[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

සිරි සුදස්සි රූමස්සල නා හිමි

මාතර තල්අරඹ ගමෙහි 1940 දී ඉපිද 1954 දී කොග්ගල තලාතුඩුව ආරණ්‍යයට තම මෑණියන් විසින් බාරදෙන ලද දයාසේන කුමරු බණදහම් වත්පිළිවෙත් පළපුරුද්ද ලැබීමෙන් පසුව තලාතුඩුව සෙනසුන්පති ශ්‍රී වනරතනවංසාලංකාර විනයාචරිය දොරපේ ඉන්දොභාස නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් සිරි සුදස්සි හිමි නමින් 1955 දී පැවිදි දිවියට පත්විය.

උගතමනා බණදහම් ප්‍රගුණ කරගත් සිරි සුදස්සි හිමියන් 1960 දී කොග්ගල ඔය ජල සීමාවේ දී ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවේ නිර්මාතෘවර රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස නාහිමි රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඤාණාරාම මාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් තලාතුඩුව නාහිමිගේ ආචාර්යත්වයෙන් උපසම්පදා සීලයට පත්වූහ. ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ ශිෂ්‍යත්වයක් ලත් මාහිමියෝ දඹදිව ප්‍රධාන සංඝ නායක හැඩිල්ලේ පඤ්ඤාතිස්ස නායක ස්වාමීන් වහන්සේ යටතේ සාංචියේ ජාත්‍යන්තර ධර්මදූත විද්‍යාලයේ පුහුණුව ලැබ සංකස්සපුර, බරණැස, දිල්ලි, කල්කටා ස්ථානවල ධර්මදූත සේවයේ යෙදුණහ.

1966 දී නැවත ලංකාවට වැඩම කළ අතර මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය මඟින් ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලවලින් ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති උපාධි ලබා අම්පාර ශ්‍රී විද්‍යානන්ද මහා පිරිවෙනේ ගුරු සේවාවෙහි ද, ධර්මදූත සේවාවෙහිද ජීවිතය කැප කරමින්ම උණවටුන රූමස්සල කන්දේ 1974 මැයි පළවෙනිදා කම්කරු දිනයේ දී කලුගල් ගොඩක කටුඅකුලක පොල්අතු මඩුවකින් වයස 35 දී ආරම්භ කළ ශ්‍රී සමුද්‍රගිරි සෙනසුන පුණ්‍යායතනයක් මෙන්ම දැනට බොහෝ භික්ෂු පිරිසක් ඉගෙනුම ලබන පිරිවෙනක් ලෙසින් ද පත්කළහ.

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට කතරගම පෙරගිරිගම බෞද්ධාශ්‍රමය නමින් ද විහාරස්ථානයක් ඉදිකර, අනුරාධපුරයෙන් ශ්‍රී මහා බෝධි අංකුරයක් ද වැඩමකොට රෝපණය කරවා, තවත් පුණ්‍යභූමියක් මතුකරදී තිබෙන සිරි සුදස්සි රූමස්සල නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ කාරක මහා සංඝසභාව මඟින් ශ්‍රී වනරතන ඉන්දෝභාස වංසාලංකාර ධර්මශාස්ත්‍රශූරී කර්මස්ථානාචාර්ය යන ගෞරව සම්මානයට අමතර ව මුන්වහන්සේට තෛ‍්‍රනිකායික එක්සත් භික්ෂු බලමණ්ඩලයෙන් අධිකරණ සංඝනායක පදවිය ද වෙනත් විවිධ සමිති සංවිධානවලින් ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශාස්ත්‍ර විශාරද පණ්ඩිත, ශ්‍රී ලංකා සර්වජන ප්‍රසාදිනී, ධර්මශාස්ත්‍ර ශිරෝමනී, ස්වර්ණප්‍රදීප ලාභී, දේශකීරර්ති, සමස්ත ලංකා සාමදාන විනිශ්චයකාර, ජ්‍යෙෂ්ඨ පුරවැසි ජනාධිපති සම්මානය, කීර්ති ශ්‍රී ධර්ම විශාරද ශාස්ත්‍රශූරී විචිත්‍ර ධර්මකථික සහ ධර්ම කීර්ති ශ්‍රී ඉන්දෝභාස වංසාලංකාර සර්වජනජය ලංකා බුද්ධපුත්‍ර ආදියෙන් ගරු සම්මාන රාශියකින් පිදුම්ලබා දැනට අසූව විය පසුකර වැඩසිටින සිරි සුදස්සි ගුරුදේවෝත්තමයන් වහන්සේ ශතවර්ෂාධික කාලයක් නිදුක් නිරෝගීව තවදුරටත් සසුන් දියුණුව සඳහා වැඩ සිටීමට මාර්තු 7 වෙනිදා සවස ආශිර්වාද බෝධි පූජාවෙන් අනතුරුව පිරිත් දේශනයක්ද අටවෙනිදා දෙසීයක් පමණ ගරුතර මහා සංඝරත්නයට සපිරිකර දානය පිරිනමා ගුරුවරුන් ආදී සෑම සියලු දෙනාට පින් අනුමෝදන් කෙරිණි. විශේෂයෙන්ම එදා අම්පාරේ අරන්තලා භික්ෂු ඝාතනයෙන් ද බේරුණු ගුරුදේවයන් වහන්සේට දිගාසිරි පතමු.

****

දියගම අභයබුද්ධි නා හිමි

කළුතර දිසාවේ ගෝනපොල, පලන්නොරුව ශ්‍රී විජයසුන්දරාරාමාධිපති විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති දියගම අභයබුද්ධි හිමිපාණන් වෙත මහනුවර මල්වතු මහා විහාරයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ අනුනායක කාරක මහා සංඝ සභාව මගින් ‘සද්ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ සීලවිමල’ යන ගෞරව නාමය සහිතව කොළඹ, කළුතර දෙදිසාවේ උප ප්‍රධාන සංඝ නායක ධූරය පිරිනැමී ය.

1966 හෝමාගම - දියගම දී උපත ලද මුන් වහන්සේ ගිහිකල දියගම කණිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික සහ මහරගම මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලදහ. දියගම ශ්‍රී ශාලවනාරාමස්ථ ශ්‍රී ඛේමානන්ද දහම් පාසල ඔස්සේ කුඩා කාලයේ දී ම ආගම දහමට නැඹුරු වූ කුමරු 1983 දී ගෝනපල පලන්නොරුව විජයසුන්දරාරාමයේ දී පිඹුරේ සීලවිමල, කිරි ඇල්ලේ පේමතිලක යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්ව, 1986 දී මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදා වූහ. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපකුලපති ව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත පලන්නොරුවේ විමලධම්ම නාහිමියන්ගේ ගුරු භූමිය වූ විජයසුන්දරාරාමයේ වැඩ සිටිමින් අභයබුද්ධි නාහිමියෝ විවිධ සමාජ සේවා කටයුතුවල නිරත වූහ.

හොරණ විද්‍යාරත්න පිරිවෙනින් සහ මාදන්වල ධර්මෝදය පිරිවෙනින් ප්‍රවෘජ්‍යා භූමියට අදාළ සිප් සතර හැදෑරූ නාහිමියෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබාගත්හ. කලක් වරකාපොල සීලවිමල පිරිවෙනේ සේවය කළ අභයබුද්ධි හිමියෝ පසුව තම විහාරස්ථානයට ආසන්න පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයේ දස වසරකට වැඩි කාලයක් ධර්මාචාර්යවරයෙකු ලෙස එම විදුහලට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට විපුල සේවාවක් කරන ලදී.

පලන්නොරුව විජයසුන්දරාරාමය සකලාංග සම්පූර්ණ කිරීමට දැඩි වෙහෙසක් ගත් අභයබුද්ධි හිමියෝ විහාරස්ථ විමලතිස්ස දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන් හොරණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ක්‍රියාකාරී දහම් පාසලක් බවට එය පරිවර්තනය කළහ. වාර්ෂිකව ගැබිනි මව්වරුන් එකසිය පනහකට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කරන උන්වහන්සේ ශිෂ්‍යත්ව විභාගය සමත් ප්‍රදේශවාසී දරු දැරියන්ට ද ශිෂ්‍යත්ව ප්‍රදානය කරන්නාහ.

විහාරස්ථ අනුබද්ධ විවිධ සමිති සමාගම් රැසක අනුශාසක ධූර උසුලමින් ඒවායේ අභිවෘද්ධියට ඉමහත් සේවාවක් සපයන දියගම අභයබුද්ධි හිමියෝ තම ශාසනික ජාතික මෙහෙවර ඉදිරියට ගෙන යාම සඳහා සමත් ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසක් ද සසුනට දායාද කර ඇත. අභයබුද්ධි නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කිරිවත්තුඩුව, දියගම ශ්‍රී ශාලවනාරාමාධිපති, හෝ / ජනාධිපති විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති දියගම ධම්මරක්ඛිත හිමියෝ එම සිසු පිරිස අතර ප්‍රමුඛ වෙති.

මෙසේ ලෝක ශාසනික සේවාවෙහි නිරත දියගම අභයබුද්ධි හිමියන්ට ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය මාර්තු 10 දින මල්වතු මහා විහාර උපෝෂථාගාරයේ දී සිදු කෙරිණි. අභිනව දියගම අභයබුද්ධි කොළඹ, කළුතර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක හිමිපාණන් පිළිගැනීමේ උත්සවය මාර්තු 14 සෙනසුරාදා පෙරවරු 10.00 ට මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පලන්නොරුව විජයසුන්දරාරාමයේ දී සිදු කෙරිණි.

“නාහිමියන්ට චිරං ජයතු”

මැදින් අව අටවක පෝය 

මැදින් අව අටවක පෝය මාර්තු 16 වන දා සඳුදා පූර්ව භාග 03.19 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 23 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk