[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිලින්ද ප්‍රශ්නය - 22 : දෙව් මිනිසුන්ට සුදුසු ආමිස පූජාව

දෙව් මිනිසුන්ට සුදුසු ආමිස පූජාව

බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයක් ගත වූ තැන මිළිදු රජුගේත්, නාගසේන මහරහතන් වහන්සේගේත් ධර්ම සංවාදය සිදුවිය. මිළිඳු රජු මෙසේ ඇසුවේ ය.

ස්වාමිනි, නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලද්දේ ය.

ආනන්දයෙනි, ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙන් යෙදී වාසය නො කරව් යනුවෙනි.

නැවතත් මෙසේත් වදාරන ලද්දේ ය. “පිදිය යුතු තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේ පුදව්! මෙසේ කරන්නා වූ නුවණැත්තෝ මිනිස් ලොවින් ස්වර්ගයට යන්නාහු ය” යනුවෙනි

”ස්වාමිනි, තථාගතයන් වහන්සේ විසින් ‘ආනන්දයෙනි, ඔබ තථාතයන් වහන්සේගේ ශරීර පූජාවෙන් යෙදී වාසය නො කරව්!’ යනුවෙන් වදාරන ලද්දේ නම්, ඒ කරුණෙන් පිදිය යුතු තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පුදව්! මෙසේ කරන්නා වූ නුවණැත්තෝ මිනිස් ලොවින් ස්වර්ගයට යන්නාහු ය’ යනුවෙන් වදාළ වචන බොරුවක් වෙයි.

ස්වාමිනි, පිදිය යුතු තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පුදව් මෙසේ කරන්නා වූ නුවණැත්තෝ මිනිස් ලොවින් ස්වර්ගයට යන්නාහු ය’ යනුවෙන් වදාරන ලද්දේ නම්, එකරුණෙන් ආනන්දයෙනි, ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙහි යෙදී වාසය නො කරව්!’ යනුවෙන් වදාළ වචනය බොරුවක් වෙයි.

මෙය උභතෝකෝටික ප්‍රශ්නයකි. ඔබ වහන්සේ විසින් එය සංසිඳවිය යුත්තේ වේ.

මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලද්දේ ම ය. ‘ආනන්දයෙනි, ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙහි යෙදී වාසය නො කරව්! යනුවෙනි. එමෙන් ම මෙයත් වදාරන ලද්දේ ය. ‘පිදිය යුතු තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේ පුදව්! මෙසේ කරන්නා වූ නුවණැත්තෝ මිනිස් ලොවින් ස්වර්ගයට යන්නාහු ය’. යනුවෙනි.

’ආනන්දයෙනි, ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙන් යෙදී වාසය නො කරව්!’ යනුවෙන් සියලු ම ජින පුත්‍රයන් වහන්සේලා උදෙසා වදාරන ලද්දේ නොවෙයි. මහරජාණෙනි, යම් මේ ආමිස පූජාවක් ඇද්ද, මෙය ජින පුත්‍රයන් වහන්සේලාගේ කටයුත්තක් නොවෙයි. සංස්කාරයන්ගේ අනිත්‍ය බව නුවණින් මෙනෙහි කිරීමත්, බුද්ධ වචනයට අනුව නුවණ යොදා මෙනෙහි කිරීමත්, සතිපට්ඨානයම වැඩීමත්, සමථ විදර්ශනා අරමුණෙහි සාරය ගැනීමත්, ක්ලේශ යුද්ධයත්, මාර්ගඵලාවබෝධයෙහි යෙදීමත් යන මෙය ජින පුත්‍රයන් වහන්සේලා විසින් කළ යුතු දෙයයි. අවශේෂ පුද පූජා ආදිය දෙව් මිනිසුන් විසින් කළ යුත්තේ ය.

මහරජතුමනි, මහා පෘථිවියෙහි රජ දරුවන් විසින් හස්ති ශිල්ප, අශ්ව ශිල්ප, රථ ශිල්ප, දුනු ශිල්ප, ලේඛන, මුද්‍රා, කඩු ශිල්ප, සම්මුති ශිල්ප, ක්ෂත්‍රීය මන්ත්‍ර, යුද්ධ ප්‍රයෝග ක්‍රියා කළ යුත්තේ ය. අවශේෂ වෛශ්‍ය කුලයෙහි ශුද්‍ර කුලයෙහි අය විසින් කෘෂිකර්මයත්, වෙළෙදාමත් ගවයන් රැකීමත් කළ යුත්තේ ය.

මහරජාණෙනි, යම් මේ ආමිස පූජාවක් ඇද්ද, මෙය ජින පුත්‍රයන් වහන්සේලාගේ කටයුත්තක් නොවේ. සංස්කාරයන්ගේ අනිත්‍ය බව නුවණින් මෙනෙහි කිරීමත් , බුද්ධ වචනයට අනුව නුවණ යොදා මෙනෙහි කිරීමත්, සතිපට්ඨානය වැඩීමත් සමථ, විදර්ශනා අරමුණෙහි සාරය ගැනීමත්, ක්ලේශ යුද්ධයත්, මාර්ගඵලාවබෝධයෙහි යෙදීමත් යන මෙය ජින පුත්‍රයන් වහන්සේලා විසින් කළ යුතු දෙය යි. අවශේෂ පුද පූජා ආදිය දෙව් මිනිසුන් විසින් කළ යුත්තේ ය.

මහරජාණෙනි, බ්‍රාහ්මණ මානවකයන් විසින් සෘග් වේදය, යජුර් වේදය, සාම වේදය, අථර්වන් වේදය ලක්ෂණ ශාස්ත්‍රය, වෙය්‍යාකරණ, උල්පාත, ස්වප්න, නිමිති, චන්ද්‍ර ග්‍රහණ, සූර්ය ග්‍රහණ, අහස ගෙරවීම, පෘථිවි කම්පා, නැකත්, ඡ්‍යොතිෂ, ශාස්ත්‍ර, පලාපල කීම ආදියෙහි හික්මීම කළ යුත්තේ ය. අවශේෂ කෘෂිකර්මය, වෙළෙදාම, ගව පාලනය, ආදියට වෛශ්‍ය, ශුද්‍ර‍්‍රයන් විසින් කළ යුත්තේ ය.

එසෙයින් ම මහරජාණෙනි, යම් මේ ආමිස පූජාවක් ඇද්ද, මෙය ජින පුත්‍රයන් වහන්සේලාගේ කටයුත්තක් නොවෙයි. සංස්කාර අනිත්‍ය බව නුවණින් මෙනෙහි කිරීමත්, බුද්ධ වචනයට අනුව නුවණ යොදා මෙනෙහි කිරීමත්, සතිපට්ඨානය වැඩීමත්, සමථ විදර්ශනා අරමුණෙහි සාරය ගැනීමත්, ක්ලේශ යුද්ධයත්, මාර්ගඵලාවබෝධයෙහි යෙදීමත් යන මෙය ජින පුත්‍රයන් වහන්සේලා විසින් කළ යුතු දෙයයි. අවශේෂ පුද පූජා ආදිය දෙව් මිනිසුන් විසින් කළ යුත්තේ ය.

එහෙයින් මහරජාණෙනි, මේ පුද පූජා කර්මයන්හි නො යෙදෙත්වා!, මේ ප්‍රතිපත්ති පූජා කර්මයන්හි යෙදෙත්වා! යි සලකා ආනන්දයෙනි, ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙහි යෙදී වාසය නො කරව් යනුවෙන් වදාළහ.

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]