තෙවළා බුදු වදන් අතරින් 55 සදාචාරාත්මක ජීවිතයක අවශ්‍ය පෙළඹවීම
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
අංශාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
තම හෘදය සාක්‍ෂිය අනුව තමාට ම තමා අවංක වෙමින් දුසිරිතෙන් වැළකී, සුචරිතයෙහි යෙදීමට
අදිටන් කර ගැනීම හෝ පෙළඹවීමක් ඇතිකර ගැනීම අත්තානුවාදය යි.
මිනිසා තුළ සහජ වශයෙන් ම බිය පවතී. පුද්ගල සන්තානයේ ඇතිවන බිය ඇතැම් විටෙක ආරක්‍ෂාව
සඳහාත්, යම් අභියෝගයකට සාර්ථක ව මුහුණ දීමටත් අවශ්‍ය ශක්තිය ලබා දෙයි. එහෙත් දීර්ඝ
කාලීන ව පුද්ගල සන්තානයේ පවතින බිය, මානසික ආබාධයක් දක්වා වර්ධනය විය හැකි ය.
බුදුසමය පුද්ගල සන්තානගත බිය, කුසලය වැඩීම සඳහා වන අභිප්‍රේරණාත්මක චිත්ත වේගයක්
ලෙස හඳුන්වා දෙයි. හිරි ඔත්තප්ප හෙවත් ලජ්ජාව හා බිය සාදාචාරාත්මක ශික්‍ෂණය
ප්‍රවර්ධනයෙහිලා ඉවහල්වන සමාජ පාලන ධර්මතා දෙකක් ලෙස හඳුන්වා දී තිබෙන්නේ ඒ හෙයිනි.
මේ පිළිබඳ ඉගැන්වෙන බෞද්ධ සූත්‍ර දේශනා අතර අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන භය
සූත්‍රය පුද්ගලයා සදාචාරාත්මක චර්යා කෙරෙහි අභිප්‍රේරණය කිරීම සඳහා බියෙහි පවතින
උපයෝගීතාව පැහැදිලි කරයි. ඒ අනුව කෙනෙකු සදාචාර සම්පන්න චර්යාව කෙරෙහි මෙහෙයවන,
නැතහොත් පොළඹවන බිය සතර කි. එනම් අත්තානුවාද ය, පරානුවාදභය, දණ්ඩ භය, දුග්ගති භය,
යනු එම භය සතර යි.
අත්තානුවාදභය යනු කෙනෙකු තමාගේ ම චර්යාව සම්බන්ධයෙන් ඇතිකර ගන්නා බිය යි. එය විවිධ
අයුරින් කල්පනා කොට ඇතිකර ගන්නා තත්ත්වය කි. සූත්‍රයේ දැක්වෙන පරිදි “මම කයින්,
වචනයෙන් හා මනසින් දුශ්චරිත ක්‍රියාවල නිරත වන්නේ නම් ඒ හේතුවෙන් මට මගේ හෘදය
සාක්‍ෂිය අනුව තමාට ම චෝදනා කර ගැනීමට සිදුවෙයි.” යනුවෙන් කල්පනා කොට තම හෘදය
සාක්‍ෂිය අනුව තමාට ම තමා අවංක වෙමින් දුසිරිතෙන් වැළකී, සුචරිතයෙහි යෙදීමට අදිටන්
කර ගැනීම හෝ පෙළඹවීමක් ඇතිකර ගැනීම අත්තානුවාදය යි. මෙහිදීි සිදුවන්නේ පුද්ගලයා
තමාට ම තමා අවංක වෙමින්, තම චර්යාව විනිශ්චය කරන තැනැත්තා බවට පත්ව, සිතට එකඟ ව වරද
දකිමින් එයින් වැළකීම යි. තමා විසින් සිදු කිරීමට යන ක්‍රියාවෙහි පවතින අනතුරු දායක
බව මෙන් ම, එයින් ඇතිකෙරෙන ආදීනවත් සැලකිල්ලට භාජනය කළ විට එම ක්‍රියාව සම්බන්ධයෙන්
බියක් ඇතිවීම ස්වභාවික ය. එසේ ඇතිවන බිය වරදින් නිදහස් වීමට අවශ්‍ය අභිප්‍රේරණයක්
බවට පරිවර්තනය කර ගැනීම අත්තානුවාද භය මගින් අපේක්‍ෂිත ය. පුද්ගල අවබෝධය මත
ක්‍රියාත්මක වන මෙය තමා කවරෙක් ද? තමාට පැවරී ඇති සමාජ වගකීම කුමක් ද? තම භුමිකාව
හා එහි කාර්යභාරය කුමක් ද? යන අවබෝධය කෙනෙකුට මේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය වේ. එකී
අවබෝධය සහිත තැනැත්තා නිරන්තරයෙන්ම තම සදාචාරාත්මක පැවැත්ම කෙරෙහි විශේෂ සැලකිල්ලක්
දක්වයි. තම හෘදය සාක්‍ෂිය පිළිබඳ දැනුම හා අවබෝධය සැම කෙනෙකුට ම අවශ්‍ය වේ.
කෙනෙකුට තම සාවද්‍ය කායික, වාචසික හා මානසික චර්යාව සම්බන්ධයෙන් සමාජ ප්‍රතිචාරය
කුමක් විය හැකිදැයි යන කල්පනාව මත ඇතිවෙන බිය පරානුවාද බිය යි. මෙහිදී සලකා
බැලෙන්නේ කිසියම් ක්‍රියාවකට ලැබෙන සමාජ ප්‍රතිචාරය පිළිබඳව යි. එම ප්‍රතිචාරය නරක
එකක් වේ යැයි උපකල්පනය කිරීමෙන් සිතෙහි ඇතිවෙන බිය වරදින් නිදහස් වීමෙහිලා
පෙළඹවීමක් බවට පත් කර ගැනීම මෙමගින් සිදු වේ. සැම ක්‍රියාවකට ම සමාජ ප්‍රතිචාරයක්
තිබේ. එම ප්‍රතිචාරය හොඳ හෝ නරක විය හැකි ය. ප්‍රතිචාරය හොඳ හෝ නරක වන්නේ පුද්ගල
චර්යාවට සාපේක්‍ෂව ය. පුද්ගලයාගේ මෙන්ම, සමාජයේ යහපත සඳහා සමාජය විසින් සාමූහික ව
සම්මත කර ගත් ධර්මතා මෙන්ම තහංචි පවතී. ධර්මතා යනු සමාජසම්භාවනාවට පාත්‍ර වන යහපත්
සිරිත් විරිත් ය. තහංචි යනු සමාජය විසින් නොකළයුතු හෝ, අනුගමනය නොකළයුතු හෝ යනුවෙන්
සම්මත කරගත් පිළිවෙත් ය. සමාජයේ යහපැවැත්ම පිණිස හේතුවන ධර්මතා බිඳ දමමින් කෙනෙකු
කටයුතු කරන්නේ නම්, ඔහු හෝ ඇය නිරායාසයෙන් ම සමාජයේ ගැරහීමට පාත්‍ර වේ. එසේ ම සමාජය
සම්මතකරගත් තහංචි නොසලකා කටයුතු කිරීම ද සමාජ අපවාදයට හේතු වේ. මේ අනුව කෙනෙකු තම
චර්යාව සම්බන්ධයෙන් සමාජ ප්‍රතිචාරය සැලකිල්ලට ගෙන ඇති කර ගන්නා බිය සදාචාරාත්මක
ශික්‍ෂණයක් ඇතිකර ගැනීමෙහිලා අභිප්‍රේරණයක් වන අයුරු පරානුවාද බිය මගින්
පැහැදිලිවේ.
නීතිය මගින් පුද්ගලයාට මෙන්ම සමාජයටත් ආරක්‍ෂාව සැලසෙන අතර එයින් තවදුරටත් පුද්ගල
චර්යාව පාලනය කෙරේ. එබැවින් සමාජ සදාචාරය පවත්වා ගැනීමෙහිලා නීතිය අත්‍යවශ්‍ය වේ.
නීතිය උල්ලංඝනය කරන තැනැත්තා ට එයට අනුරූපව දඩුවම් විඳීමට සිදු වේ. නීතිය බිඳ
දමමින් හැසිරෙන තැනැත්තාට දඬුවම්දීමෙන් ඔහු හෝ ඇය ආයති සංවරයේ පිහිටුවීම අපේක්‍ෂා
කෙරෙන අතර, වරද නොකළ පුද්ගලයන් වරදට පෙළඹීමට තිබෙන අවස්ථා ද එමගින් පාලනය කෙරේ. ඒ
අනුව නීතිය මෙන් ම දඩුවමත් සමාජ සාදාචාරය ගොඩනැගීමෙහිලා අවශ්‍ය වේ. කිසියම් සදාචාර
විරෝධි චර්යාවක නිරත වීමට අපේක්‍ෂා කරන්නෙකු එම ක්‍රියාව හේතුවෙන් තමාට මුහුණ දීමට
සිදුවන විවිධ වධබන්ධන ගැන සලකා බලා ඇතිකර ගන්නා බිය දණ්ඩ භය නම් වේ. එය පුද්ගල
සදාචාරය මෙන් ම, සමාජ සදාචාරය ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය වේ.
පරලොව පිළිබඳ විශ්වාසය සමාජ සදාචාරය ගොඩනැගීමෙහිලා ඉවහල් වේ. පරලොව විශ්වාස
නොකරන්නෙකුට ඉහතින් දැක්වූ අත්තානුවාද භය, පරානුවාද භය හා දණ්ඩ භය අනුව සදාචාරාත්මක
ජීවිතයක් ගොඩනගා ගැනීමට හැකි ය. පරලොව විශ්වාස කරන්නෙකුට තම සාවද්‍ය චර්යාවෙහි
ප්‍රතිඵලයක් වශයෙන් මරණින් පසුව වි¼දීමට සිදුවෙතැයි උපකල්පනය කෙරෙන දුක්ඛදායික
තත්ත්වය ගැන සලකා බලන විට ඇතිවෙන දුගති බිය සදාචාර සම්පන්න ජීවිතයකට අවශ්‍ය පදනම
සකසා ගැනී ට උපයෝගී කර ගත හැකි වේ. සුගතිය හෝ දුගතිය නැතහොත් දෙව්ලොව හා අපාය
පිළිබඳ ආගමික ඉගැන්වීම්වල මුඛ්‍යතම අරමුණ වන්නේ පුද්ගලයා හා සමාජය පිළිබඳ සදාචාරය
ප්‍රවර්ධනය කිරීම යි. එම අදහස ඉස්මතු කෙරෙමින් ඉදිරිපත්කරන ලද බෞද්ධ චිත්‍ර, මූර්ති
ආදි කලා නිර්මාණවලින් සිදුවී තිබෙන්නේ එම කාර්ය යි. එබැවින් අපාය හා දෙව්ලොව පිළිබඳ
සංකල්ප හා විශ්වාස සාදාචාරාත්මක ජීවිතයකට අවශ්‍ය පෙළඹවීම් ඇතිකෙරෙන ඉගැන්වීම්
වශයෙන් පිළිගැනීම අවශ්‍ය වේ. බෞද්ධයෙකු මූලික වශයෙන් පරලොව විශ්වාස කරන්නේ
බුදුරදුන් වදාළ කර්මය හා පුනර්භවය පිළිබඳ ඉගැන්වීම්වලට අනුව ය. එසේම බෞද්ධ සදාචාරය
යටතේ යහපත් කර්මවලට අනුරූපි විපාක වශයෙන් සුගතියත්, අයහයපත් කර්මවලට අනුරූපී විපාක
වශයෙන් දුගතියත්, ගෙනහැර දක්වා තිබෙන්නේ බුදුරදුන්ගේ අභිඥා පාදක කරගත් අතීන්ද්‍රීය
ප්‍රත්‍යක්‍ෂ ඤාණය අනුව ය. එබැවින් දුගතිය හා සම්බන්ධ බිය පුද්ගලයා තුළ සදාචාර
සම්පන්න ජීවිතයකට අවශ්‍ය පෙළඹවීම ඇතිකිරීමට ඉවහල් වේ.
ඉහතින් දැක්වූ සතරවිධ බිය පුද්ගල සදාචාරය මෙන්ම සමාජ සදාචාරය ගොඩනැගීමෙහිලා ඉවහල්වන
යහපත් පෙළඹවීම් වශයෙන් නම්කළ හැකි ය. පළමු වැන්නෙන් සදාචාරාත්මක චර්යා පිළිබඳ හෘදය
සාක්‍ෂියත්, දෙවැන්න හා තුන්වැන්නෙන් සදාචාරාත්මක චර්යා පිළිබඳ සමාජ ප්‍රතිචාරය හා
ආකල්පයත්, තුන්වැන්නෙන් සදාචාරාත්මක ක්‍රියාවල ආගමික පදනමත් ප්‍රකට වේ. මේ
සියල්ලෙන් ම සදාචාරාත්මක ජීවිතයකට අවශ්‍ය පෙළඹවීම සිදු අවේ. |