුවාගේ ශරීරය ඉතාමත් ලස්සනයි. නමුත් මාළුවාගේ මුඛයෙන් දුර්ගන්ධය විහි දී ගියේ සසරේ දී වාචසික ව කළ අකුසල නිස යි. මානසික ව ගොඩනගා ගන්නා වූ තත්ත්වයන් තමන්ගේ සංසාරයට කෙතරම් අයහපත පිණිස පවතිනවා ද කියා දැකගන්නට පුළුවන්කම ලැබෙනවා.

අප නොසිතා කියන වචනය නිසා යමෙක් අප සමඟ වෛර බඳින්න හේතුවක් විය හැකියි. අප සිතකින් නොකීවා වෙන්න පුළුවනි. එහෙත් මතකයේ තබාගත යුතුයි, වචනය පිට කිරීමේ දී, ඉතාමත් පරිස්සම් විය යුත්තේ, තවත් කෙනෙකුගේ චිත්තවේගයන් ඇති කරන්නට, සිතෙහි තරහව ගොඩනඟන්නට, ආධ්‍යාත්මික ශක්තිය පිරිහිලා යන තැනට නම් මේ කටයුතු කරන්නේ, එය විශාල අකුසලයක් බවට පත්වෙනවා.

මෛත්‍රිය

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ආඝාත පටිවිනය නැතිනම් කේන්තිය පාලනය කර ගැනීම සඳහා, තරහව, වෛරය පාලනය කර ගැනීම සඳහා අප කළ යුතු පළමු උත්සාහය නම් මෛත්‍රී සහගත සිතිවිලි උපදවා ගැනීමයි. අපට කවුරු හෝ බැන්නත් අනේ එයාට අත්දැකීම් නැහැනේදැ’යි උපේක්ෂා සහගත විය යුතුයි. ‘අනේ ඒ තැනැත්තාට හානියක් නම් නොවේවා’ සිතා මෛත්‍රිය ඇති කර ගන්න පුළුවන්නම් ඇත්තට ම අපේ මානසික තත්ත්වය ඉදිරියට පවත්වා ගන්නට හැකි වෙනවා. අනේ මේ අහිංසක මනුෂ්‍යයා පව්, නොතේරුම් කමටයි කීවේ යනුවෙන් ඒ තැනැත්තා කෙරෙහි කරුණාව උපදවා ගැනීමට හැකි නම් එය ඉතා වටිනවා.

ඒ වගේ ම උපේක්ෂා සහගත විය යුතුයි.

ඒ වගේ ම යම් කිසි අවැඩක්, නපුරක්, නින්දාවක් ලැබුණේ යැයි එය යළි යළි මෙනෙහි නොකර ඉන්නට උත්සාහ කළ යුතුයි. මෙනෙහි කිරීමතුළ ඇති වෙන්නේ වෛරයක්, ක්‍රෝධයක්, තරහවක්, පලිගැනීමක්. ඒ නිසා ඒවා ඉවත් කර උපේක්ෂා සහගත ව ඉන්නට හැකි නම් එය ඉතා වටිනවා.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

තමන් කළ දේ තමන්ටයි

“මහණෙනි ආඝාතය, එනම් කේන්තියෙන් ඉන්න පුද්ගලයෙක් කෙරෙහි මේ ආකාරයෙන් සිතන්න. මේ අය කර්මය තමන්ගේ කරගෙන, කර්මය දායාද කරගෙන, කර්මය නමැති මව් කුසෙන් ඉපදිලා ඉන්නවා. කර්මය ඥාතියා කරගෙන ඉන්නවා. කර්මය පිහිට කරගෙන ඉන්නවා. ඒ වගේ ම යම් හොඳ දෙයක් හෝ නරක දෙයක් කළේ ද එය ඔහුට දායාද වශයෙන් ලැබෙනවා ඒකාන්තයි. ඔහු කරගත් දේ ඔහුට - මා කරගත් දේ මට යැයි ධර්මානුකූල ව සිතන්න පුළුවන් නම්, ඒ තැනැන්තාට ආඝාතයෙන් තොරව, වෛරයෙන් තොරව, පලිගැනීමේ චේතනාවෙන් තොරව, මෛත්‍රී සිතිවිල්ලෙන්, කරුණාවෙන්, උපේක්ෂාවෙන් ජීවත්වීමට පුළුවනි.

එසේ නොවුණොත් එක වචනයක් නිසා සසර පුරා දුක් විඳින්නට සිදු වෙනවා. ඒ අය අප දැක තිබෙනවා. අසා තිබෙනවා. ඒ වගේ ම එක කායික ක්‍රියාවකින් කල්ප ගණන් අපායේ පැසෙන අය ගැන අප අසා තිබෙනවා. වාචසික සහ කායික ක්‍රියා කියන දේ නරක ආකාරයට එනම් පලිගැනීමේ අදහසින්, වෛරයෙන් සිදු කළොත් එහි ප්‍රතිඵලය මොනතරම් නපුරු ද කියන දේ අපට පැහැදිලි වෙනවා, ධර්ම සාහිත්‍ය අධ්‍යයනය කරන විට .

ඒ නිසා හැම වෙලාවේ දී ම උපේක්ෂා සහගත සිතිවිලි, කරුණා පූර්වාංගම සිතිවිලි, මෛත්‍රී සහගත සිතිවිලි උපදවාගෙන කටයුතු කරන්නට අප කවුරුත් පුරුදු පුහුණු විය යුතුයි.

මැදින් අව අටවක පෝය 

මැදින් අව අටවක පෝය මාර්තු 16 වන දා සඳුදා පූර්ව භාග 03.19 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 23 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]