වසර හයකට පෙර අපවත්වී වදාළ
වැලිගම ඤාණරතන මහ නා හිමි
“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ
සච්ඡිකරණත්‍ථාය ඉමං කාසාවං
ගහෙත්‍වා පබ්බාජෙථ මං භන්තේ
අනුකම්පං උපාදාය”
යනුවෙන් තම දිවියේ ඇති තතු කිසිත් නොතේරෙන වියෙහි දී ම සසර පුරුද්ද නිසාදෝ කසාවත
දරා, ගුරු බැතිය, වත් සපන් බව ඇති ව සසුනඹරෙහි දිදුලන පහන් තරුවක් වෙමින් සසුන්
කෙතෙහි සුපිපි හෙළ පියුමක් ලෙසින් වැඩ සිටි උතුමෝමැ සම්බුදු සසුන එකලු කළහ.
අපිස් සතොස් ඈ ගුණ මිණිවලින් මැ තම පැවිදි දිවිය සැරසූ උන්වහන්සේලා කෙලෙස් සහිත වුව
ද නිකෙලෙස් වූවන් මෙන් සභායෙහි වෙසරද බව සේ ම දහම්ගැට විසඳාලීමෙහි පිරිපුන් නුවණින්
යුතුවැ, අනුමාත්‍ර වරදෙහිදු බිය දක්නා සුළුව තම දිවි පවත්වමින් අනාගත බුදු සවුවන්
ඉදිරියේ ඔවුනට පහන් ටැඹක් වෙමින් පර්යාප්ති සාසනය තුළ ප්‍රතිපත්ති ගරුක ව ශීලාදී
ගුණයන්ගෙන් මහණ කමත්, බණ දහමත් තම දිවිය මෙන් සුරැකි එකී උතුමෝ තම අභිලාශය වූ නිවන්
පරමාර්ථය සාදා ගැනීමේ ආත්මාර්ථය පසෙක දමා සම්බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා සොඳුරු
ළමා විය, දඟකාර තුරුණු විය තුළ ඉදිබුවා තම අවයව සිය කබලෙහි බහන්නාක් මෙන් මනෝ
විතර්කයන් ඇතුළතමදරාගනිමින් තම මුළු දිවියම සසුනට කැප කළහ.
මෙකී උතුම් ගුණබරණින් වෙසෙසිය හැකි මහා යතිවරයාණන් කෙනෙකු වූ අග්ගමහාපණ්ඩිත විනය
විශාරද, ධර්මකීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, ආචාර්ය වැලිගම
ශ්‍රී ඤාණරතන මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ මීට සය වසරකට පෙර දැයෙන් සමුගන්නට
මත්තෙන් අමරපුර ශ්‍රී ධර්‍මරක්‍ෂිත මහා නිකායෙහි මහානායක මාහිමිපාණන් වහන්සේ ලෙසින්
ද, රත්මලානේ මල්ලිකාරාමය, හබරාදූව මාකඳුගොඩ නිග්‍රෝධාරාමය, කතරගම මල්ලිකාරාමය,
කිරිවන්තුඩුව තිස්සවන විහාරය සහ කෑගල්ලේ විජයවර්ධනාරාමය යන විහාරස්ථානයන්හි ද
අධිපතිත්වය හෙබවූ සේක. මෙකී විහාරස්ථානයන්හි ආධිපත්‍ය හොබවන්නට මත්තෙන් උන්වහන්සේ
ඒවා ලැබීමට තමා තුළ සුදුසුකම් ගොඩනගා ගත්හ. ධර්මධර, විනයධර, විනීත, ව්‍යක්ත, විශාරද
යන ගුණයන්ගෙන් සසුන පෝෂණය කළ උන්වහන්සේ නොපැහැදුණු අයගේ පැහැදීම ඇතිකරලීම සඳහාත් ,
පැහැදුණු ඇත්තන්ගේ පැහැදීම වැඩිදියුණු කරලීම සඳහාත් තම දිවිය කැපකර, පුරා සියවසකට
ආසන්න කාලයක් සසුන් කෙත සරසන්නට පොහෝනා සවියත් ඇති කර ගත්හ.
උතුම් බුදුවදන් සිත්හි තබාගත් අප ආචාර්යෝත්තම මහනාහිමිපාණන් වහන්සේ බොදුනුවන්ගේ
කුදුමහත් ආගමික අවශ්‍යතාවයන් තම මූලිකත්වයෙන් සිදුකළ අතර , කුඩා ධර්ම ග්‍රන්ථ
සම්පාදනය කොට තමා හමුවට එන ඕනෑම ගිහි පැවිදි අයෙකුට දහම් පොත් පිංචකින් සංග්‍රහ
කිරීමට අමතක නොකළහ. ඒ අනුව උන්වහන්සේ වෙතින් රචිත ලොකු කුඩා ධර්ම ග්‍රන්ථ තම වයසට
වඩා ද වැඩි විය. “කුදුසික විවරණය”, “ගිහි විනය” පැවිද්දන්ගේ සහ ගිහියන්ගේ විනය
හෙවත් හික්මීම ඇති කරලීම සඳහා ලියැවුණු ඉතා වටිනා ග්‍රන්ථයෝ ය.
බුදු බණ දෙසීමට වටාපත සුරතට ගත් අප ලොකු හාමුදුරුවන් වහන්සේ දහමින් බැහැර කිසිත්
නොකියා ධර්මාසනයේ ගරුත්වය සුරැකියහ. තමනට හමුවන හැම දහම් පදයක්ම අටුවා ටීකා නයින්
සවිස්තර ව දේශනා කිරීමේ දී පළමුව තමන් වහන්සේ එකී දහම් සයුරෙහි ගිලී කිමිදී එහි ඇති
මුතු මැණික් වන් දහම් මිණිමුතු උකහාගෙන ඉනික්බිතිව සෝත්‍රෑ ජනතාවගේ දෙසවන් තුළින්
දහම් රසය ලබාදුන් ආකාරය තාමත් අප සිත්වල දෝංකාර දෙන්නේ උන්වහන්සේ පෙන්වූ දහම් නියර
අප තුළ යම් පමණකට පවත්නා නිසා ය. අතිගරු මහනාසමිඳුගේ රූපකාය ඡායාරූපයකින් හෝ
ප්‍රතිමාවකින් දිස් වුව ද නැති වුව ද ඔබවහන්සේ අපට ලබාදුන් ඔවාමිණි තාම අප සිත් තුළ
පවත්නා බැවින් ඔබවහන්සේ අපවත් වූවා යැයි නො සිතමු. සුවපත්ව වැඩ වෙසෙන ලෙසින්
දකින්නෙමු.
එළුකැටියේ ගුරු පරපුරේ අහංගම සිරි විමලසාර ලොකු හාමුදුරුවන් වහන්සේගේ අතිජාන
සන්තිකාවචර ශිෂ්‍යයෙකු ලෙසින් ද අහංගම සෝමරතන, මතුරට පේමරතන, දෙපැවිදි සොහොයුර
මාහිමිවරුන් ඇතුළු සබ්‍රම්සරුන්ගේ ඇසුරත්, පැළෑණේ සිරි වජිරඤාණ මහනාහිමියන් සහ
මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන් ඇතුළු සඟ පරපුරෙන් වජිරාරාම සම්ප්‍රදායත් අප
මහනාහිමියන් තුළ මැනවින් දිස් වූයෙන් පර්යාප්ති සාසනයත්, ප්‍රතිපත්ති සාසනයත්
එක්තැන්ව නූතන ගිහි පැවිදි සමාජයට අවැසි බුද්ධ පුත්‍රයන් තැනීමේ අසීරු කටයුත්ත
ඔබවහන්සේ ගේ දිවියේ අංගයක් වූයේ පන්දහසක් කල්පවතින සම්බුදු සසුන හැකි පමණින්
සුරැකීමේ මහා ව්‍යායාමය සපුරනු සඳහා ය.
ගුරු පියාණන්ගේ සංකල්පනාවකින් ගොඩනැගුණු රත්මලාන මල්ලිකාරාම මහා විහාරය හා එයින්
අතු විහිදී ගිය රට පුරා හා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ද ඇති විහාරස්ථාන තුළින්
ඔබවහන්සේ අපට පුරුදු පුහුණු කළ දහම් සුවය ජනී ජනයා වෙත ලබා දෙන්නෙමු.
- රාජකීය පණ්ඩිත ත්‍රිපිටකවේදී
රණස්ගල්ලේ ඤාණවීර හිමි |