[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශාසනයේ උන්නතියට භික්ෂුවගේ කර්ය භාරය

ශාසනයේ උන්නතියට භික්ෂුවගේ කර්ය භාරය

මෙම ලිපියෙහි දෙවන කොටස දුරුතු පුරපසළොස්වක (ජනවාරි 10) පත්‍රයෙහි පළවිය.

වත්මන් අභියෝගය

අද ලෝක ශිෂ්ටාචාරය සකස් වී තිබෙන්නේ මිනිස් සංහතියට පමණක් නොව ජීවී අජීවි සියලු ලෝකය ම වේගවත්ව විනාශය කරා ගෙනයන ආකාරයට ය. අද අප ජීවත් වන්නේ ලෝකය පහසුවෙන් ම විනාශ කරදැමීමට හැකි ලෙස ලෝක බලවතුන් විසින් න්‍යෂ්ටික අවි ස්ථානගත කර ඇති යුගයක ය.

ජාති, ආගම්, කුලගෝත්‍ර, භාෂා, දේශපාලන මතවාද හැමෙකක් ම එකිනෙකා මරාගැනීමට තරම් බලගතු ලෙස මිනිසාගේ භේදභින්නතාවට කරුණු වී තිබේ. සක්කායදිට්ඨිය ම බහුල කරගැනීමේ ප්‍රතිවිපාක වශයෙන් පැනනැගී ඇති අර්බුද සහිත අද ලෝකයට අවශ්‍ය ම වන්නේ සක්කායාභිරතියෙන් විමුක්ත වීමට මඟ පෙන්වන දහමක් ම ය.

බුදුරජාණන් වහන්සේ යනු පුද්ගලයා කුසලයෙහි නිපුණයකු කරවන්නට මුණගැසෙන ශාස්තෘත්‍වයක් බව දම්සෙනෙවි සැරියුත් හිමියෝ අපට පෙන්වා දෙති. (සම්මුඛීභූතො නො සත්‍ථා, යො නො ධම්මානං සුකුසලො)5 කුසලයෙහි නිපුණ නො වී, සාමය, සතුට, සැපත, සොම්නස වාස්තවික වශයෙන් පමණක් උදාවන්නේ නැත. පුද්ගලචර්යාවන් හැඩගැසෙන්නේ පුද්ගලයාගේ මානසික ආකල්ප වලට අනුව ය. ආකල්ප සැකසෙන්නේ පුද්ගලයාගේ ලෝකදෘෂ්ටියේ ස්වභාවය අනුව ය. මේ සඳහන් කළේ දෘෂ්ටිය, කල්පනය හා චර්‍ය්‍යාව පිළිබඳ අනුපූර්ව සම්බන්‍ධතාවයි. වර්තමාන ලෝකයේ උත්සන්නව ඇති සරාගී, සාපරාධී, ප්‍රචණ්ඩ, යුදකාමී මානසිකත්‍වය විසින්

හසුරුවනු ලබන මිනිස් සන්තානය සමාජ සංස්ථාගත ප්‍රතිසංස්කරණයන් මඟින් පමණක් සතුටුදායක පරිවර්තනයකට ලක් කළ නො හැකි ය. ඒ සඳහා පිරිපුන් ආධ්‍යාත්මික ජීවන දර්ශනයක් අවශ්‍ය ය. ඒ අවශ්‍යතාව සපුරාලන්නේ තථාගතප්‍රවිදිත සද්ධර්මයයි.

ඉක්මන් අවශ්‍යතාවක්

ලක්දිව යටත්විජිත යුගයේ අවසාන භාගයෙහි සසුනට ජීවය දෙන්නට, ධර්මශාස්ත්‍රීය උන්නතියට බොහෝ ගිහි පැවිදි උතුමෝ ඇපකැප වූහ. එවකට උදා වී තිබූ පරිහානියේ හැටියට පෙනෙන්නේ ධර්මශාස්ත්‍රීයෝන්නතියෙන් පසු ආධ්‍යාත්මික ප්‍රබෝධය පිණිස කටයුතු කරන්නට තරම් ප්‍රමාණවත් කාලාවකාශයක් ඒ උතුමන්ට නො වූ සෙයකි. වත්මනෙහි වගකීම ඒ අතපසු වූ වටිනා ම කොටස ප්‍රායෝගික වශයෙන් හඳුනා ගැනීමයි. සමාජගත කිරීමයි. එය නම් දැනටමත් ප්‍රමාද වැඩි ය. එක් පසෙකින් ඇත්තේ කලක් තිස්සේ සද්ධර්මයේ ප්‍රායෝගිකත්‍වය අමතක කිරීම නිසා සිත් සේ වැඩුණ ආධ්‍යාත්මික උදාසීනතාවයි. තවත් පසෙකින් ධර්මය පිළිබඳ විකාරරූපී අර්ථවිවරණයන් ය. අනෙක් අතින් බණකෝලාහල ය. මේ පසුබිම තුළ දහම කැමති සාමාන්‍ය ලෝකයා සාවද්‍යය, නිරවද්‍යය තේරුම් ගැනීමට නො හැකිව අන්‍දමන්‍දව සිටියි. පැවිදි සමාජයේ බහුතරයක් මේ තත්ත්වය හමුවේ නිවැරදි පිළිවෙත හඳුන්වා දීමෙහි සමත් යයි කිව නො හැකි ය.

අද ආරාමික ශික්‍ෂණය හෝ පාරිවේණික ශික්‍ෂණය හෝ ආධ්‍යාත්මික ප්‍රබෝධයෙන් යුක්ත භික්‍ෂුවක් සකස් කරන්නට සමත් නොවේ. භික්‍ෂු අධ්‍යාපනය අධ්‍යාපන අමාත්‍යංශය යටතේ රටේ පොදු අධ්‍යාපන ප්‍රණාලියට සම්බන්‍ධ කර තිබේ. විශ්වවිද්‍යාලවල මානවශාස්ත්‍රපිඨ යටතේ පාලි හා බෞද්ධ අධ්‍යනය පිළිබඳ දෙපාර්තමේන්තු පවතී. භික්‍ෂූන්ට විශේෂිත වූ භික්‍ෂු විශ්වවිද්‍යාලයක් තිබේ. පාලි හා බෞද්ධ අධ්‍යයනයට විශේෂිත වූ විශ්වවිද්‍යාලයක් තිබේ. එමඟින් බොහෝ දෙනා සෑහීමකට පත් වුවත්, ඒ එකකින්වත් අපේක්‍ෂා නො කළහැකි දෙය සසුන් පිළිවෙතයි. එය සපිරෙන්නේ ගිහි කළමනාකරණයකින් යුක්ත ආයතන වලින් නොව ධර්ම විනයෙහි හසළ මහතෙරුන් වහන්සේලාගෙන් වියයුතු ය. ඒ සඳහා අප්‍රමාදී පෙළගැස්මක අවශ්‍යතාව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පේනතෙක් මානයක නම් ඒ බව වැටහී ඇති බවවත් දක්නට නැත. එහෙයින් යට කී අභියෝගාත්මක තත්ත්වයන් ඉදිරියේ පොදු සමාජය වෙත ප්‍රඥාසම්ප්‍රයුක්ත ආධ්‍යාත්මික කල්‍යාණමිත්‍රත්‍වයක් භික්‍ෂුව කෙරෙන් සැපයීම අව ම වී ඇත. චෝදනා මුඛයෙන් කාට ඇඟිල්ල දිගු කළත් බුදුරජාණන් වහන්සේ නම් වදාළේ “යම් කෙනෙක් මේ සද්ධර්මය අතුරුදන් කෙරෙද්ද, ඒ හිස් පුරුෂයෝ සසුනෙහි ම උපදිත්”, යනුවෙනි. (අථ ඛො ඉධෙව උප්පජ්ජන්ති මොඝපුරිසා යෙ ඉමං සද්ධම්මං අන්තරධාපෙන්ති)6 ඒ බව සඳහන් කරන මේ සද්ධම්මපතිරූප සූත්‍රයෙහි සද්ධර්මය අතුරුදන් කරවන සාධක හැටියට දේශනා කරන්නේ යට දැක් වූ කිම්බිල සූත්‍රයේ දැක්වූ කරුණු ම ය.

ශාසනෝන්නතියට

සසුනේ උන්නතිය පිණිස කෘත්‍ය සම්පාදනය කිරීම ස්ථවිර භික්‍ෂූන් වහන්සේලාගේ වගකීමයි. ලොවට අවශ්‍ය වන්නේ සමාජයට සද්ධර්මයේ මාර්ගෝපදේශකත්‍වය දියහැකි භික්‍ෂු පිරිසක් නම් ඒ අවශ්‍යතාව සපුරාලිය හැක්කේ භික්‍ෂුව සද්ධර්මය විසින් ප්‍රබෝධමත් වූ පමණට ය. බුද්ධවචනය කිසියම් ජාතියක ගෝත්‍රයක සංස්කෘතියකට සීමා වූවක් නොව පොදුවේ සැමගේ මනෝධර්මයන් හා චර්යාධර්මයන් ගුණාත්මක වශයෙන් පරිවර්තනයට ලක් කරන්නට සමත් දහමක් බව අමතක කළයුතු නො වේ. සැමගේ ආධ්‍යාත්මික සුවපත් බව පිණිස වූ මේ දහම මෛත්‍රිය, කරුණාව, අන්‍යොන්‍ය ගෞරවය හා ප්‍රඥාව පිණිස වූවකි. එවන් ශාසනයක් ශාස්තෘන්වහන්සේගේ ඇවෑමෙන් කවරක් පිළිසරණ කොට චිරස්ථායී වන්නේ ද යන්න මෙහි දී විමසා බැලිය යුතු වේ.

මෙම ලිපියෙහි තවත් කොටසක් දුරුතු අමාවක (ජනවාරි 24 ) පත්‍රයේ පළවේ

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]