[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු අව අටවක 2020.01.17

දියුණුවට මග

දියුණුව ම ප්‍රාර්ථනා කිරීමත්, පරිහානිය ප්‍රතික්ෂේප කිරීමත් මනුෂ්‍යයන් ලෙස අපගේ සාමාන්‍ය ස්වභාවය වන්නේ ය. එය යහපත් ය. සංසාර ගමනේ අතිශය දුර්ලභ වූ මිනිසත් බව ලැබ, කෙනෙක් විනාශයට, පරිහානියට යනවා නම්, එය මිනිසත්කමට ද නො ගැළපෙන්නේ ය. භෞතික දියුණුව හා ආධ්‍යාත්මික දියුණුව යන දෙ අංශයට ම එය පොදු ය. ආධ්‍යාත්මික ගුණ ධර්ම පිරිහී භෞතික සැප සම්පතින් ආඪ්‍ය වූවාට මිනිසා සම්පූර්ණ වන්නේ නැත. එම යහපත් පැවතුම් වැඩිදියුණු කර ගන්නා අතර ම ගිහියන්ට තම කුදු මහත් කටයුතු කර ගැනීම සඳහා භෞතික දියුණුවද අත්‍යවශ්‍ය ය.

ජීවත්වීමට අදාළ භෞතික සම්පත් දුලබවීම ද ඇතැම් විට ආධ්‍යාත්මික ගුණධර්ම පිරිහීමට හේතුවක් වනු ඇත. සොරකම් කිරීමට, අනුන් තලා පෙළා හෝ ධනය උපයා ගැනීමට සිතීම, වෛරය, ක්‍රෝධය වැනි සිතිවිලි ඇතිවීමට පුළුවන. මේ නිසා පුද්ගලයා සම්පූර්ණ වීමට මේ දෙ අංශයේ ම පූර්ණත්වයක් තිබිය යුතු ය.

එහෙත් වත්මන් සමාජයේ ඇතැම් අය ගුණ ධර්ම බැහැරලා භෞතිකම ය සැප සම්පත්, මුදල් හදල් පසුපස ම හැල්මේ දිවයන ආකාරය නම් සුලබ දසුනක් ය. බෞද්ධයෙකුට එය කිසිසේත් ම සුදුසු නොවේ. ගිහි බෞද්ධයාට දියුණුව කරා යාමේ අපූර්ව මාවතක් සම්බුද්ධ දේශනාවේ අන්තර්ගත ය. එය මෙලොවට පමණක් සීමා වූවක් නොවේ. පරලොවට ද වැඩ සදන දේශිතයකි. මංගල සූත්‍රයෙහි දෙලොව දියුණුවට හේතුවන කරුණු අන්තර්ගත ය. පරාභව සූත්‍රය පුද්ගලයා පිරිහීමට ඇද දමන කරුණු විවරණය කරයි. බොහෝ බෞද්ධයන්ට මේ සූත්‍ර ධර්ම දෙකම කට පාඩම් ය. එහෙත් හිතට ගත් ලෙසක් දක්නට අසීරු ය. ප්‍රායෝගික ව ඒ මග යන බවක් දැකීම දුර්ලභ හෙයිනි. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ම මේ දහම් කරුණු නිසි ලෙස අවබෝධ කොට ජීවිතයට ගළපා ගන්නවා නම් භෞතික, ආධ්‍යාත්මික දියුණුව ළඟා කර ගැනීම අසීරු වන්නේ නැත. ඒ සඳහා ක්‍රමවත් සූදානමක්, වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බව පැහැදිලි ය.

දියුණුව ද, පිරිහීම ද ඇත්තේ තමා තුළම ය. ඒ සඳහා අන්‍යයන්ට කළ හැකි මග පෙන්වීම පමණි. සම්බුදු දහම පුහුදුන් අපට අපූර්ව ලෙස ඒ මග පෙන්වාදෙයි. දියුණුවන්නා ධර්මයට කැමැති ය. එහි සතුටු ය. ධර්මයට සතුරු වූයේ යම් කෙනෙක් ද ඔහු පිරිහුණු පුද්ගලයෙක් බවට පත්වන්නේ ය. දහම් මග අවධාරණය කරන්නේ එලෙස ය.

අද ඇතැම් කෙනෙක් බෞද්ධකම ආභරණයක් කොටගෙන ඇත්තේ නාමිකව ය. සැබෑ බෞද්ධයන් ලෙස නොව ධර්මයට පටහැනි වූවන් ලෙස ය. ධර්ම මාර්ගයේ යන බව හඟවමින් ඔවුහු අදැහැමි මග ම යති. එහෙත් බෞද්ධයන් ලෙස පෙනී සිටිති.

අවසන රැවටෙන්නේ තමන් ම ය. සමහරු රැකියාවෙහි වංක ය. බොහෝ වැඩ කටයුතු කරනවා යැයි පෙන්වුව ද මන්දගාමී ය. අලස ය. නිද්දාශීලී ය. තවත් සමහරු තමන්ගේ කාලය විනාශ කර ගන්නේ සභාශීලී වීමෙනි. අනවශ්‍ය, අසීමාන්තික අල්ලාප සල්ලාප විනාශකර දමන්නේ වැඩ කරන්නට ඇති කාලය යි. දියුණුවීමට නම් ධෛර්යය අවැසි ය. මේ සියලු කරුණු භෞතික දියුණුවට හානිකර වෙනවා මෙන් ම ආධ්‍යාත්මිකව ද පරිහානිය කරාම පුද්ගලයා මෙහෙයවයි.

ඇතැම් කෙනෙක් හේතු ඇතිව ද, මවාගත් හේතූන්ට ද කෝප වෙති. ඇතැම්විට අනුන්ගේ කේළාම් අසා අනුන්ට ක්‍රෝධ කරති. වහා කිපෙති. එවිට තමන් කරන කියන දෙය ගැන අවබෝධ රහිත ය. මුලාවට පත් වන්නේ ය.

තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම්, වගකීම් සියල්ල මේ තුළ ගිලිහී යන්නේ ය. නිවසතුළ, රැකියා ආයතනතුළ බොහෝ ගැටලු පැන නඟින්නේ මේ පරිහානිය ධර්ම නිසා ය. ඉගෙනුම ලබන දරුවාට ද මෙය පොදු ය. මේ නිසා බලාපොරොත්තු ඉටු කරගන්නට, ජීවිතය දියුණුවට පත් කර ගන්නට පළමුකොට තම තමන්ගේ අඩුපාඩු සකසා ගත යුතු ය. දියුණුව ඒ ළඟ ම ඇත.

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]