[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර විජයාරාමය

අනුරාධපුර විජයාරාමය

වන වැදී තිබූ අනුරාධපුර විජයාරාම භූමිය සංවර්ධනය කිරීමේ අරමුණින් එහි ස්මාරක ගවේෂණය කර වාර්තාවක් එළි දැක්වෙන්නේ 2014 වසරේ ය. එම වෙසෙස් කටයුත්ත භාර වී තිබුණේ මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතාට ය.

ඒ මහතා පවසන ලෙස එකල් හි එහි දක්නට ලැබුණේ සහමුලින් ම වනයෙන් වැසී ගිය, සර්පයින්ගෙන් ගහන, දඩයක්කරුවන්ගේ ග්‍රහණයට ලක් වූ භූමියකි. ගවේෂණය සඳහා ලේඛන පරීක්ෂා කිරීමේ දී 1984 වසරේ දී උතුරුමැද පළාත් ඒජන්ත අයිවර්ස් සහ එස්. එම්. බරෝස් මෙම නටබුන් දැකීමට ගිය බවත්, 1891 සිට 1893 දක්වා එච්. සී. පී. බෙල් විසින් නටබුන් පරීක්ෂා කොට ඇති බවත් ය. ඉන් වසර 125 ක් පමණ ගතවීමෙන් පසු මෙම ගවේෂණයේ අරමුණ වූයේ දැනට තිබෙන තත්ත්වය පූර්ණ වශයෙන් වාර්තා කිරීම ය. එහි දී පෙනී ගිය විශේෂත්වයක් වූයේ බෙල් මහතාගෙන් පසුව මෙම ස්මාරක බොහෝ සෙයින් විනාශ වී ගොස් ඇති බවකි.

වල් බිහි වී ගිය, කාලයේ වැලිතලාවෙන් සැඟව යාමට ඉඩ තිබූ විජයාරාම භූමියේ, අති දුෂ්කර වූව ද එහි නටබුන් සොයාගොස් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනූ පුරා විද්‍යා භූමියක් බවට පත් කිරීම, පර්යේෂකයින්ගේ පර්යේෂණ කටයුතු සඳහා පහසු මගක් විවර කරදීම සුවිසෙස් මෙහෙවරකි. එය ලාංකේය ඉතිහාසයේ නව පිටුවක් පෙරළන්නකි. මේ කර්තව්‍යය සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ද එක් වේ.

ඒ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ අදිටනකට අනුව ය. එහි පසුබිම් කතාව ද වෙසෙස් ය. 2014 වසරේ දී පැවති එම සම්මේලනයේ අනූතුන්වන සංවත්සර මහා සභාවාරය නිමිතිකොට අනුරාධපුර ආශ්‍රිත ශාසනික, ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක වැදගත්කමකින් යුතු අප්‍රකට පැරැණි බෞද්ධ සිද්ධස්ථානයක චිරස්ථිතිය උදෙසා සංරක්ෂණය කිරීමට යෝජනා කළ අවස්ථාවේ නම් කෙරෙන්නේ අනුරාධපුර විජයාරාමය යි. මුළු මනින් ම වනයෙන් වැසී තිබූ විජයාරාම පබ්බත විහාර සංකීර්ණය සංරක්ෂණය කිරීමේ කාර්යය ඇරඹෙන්නේ ඒ අනුව ය.

ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය කුලතුංග මහතා පවසන පරිදි විජයාරාමයේ පුරාණ නාමය කුමක්දැයි සොයාගෙන නැත. එහෙත් පැරැණියේ පුවරුම් වෙහෙර (පූර්වාරාමය නැගෙනහිර විහාරය) අභයගිරි පාර්ශවයේ කපාරාමූලයට සම්බන්ධ වූවක් බව එම විහාර භූමියෙන් සොයාගෙන ඇති ශිලා පුවරුවේ සඳහන් ය.

විජයාරාමයෙන් හමු වූ තඹපත් ඉරුවල තිබූ ලේඛන අනුව සනාථ වන්නේ එම ආරාමය වජ්‍රායනය පිළිගත් මහායාන භික්ෂු ආරාමයක් බව ය. විජයාරාමයේ ශාලාව නමින් වූ ගොඩනැගිල්ලෙහි බිත්ති මුහුණතෙහි ශිලා පුවරුවල අවලෝකිතේෂ්වර බෝසත් ඇතුළු දේව රූප තුළින් ද ඒ මතය සනාථ කරයි.

ස්තූපය, උපෝසථාඝරය, පෙත්මඟ සහ ද්වාර මණ්ඩපය, ප්‍රතිමා ගෘහය, ටැම්පිට ගොඩනැගිල්ල, ගල්පුවරුව, ප්‍රාකාර බැම්ම, ආවාසය, ඇතුළු විහාරාරාමයක වෙසෙස් අංග රාශියක් විජයාරාම භූමියෙන් හමු වී ඇත. සඳකඩ පහණ, මුරගල්, කොරවක්ගල්, මල් ආසන, ගල් කණු ආදී බොහෝ අංග ද වේ. විජයාරාම භූමියේ සංරක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් අතීතයේ අප ලද තවත් සාඩම්බර උරුමයක් අද දිනයේ දෙස් විදෙස් සංචාරකයින්ට පහසුවෙන් දැක බලා ගත හැකි ය.

සොයා ගත් මඟ සලකුණු ඔස්සේ පර්යේෂකයින්ට ඉදිරියටත් ඉතිහාසය සොයා යා හැකි ය.

මැදින් අව අටවක පෝය 

මැදින් අව අටවක පෝය මාර්තු 16 වන දා සඳුදා පූර්ව භාග 03.19 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 23 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk