[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගම ගෙදර: ගැමි බස් වහරෙහි සැඟවුණු බුදු බණ

ගම ගෙදර:

ගැමි බස් වහරෙහි සැඟවුණු බුදු බණ

" ළමයිනේ, භය වෙන්ඩ එපා. තව වැහි තියෙනවා. උෂ්ණ වළාහක, සීත වළාහක, වාත වළාහක, වැස්ස වළාහක දෙවියෝ... අපේ වැව ආයෙ පුරවයි."

සිතින් උපදවා ගනු ලබන චින්තන ශක්තියක් නොමැති ව ඤාණ දර්ශනයක් ඇති නොවේ. සචින්තක සත්වයා අතරින් මිනිසා උසස් වන්නේ මේ චින්තන ශක්තිය ප්‍රබල නිසා ය. ප්‍රබල චින්තන ශක්තිය ඥානදර්ශනයක් ඇති කිරීමට, උපදවාලීමට සමත් ය.

ඥාන දර්ශනය. ලෞකික, ලෝකෝත්තර වශයෙන් දෙපරිදි ය. ලෞකික ඥාන දර්ශනයන් ලැබුවෝ වෛදික යුගයටත් පෙර වූ හ. අතීත මහා කල්ප 40 ක් අනාගතයට මහා කල්ප 40 ක් දකින නුවණ ඇති ඉසිවරයෝ ය. ඒ ද අනිත්‍ය ය. ලෝකෝත්තර ඥාන දර්ශනය යනු සසර දුකින් ම එතෙරවන විමුක්ති, විමුක්ති ඤාණය ලැබීමයි. ඒ ලබනුයේ විදර්ශනා නොහොත් ප්‍රඥා භාවනා වෙනි. මෙබඳු ගුණ සම්භාරයක් වෙත මිනිස් මනස මෙහෙය වීමට සබුද්ධිකත්වයත්, සහජනනයත් හේතු වෙයි.

දැන් අපි බුදුදහම තුළින් ජීවිතයට අර්ථයක් හා පරමාර්ථයක් සලසා ගත් මී මුත්තා හමු වෙමු.

අපේ මුත්තා හැන්දෑ කොරේට, හැන්දෑ කොරේට බටහිර අහස ගුගුරලා වැහි බිත්තර බිමට බරව නිහඬව , නිශ්චලව ඇති හැටි විපරම් කරලා මෙදා වැහි තියෙනවා කියල තීන්දු කළා. වාන් සුද්ධ කරලා වැව් බැම්මේ ගොන්ගෑවිලි බැඳලා කලින්ම සූදානම් වෙලා හිටියේ. ඒ පෙර සූදානම නිසයි වැව් බැම්මට මෙතෙක් විපතක් නූනේ. මෙදා වැහි වැඩි වුණා. අහල පහළ වැව් කලින් කලින් ම කැඩුණා. වාන් දෙකෙන් ම වතුර හරි හරියට යනවා. ගොඩ වානට මෙහායින් කඩවල කුත් කපලා. ඒ කෙනෙුත් මී නාම්බෙක් විතර වතුර පාර යනවා.

අනෝරා වැස්ස. ඉහළ මීගහවැව කැඩුණා. ඒ වතුරත් මේ වැවට. බලා ඉඳිද්දී වතුර වැඩිවුණා. බැම්මේ ඉඳලා වතුර අල්ලන්ඩ පුළුවන් හරියටම මූට්ටි නමන කණුවට මෙහායින් බැම්මේ හෙල්ලුම් කෑම. පස බුරුල් වෙන හැටි, මුත්තා දැක්කා.

සිට්ටියා අත්තා හිටියේ ඊට එහායින්.

“අඩා ! ඉක්මනට පැන ගන්. මෙහාට” වචනෙට කීකරුයි. කවුරුත් අසුරු සැණෙන් මුත්තා හිටිය පැත්තට පැනගත්තා.

ඇතෙකු ප්‍රමාණ පස් කන්දක්, තල්ලු වෙලා ගියා. හත් අට දෙනාම බේරුණා. ඒත් වැව බේරුණේ නැහැ.

මහ වැවේ වැව් බැම්ම කැඩුණා. මහ විශාල ජල කඳක් පෙරළී ගියා. මහ ඝෝෂාවක් නඟමින්. කවුරුත් හා හූවක් නෑ. අත්තා මුට්ටි නමන කණුව දෙසත්, අහස දෙසත් බැලුවා. අත් දෙකෙන් ම මුහුණ වහගෙන දිග හුස්මක් හෙළුවා. ඇණකුටු ගහගෙන බැම්ම උඩ ඉඳගත්තා. සම වයසේ හිටිය ඩිංගි අත්තා මුත්තාගේ දණ හිසටම අත තියලා වාඩි උණා. කඩවල තව තවත් ලොකු වුණා. වැව මැදින් සුළි නඟමින් ජල පහර කඩවලට ඇදී ආවා. හඬ නඟමින්. වැවේ සම්පත, ගමේ සම්පත, ගම හැරදා ගියා.

ගම ගෙදර කාටවත් විපතක් නැහැ. පහළ ගම් ගොඩේ ගෙවල් හත අටේ අය ඉහළ ගම් ගොඩට යවලයි හිටියේ. ජීවිත හානි නැතත් තරමක් දේපොළවලට නම් හානියි. වැස්ස නැවතුණා.

මීක් ගෙඩිය වගේ පිරිල තිබ්බ වැව දිහා බලන්ඩ වත් බෑ දුකයි. බොක්ක හේදුවා වගේ වැව හිස්. ගමට, වැවට, ආදරය ඇති කෙනෙකුට දරා ගන්ඩ බෑ. මේ වෙනකොට වෙල් විදානෙලා වත් නැහැ. එතකොට මොන ගොවි සංවිධාන ද? ගම රාළගෙ පාලනේ. එකම වචනෙට කවුරුත් එකඟයි. කීකරුයි. පංගු පේරු නැහැ. මුත්තාගේ වයස 92 යි. ඒත් රූප ප්‍රමාණ, ඝෝෂ ප්‍රමාණ, බුද්ධි ප්‍රමාණ, විෂය ප්‍රමාණ , චතු පූර්ණ අයෝමය පුරුෂයෙක්. සුදු ඒජන්තට දැනුම් දෙන්නේ ආරච්චි රාළ ලව්වා මිනීමැරුමක් නම් පමණයි. එහෙම එකක් අහලා දැකලාවත් නෑ මේ ගම්වල උදවිය.

වටින් ගොඩින් එළිය වැටුණ විතරයි. ගමේ කොල්ලා කුරුට්ටා ගේ ඉඳල කැති, උදලු, යකඩ ඉණි, පිකස්, පිදුරුමිටි, වැලිගෝණි ගහන්ඩ වුවමනා ගෝනි, කුඩා මලු, ලබු කටු පවා අරගෙන, පස් අදින්ඩ එකා වගේ ඔක්කොම කඩවල ළඟට ආවා. කිරිදෙන අම්මලා පවා ළමයි අරගෙන වැවට ආවා. වයසක ම උන්දලා හත් අට දෙනා ඒත් හැර මිටි වාරුවෙන් ඇවිත් වැව් කන්ද නැඟ ගන්ඩ බැරුව මහ මීක් ගහ ළඟ බිම වැටිලා ඉද ගෙන.

වැව පැත්තෙ ,කෝල් බඩට වෙන්ඩ කඩවල හරස් කරළා වැලි ගෝණි ගැහැව්වා. පිදුරු අත් මිටි හද හදා වතුර කාන්දු වෙන තැන් බල බලා ඔබල තද කෙරුවා. පළමු පස් කූඩය මුත්තා හිසටත් උඩින් උස්සාගත්තා දෑතින්ම දැකුම් වට්ටියක් වගේ.

“යකුන් යක්ෂණියෝ බහිරවයෝ ගම්භාර දෙවියනේ ඔබ වහන්සේ ගේ අණට, ආඥාවට යටයි. අණ පවතින්ඩ ගම්භාර දෙවියනේ. තිස්තුන් කෝටියක් දේව ඝණ දේව සභාවටයි. මේ අඬා හෝ ගා මුරගා කියන්නේ....”

තවත් යා දින්න දික් නොකරම, අර ඔසවා ගෙන සිටි පස් කූඩය. හඞ පුරහ්. කියා තිර අධිෂ්ඨානයෙන් මිනිස් ප්‍රමාණ දෙකක් පමණ වූ කඩවලට දැම්මා. ඒ එක්කම වැඩ පටන් ගත්තා. පාළුවත්තෙන් පස් කැපුවා පිරිමි උදවිය, තරුණ පහේ අය. අනිත් හැමෝම අතට අහුවෙච්චි අහුවෙච්චි භාජනවලට පස්දාගෙන ඇවිත් කොනක ඉදල කඩවලට දැම්මා. ඒ කටයුතු හැසිරෙව්වේ. දම දමා පෑගුවේ. බණ්ඩියා උන්දා, නිකම්ම දැම්මේ නැහැ. අඩියෙ ඉදලම බර වංගෙඩියකින් තල තලයි දැම්මේ. වැව පැත්තට පිඬලි ඇල්ලුවා. දවල්ට කෑම හැම ගෙදරකින් ම ගෙනාවා. උදේට හැමෝටම කිරිබත් ගෙනාවෙ මුත්තලගේ ගෙදරින්. ළමයිනේ භය වෙන්ඩ එපා. තව වැහි තියෙනවා. උෂ්ණ වළාහක, සීත වළාහක, වාත වළාහක, වැස්ස වළාහක දෙවියෝ......අපේ වැව ආයෙ පුරවයි. අපේ මූණ බලයි. මුට්ටි නමන කණුවෙ. අලුත් පඬුරක් ගැට ගහලා.

වැටකොළු මල් පිපුණා විතරයි. මුත්තගෙ ගෙදර ගැහැණු, පිරිමි හතළිහක් විතර, මිදුලෙ පැදුරු දාල ඉදගෙන, පිරිමින්ගෙ උඩු ඇඳුම තුවායක්, නැත්නම් සුදු රෙදිකඩක් කරට දාලා, ඇඳල ඉන්නෙ මඩකලපුසරම, අම්මලා රෙද්ද හැට්ටෙ කරට, සුදු තුවා, මුත්තා මේ වගේ වෙලාවට පලේකාට් සුදු සරමත් , සුදු මේස් බැණියමත්, ඇඳල කාටත් පේන්න යි ඉඳගන්නේ.

“දැන් අපිට සචින්තක සත්ත්වයා කියන කොට අදහසක් එනවා මේ පණ ඇති පංචස්කන්ධයක් හිමි සත්වයා කියල. බණ පොතේ නාම රූප කියල නාම කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ රූප කියන්නේ. අපි මේ ඔක්කෝටම අයිති බඹයක් විතර රූපමිටිය , රූපමිටිය කීවේ, කෙස්, ලොම්, නිය , දත්, සම ආදී කුණූප ටිකට නේ. කොටස් තිස් දෙකනෙ. ගිය පෝයදාත්, “උංගුවා” හරස කොරලා. උස් හඬින් දෙතිස් කුණුප වර්ණනාව හරි අගේට කීවේ. නිකම් ඉන්න කොට කවුරුත් පාඩම් කර ගනිල්ලා.”

එතකොට ඔය රූපයටයි ඇලුම් කරල රූප තණ්හාවකින් මේ රූප මිටිය පතන්නේ. පැතු විදිහට තමයි මේ මනුස්ස රූපයක් අපි අත්පත් කරගත්තේ. අත්පත් කරගත්තේ හිතකින් , හිත තමා අර වේදනා ( සැප– දුක් කියල කියන්නේ ඔය විඳින ආකාරය) සංඥා කියන්නේ ඒ ඒ දේවල් රතුපාට, සුදුපාට, අර පොල්ගහ මේ ඉන්නෙ, මිදුලෙ, මේ පැදුර, සතා සර්පයා ගැහැණුූ මිනිස්සු, ඉර හඳ කියල දේවල්, කාරණා හඳුනා ගැනීමේ ශක්තිය, සංඛාර කීවෙ විඳින්ඩ හඳුනාගත් දේවල් ගැන හිතේ ඇතිවෙන සිතිවිලි, එතකොට විඤ්ඤාණ කීවේ. රූප වේදනා, සංඥා ,සංඛාර, පිළිබඳ සමූහයක් වශයෙන් අරගෙන ඔය හිතෙන් ම දැන ගැනීම. මොනවද දැනගන්නේ ලෝකය. මේ පංචස්කන්ධය දැන ගැනීමත්, ලෝකය දැන ගැනීම, ඉර හඳ,පෘථිවි, ගහකොළ, බාහිර හැම දෙයක් දැන ගැනීමත් විශේෂයෙන් ලෝකය ගැන දැන ගැනීම, ඒ දැන ගැනීම් විඤ්ඤාණය ඒකත් හිතේම ගතියක්.

අපේ සංගුවාට, තේරෙන වාද, මේ කියන හරිය. අපේ බවලත් උදවියත්, හොඳා මෙහෙම ටික ටික කලක් කලක් අහන කොට මලක් මලක් ඔය හිතේ පිපෙයි. යම් දවසක මේ ධර්මය ගැන.

ඔන්න අර අපි කලින් දවසක කීවා මතකද? සතර මහ භුතිකයි මේ. රූප ලෝකය කියල ආපෝ, තේජෝ, වායෝ, පඨවි” හැමෝම කියන්ඩ දන්න වානෙ, එහෙම නේද, හැමෝටම ම “එහෙමයි” කියවුණා. මුත්තට සතුටුයි, එහෙම ඇහුම් කන්දෙක එක ගැන.

මේ සජීවි අජීවි ලෝකය හටගන්ඩ ප්‍රධාන වෙන හේතු හයක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. ඒවා ශක්ති ශක්ති කියන අදහසමයි. “ධාතු” කියන වචනයත්, ධාතුවෙ ශක්තිය පෙනෙන. අවස්ථාකමයි අපි වතුර, පස්, කියන්නේ, ශක්තිය. නොපෙනුණාට ශක්තියෙ ක්‍රියාවෙන් යමක් වෙන අවස්ථාව අපට පේනවා වතුර හැටියට. ආපෝ ධාතු කීවේ වතුරට නොවෙයි. ආපෝ ධාතුව හේතුවක් වෙලා ඵල ධර්මයක් හැටියට වතුර නම් ස්වභාවයක් අපිට ලැබෙනවා. ඒ වගේ තමයි තේජෝ, වායෝ, පඨවි ගැනත්.

ධාතු 6 ක් ප්‍රධානයි කීවනෙ.

“මොනවද මුත්තා ඒ “

බණ්ඩා හරි විමසිල්ලෙන් ඉන්නෙ භූත ගැන දැන ගන්ඩ. හොඳයි එහෙම අහන එක.

1.වායෝ ධාතුව 2. තේජෝ ධාතුව 3.ආපෝ ධාතුව 4. පඨවි ධාතුව 5. ආකාශ ධාතුව 6. විඤ්ඤාණ ධාතුව

විඤ්ඤාණ ධාතුව පිහිටන්නේ සක්ඛාය පරියාපන්නවූ තැනයි. සංසාරික සත්ත්ව ගතිය ඇතිකරන ශක්තිය විඤ්ඤාණයයි. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය විශේෂකොට දක්වා තිබෙනවා. මේ හේතු හයෙන් බැහැර කිසිවක් මේ ලෝකයේ නැහැ” හේතුන් පටිච්ච සම්භූතං” ඒ නිසා අපි හේතු ඵල දහමක්, කියන අවබෝධ මිස, මේ ලෝකය මැවීමක් ගැන කථාවක් නැහැ.

මේ ලෝක ධාතුවෙ ම හැම කෙනෙක්ම, දෙයක්ම හේතු ඵලයක් කියල හිතන්ඩ. ඒක ඇත්ත කියල තේරුණොත් මේ භවයෙදි ඒ අපිට හොඳටම ඇති.

කරේ තිබුණ සාලුව අරගෙන බිම එළලා දණ ගහල වැඳලයි. මුත්තා ,මාමා, ලොකු මස්සිනා ඒ ඒ නෑකමින් අමතමින් අපි යනවා” කියලා. ගෙවල් වලට ගියේ, අපේ මුත්තට ගරු කරලා.

ඔන්න ඔහොමයි එදා ගම ගෙදර නායකත්වය මෙලොවටත් පරලොවටත් වැඩදායක වුණේ.

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]