සැපවත් ජීවිතයකට
බෞද්ධ මඟ පෙන්වීම
මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි
විඳීම (වේදනා) වූ කලී මූලික වශයෙන් ම දෙයාකාර ය. දුක් විඳීම (දුක්ඛ වේදනා) හා සැප
විඳීම ( සුඛ වේදනා) යනුවෙනි. සියලු සත්වයෝ සැප විඳීමට මැ කැමැති වෙති. නිබඳව ම සැපය
ම සොයා යති. දුකට අකැමැති වෙති. එය පිටු දකිති.
සැපය දෙයාකාර ය. ඒ ලෞකික සැපය හා ලෝකෝත්තර සැපය යනුවෙනි. මෙහි ලෞකික සැපය නම් ලෝකයට
අයත් සැපය යි. ලෝක යනු ස්කන්ධ ධාතු ආයතන යැයි කියනු ලබන හේතු ප්‍රත්‍යාකාර වූ
සංස්කෘත ධර්මයෝ ය. ඒ ලෝක යන්නෙන් බුදුසමය හෙළිකරන දාර්ශනික අර්ථය යි. එම ධර්මයන්ගේ
පටිපාටිය නොසිඳී පැවැත්ම සංසාරය යි. ඒ අනුව සාංසාරික සත්වයාගේ ස්වභාවය නම් එම සැපයට
ම කැමති වීම ය. එයම සොයා යාම ය. මෙහි ලෝකෝත්තර සැපය නම් ඉහළට යාමෙන්, එතරවීමෙන් ලබන
සැපයයි. විමුක්ති සැපය යි. ලෝක නිරෝධය යි. බුද්ධාදී උතුමෝ ලෝකයෙන් එතෙර ව ලෝකෝත්තර
සැපය ශාක්ෂාත් කළෝ ය. එය අත්දැකීමක් බවට පත්කර ගත්තෝ ය.
බුදු සමය විරාගී දර්ශනයෙකි. එනම් මූලික වශයෙන් ම සියල්ල අනිත්‍යය, දුකය. අනාත්මයැයි
දැන, දැක පසක් කිරීමෙන් සියල්ල (සබ්බ) යැයිද ලෝක යැයි ද කියන ලද ස්කන්ධාදී ධර්මයන්
කෙරේ නිර්වේදය එනම් කළ කිරීම ද, කළකිරීමෙන් විරාගය ද, විරාගයෙන් විමුක්තිය ද , ලබා
ගැනීමට උගන්වන දහමෙකි. එසේ ම ඒ සඳහා මඟ පෙන්වන විරාගී චරණයෙකි. මෙබඳු දහමක් ලෞකික
සැපය අගය කරන්නේදැයි යමෙකුට විමතියක් ඇතිවිය හැකි ය.
ගිහි පැවිදි දෙපක්ෂයටම මෙලොව හා පරලොව වශයෙන් අත්විඳිය හැකි, විටෙක එසේ අත්විඳිය
යුතු යැයි පෙන්වා දෙනු ලබන විවිධ සැප බුදුසමය උගන්වයි. පින් කිරීමෙන් ලබන සැපය ඉන්
එකකි. පහන් සිතින් යමක් කියන්නේ ද, කරන්නේ ද, සිරුර නොහැර යන සෙවණැල්ලක් මෙන් ඔහු
පසුපස සැපය ලුහුබඳින්නේ ය. පින් කරන්නවුන්ට ධම්මපදය උපදෙස් දෙන්නේ නැවත නැවතත් පින්
කරන්නට ය. පිනෙහි උපරිමය , සැපය වන බැවිනි. දිවි කෙළවර ද පින සැපයකැයි දක්වා තිබේ.
මෙසේ පින් කිරීමටත් , එමඟින් සසර සැපවත් බව ලබා ගැනීමටත් බුදුසමය අනුබල දෙයි.
සැපයෙහි විවිධ ප්‍රභේද බුද්ධ වචනයෙහි දැක්වෙයි. ගිහි සැපය හා පැවිදි සැපය, කාම සැපය
හා නිශ්කාම සැපය, උපධි සැපය හා නිරූපධි සැපය ආර්ය සැපය හා අනාර්ය සැපය, සාශ්‍රම
සැපය හා අනාශ්‍රම සැපය , සාමිස සැපය හා නිරාමිස සැපය යනාදී වශයෙන් සැපය දෙයාකාර
වන්නේ ය. අත්ථි සැපය, භොග සැපය, අණන සැපය හා අනවජ්ජ සැපය යැයි සැපය සතරාකාර යැයි ද
දැක්වෙයි. නිවන පරම සැපය වන්නේ ය. බෞද්ධයෙකු විසින් මෙකී සියලු සදාචාරය නොඉක්මවා
ලැබිය යුතු වෙයි.
අකුසල ක්‍රියාවන් නිසා මෙලොව වශයෙන් මෙන් ම, පරලොව වශයෙන් ද විඳීමට සිදුවන අනේකාකාර
වූ දුක් පීඩාවන් හා එහිලා හේතු භූතවන කායික වාචසික හා මානසික දුෂ්චරිතයන් ගැන ද
බුද්ධ වචනයෙහි නොයෙක් අයුරින් සඳහන් වෙයි. එසේම එබඳු දුෂ්චරිතවලින් වැළකීම තුළින්
දුක් මඟහරවා ගැනීමට ද බුදුසමය ප්‍රජාව පොළඹවයි. ඒ නන් අයුරිනි. පාපය,අකුසලය, දුක්
උපදවයි. පස්පවින් , දස අකුසලයෙන් වැළකීම තුළින් දුක් පීඩාවන්ගෙන් නිදහස් විය හැකි
යැයි පුන පුනා උගන්වයි. සංසාරික දුක් ගැහැටින් මිදී , සුඛිත මුදිත පෞද්ගලික හා
සමාජික ජීවිතයක් ගත කිරීමට ගිහි පැවිදි දෙපක්ෂයට ම ධර්ම විනයෙන් මග පෙන්වා තිබෙන බව
ද ප්‍රකට ය. දස කුසල ධර්මයෝ ම සසර සැප උපදවන්නෝ ය. සදාචාර මාර්ගය හා සැපය අතර ඇත්තේ
අත්‍යයන්ත සම්බන්ධයෙකි. සසර දුක් සහිත යැයි බුදුදහම උගන්වන බව සැබෑවකි. ලෝකය දුක මත
පිහිටියේ ය.
එහෙත් සසර සැපතක් නැතැයි ඉන් අදහස් නොවේ. ගෘහස්ත ජීවිතයක් ගතකරන බෞද්ධයාට අදාළ
අත්ථි සැපය එනම්, තමා සතු ව ප්‍රමාණවත් වූ ඇති පමණ ධන ධාන්‍යාදී භෝග සම්පත් ඇතිකම
අගය කරන බුදුදහම උත්සාහයෙන්, වීර්යයෙන් එම සම්පත් උපයා සපයා ගැන්මට ද මග පෙන්වයි.
අනේකවිධ වූ උපද්‍රවාදියෙන් ද පාප මිත්‍ර සේවනයෙන් ද එම සම්පත් විනාශ වී යාම වළක්වා
ගනිමින් සැපවත් දිවි පැවැත්මක් උදෙසා ඒවා ආරක්ෂා කර ගැනීමට ද උගන්වයි. ගිහියාට
දිළිඳුකම දුකකැයි පිළිගනිමින් ඉන් අත්මිදීමෙහි අවශ්‍යතාවය පෙන්වා දෙයි.
දිළිඳුකම පසුපස එන්නේ අදත්තාදානය, ප්‍රාණඝාතය, මුසාවාදය වැනි දුසිරිත් ය. එබැවින්
රජුන් විසින් ද දිළිඳුකමින් ප්‍රජාව මුදවා ගනිමින් ඔවුන් සුඛිත මුදිත කිරීමට පියවර
ගත යුතු බව පෙන්වා දෙයි. ඒ සඳහා රජුන් කුමක් කළ යුතු දැයි ප්‍රායෝගිකව ම පැහැදිලි
කරයි. සැප උපදවනුයේ දැහැමි ධනෝපායනයයි. සම්මා ආජීවය යි. විධිමත් ධන පරිහරණයයි. මනා
කළමණාකාරිත්වය යි.
මෙම ලිපියෙහි තවත් කොටසක්
දුරුතු අව අටවක ( ජනවාරි 17 )
පත්‍රයේ පළවේ. |