දුකමත පිහිටි ලෝකය
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
වර්තමාන පරිසරය අනුව දුක පිළිබඳ ව කතා කිරීම දුකට කරන ආරාධනාවක්, දුක් විඳීමට කරන
යෝජනාවක් හැටියට යම් කෙනෙකුට සිතිය හැකි යි. කල්පනා විය හැකියි. හැබෑවට ම අප මෙතෙක්
සරල ලෙස විග්‍රහයට ගත් ආකාරයෙන් තේරුම් ගන්නේ නම් අප සිදු කරන්නේ දුකට පත්වීමක්
නොව, දුකට නොවැටී සංසිඳුණු මනසක් ඇති කර ගැනීම බව පැහැදිලියි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් අප මෙතෙක් විස්තර කළ සතර අපායේ දුක සකස් වන
තැනෙන් නිදහස් ව සුවසේ නිරාමිස ප්‍රීතියෙන් යා හැකි ගමනක් උදාකරගත හැකියි. මේ නිසා
ඉපදීම දුකක් ය කියන තැන අප දකින්නේ මුළු භවය ම උදාහරණයට ගෙන ය. එය සියුම් ව දැක ගත
යුතු වෙනවා. ඒ කෙසේ ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් “රෝහිත සූත්‍ර” දේශනාවට
අනුව ලෝකය යනු මේ ස්කන්ධ පංචකයයි. දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදීමේ
මාර්ගය පවතින්නේ මේ ස්කන්ධ පංචකය නම් වූ ලෝකය තුළමයි. එවිට ලෝකය පිහිටා ඇත්තේ දුක
මත නම්, එනම් මේ ස්කන්ධ පංචකයේ සියල්ල ම දුකට හේතුවක් විය හැකි බවයි. දුක සකස්කර
දිය හැකි බව ඉතා ම පැහැදිලියි.
එනමුත් භාග්‍යවතුන් වහන්සේ දුකින් මිඳීමේ මඟ දේශනා කොට ඇති අයුරින් එය අනුගමනය
කරන්නේ නම්, අප මේ වර්තමානයෙන් ලද ස්කන්ධ පංචකය දුකින් නිදහස්වීම පිළිබඳ ව මාර්ගයකට
යොමුකර ගත හැකියි. නිදසුනක් ගෙන බලමු. ස්කන්ධ පංචකය ම දුක හැටියට දකිනවා නම්, ඒ
ස්කන්ධ පංචකය රූපස්කන්ධය විමසා බලමු. හැම කෙනෙකුට ම පහසුවෙන් ම දැකගත හැකි වන්නේත්,
මගේ ජීවිතය කියා කියන්නේ ත් බොහෝ විටක මේ රූපස්කන්ධය මුල්කරගෙනයි. ස්කන්ධ පංචකය ම
සම්බන්ධ වෙනවා. නමුත් බොහෝ කෙනෙක් වැඩිපුර මගේ ජීවිතය, මගේ ලෝකය කියන්න උපමාවට
ගන්නේ තමන්ට පෙනෙන, හසුවෙන පවත්වා ගන්න මේ රූපස්කන්ධය පිළිබඳව යි.
දුක උරුමකොටගෙන පවතිනවා. එහෙත් සාංසාරික වශයෙන් උරුම වූ දුක ඉදිරියටත් උරුමයක් කොට
යා නොදී, එය කර්මයක් බවට පත්කරගෙන වැඩෙන්නට නොදී මේ ස්කන්ධ පංචකය පවත්වා ගන්නේ,
ස්කන්ධ පංචකය නැවත හට නොගන්නා තැනකට සිත පිහිටුවීමටයි, යන අදහස පවත්වා ගත යුතුයි.
නැවත සඳහන් කරන්නේ නම්, මේ ස්කන්ධ පංචකය සම්මුතිය තුළ ප්‍රඥප්තියෙන් පනවා ගන්නේ, මේ
ස්කන්ධ පංචකය ම නැවත හට නොගන්නා වූ තැනකට රැගෙන ඒමටයි. සිතින් අවබෝධ කර ගැනීමටයි.
යන අදහස ඇති කරගත යුතු ම යි. මේ ස්කන්ධ පංචකය රූපස්කන්ධයෙන් අප ගන්නා වූ පරමාර්ථ
ධර්ම කොටසට අනුව ඇස අත් හරින්න යන දහම් පෙළ විමසා බලමු. ඇස අත්හරින්නේ නම්, දුකින්
නිදහස් විය හැකියි. ඇස උපාදානය කරගෙන සිටින්නේ නම්, ඔබට දුක උපදවාගෙන දුකෙහි ම ගැලී
සිටීමට සිදුවෙනු ඇත. ඉපදීම දුකක් ය, කියන කතාවේ අතුරු කතාවෙහි අරුමය විමසා බලන්නට
ආරාධනා කරනවා.
මේ ඇස වගේ ම, ඔය ඇසත් මට හෝ ඔබට අයිති නැති බව අජ්ජත්ථ, බහිද්ධ වශයෙන් ගළපා බලන්න.
තමාකෙරෙන් හා බාහිර ආරම්මණයන්ගෙන් ගළපා බලන්න. ඔය ඇස සසර දීර්ඝ කරන්න උපත් සුගතියක
හා දුගතියක දැයි තීරණය කරන්න හේතුවක් විය හැකියි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන යන
මේ සියලු ඉන්ද්‍රියන්, ආයතනයන් ඒ වගේ ම ක්‍රියාත්මක වනු ඇත. පරමාර්ථ ධර්ම
විස්තරයෙහි ඇස යනු චක්ඛු ප්‍රසාදය යි. එනම් කළු ඉගිරියාවේ මැද පවතින ඕභාස ස්වභාවය
එයට වර්ණය සකස්වන විට චක්ඛු විඤ්ඤාණයෙන් හඳුනා ගන්නේ රූපයක් හැටියටයි. අභාවිත සිත්
ඇති අයෙක්, එනම් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනත්ථ නම් වූ ත්‍රිලක්ඛන
ධර්මයට යටත් කොට දකින්නට සිත පුරුදු නැති අයෙක්. ඔය රූපය, රූපයක් ලෙස පමණක්
හඳුනාගෙන නතර වන්නේ නැහැ. එහි නිමිති පිහිටුවනවා. එනම් ආකාරය, ලීලාව, ශාරීරික අංග,
ඇවතුම් පැවතුම් හා බාහිර ව තමා විසින් උපදවා ගත් උස් මිටිකම්, ධනය ඇති නැති, උගත්
නූගත්, “තණ්හා මද මාන” මේවා සියල්ල ම මිශ්‍ර ව නිමිති, අනුනිමිති, ව්‍යංජන වශයෙන්
ගන්නවා. එහි ඵලය හැටියට අපි දකින්නේ ප්‍රිය ආරම්මණවල ඇලීමක් ය. එනම් උපාධානයට බැස
ගැනීමත්, අප්‍රිය ආරම්මණවල ගැටීමත් සිදු වීමයි. එය සිදුවන්නේ මුලාව නිසා ය. ඇලීම සහ
ගැටීම සකස් වෙනවා. ඒ ඇලීම සහ ගැටීම සකස්වීම නිසා ඇලීමෙන් මම, මගේ කරගෙන තවදුරටත්
රාගය හෙවත් ආශාව දියුණු කර ගැනීමත්, ගැටීමෙන් තවදුරටත් ව්‍යාපාදය, තරහව, වෛරය,
ක්‍රෝධය ආදී වශයෙන් කෙලෙස් ධර්මවල සකස්වීමත් සිදුවෙනවා.
- දීපා පෙරේරා |