දුරුතු පුර පසළොස්වක 2020.01.10
සහජීවනයෙන් යුතු සමාජයකට ...
නිරන්තරයෙන් අප ඇස ගැටෙන සත්ත්ව ලෝකයේ අපූරු සත්ත්ව කොට්ඨාස වෙත්. ඒ අතරින් ඇතැම්
සතුන්ගෙන් අපට ඉගෙනගත හැකි පාඩම් බොහෝ ය. එහිදී සමගි සම්පන්න බව වෙසෙස් ය. වේයා ඉතා
කුඩා සත්ත්වයෙකි. කුඩා මැටි බිඳක් බැගින් ගෙනැවිත් විසල් තුඹසක් සාදන්නේ සාමූහිකව
ය. මී මැස්සන් රොන් රැස් කරන්නේ සාමූහිකව ය. කුහුඹුවන් ආහාර රැස් කරන්නේ ද
සහජීවනයෙන් ය. ආහාරයක් ඇති තැනක් දුටු කෙනෙහි අන්‍යයන් ද ඒ වෙත රැස් කරවා බෙදා හදා
ගැනීම කපුටාගේ සිරිත ය. මේ සත්ත්ව ලෝකයේ සමගි සම්පන්න වූවන් අතර සුලබ දසුන් ය.
සතුන් අතර ස්වභාවයෙන් ම වන මේ ගුණාංගය ඇතැම් මිනිසුන් තුළ නොවීම කනගාටුවට කරුණකි.
අසමගිය, සහජීවනයක් නොමැතිකම නිසා ම ඔවුහු විවිධ ප්‍රශ්න, ගැටුම් නිර්මාණය කර ගනිති.
සතුන්ට වඩා උසස් මනසක් සතු මිනිසාට සිතා බලා කටයුතු කිරීමේ හැකියාව ඇතත් විටෙක
සතුන්ටත් වඩා බාල ක්‍රියාවන්හි නියැළෙනු දත හැකි ය.
සමාජයක දියුණුවට, පැවැත්මට ඔවුනොවුන් අතර සහජීවනය ඇවැසි ය. සහජීවනය සඳහා සමඟිය
අත්‍යවශ්‍ය ය. සම්බුද්ධ දේශනාව නම් සමගිය ම යහපත් බවය. ‘සම වායො එව සාධු’ යන්නෙන්
එය අර්ථ ගන්වා ඇත. එහෙත් වත්මන් සංකීර්ණ සමාජ රටාවතුළ මහා සමාජයේ පමණක් නොව, එහි
කුඩා ම ඒකකය වන ඇතැම් පවුල් තුළ පවා සහජීවනය ගිලිහී යන ආකාරයක් විද්‍යාමාන ය.
ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර, මව්පියන් හා දරුවන් අතර, බොහෝ විට ප්‍රශ්න උග්‍ර
වන්නේ සමගිය, සහජීවනය ගිලිහුණු තැන ය. එවැනි පවුලකින් සමාජගතවන පුරවැසියා තුළින් ද
සමාජ සහජීවනයෙහිලා යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය නොහැකි ය. සාමාජිකයන් කිහිප
දෙනෙකු පමණක් සිටින පරිසරයක අන්‍යොන්‍ය මත ඉවසා සමගියෙන් ජීවත්විය නොහැකි නම්, මහා
සමාජයක එය ඉතාමත් අසීරු කාර්යයක් ය.
සාමාන්‍යයෙන් අතීතයට සාපේක්ෂ ව වර්තමානය පොදුවේ සෑම දෙනාටම පාහේ කාර්ය බහුල ය. බොහෝ
විට නිවෙසක මව, පියා දෙදෙනා ම රැකියාවට යති. ඒ නිසා ම දරුවන් පිළිබඳ ව සොයා බැලීමට
ඇති අවසරය ගිලිහී යන බව කියති. එහෙත් තමන් සියල්ල කරන්නේ දරුවන් වෙනුවෙන් බව ද
කියති. දරුවන් නොමග ගියේ නම් ඒ ගොඩනැගූ භෞතික සම්පතින් කවර ඵලයක් ද?
බොහෝවිට දරුවන් නොමග යන්නේ නිවසේ අන්‍යොන්‍ය සහජීවනයක් නොමැතිකම නිසා ය. සමගි
සම්පන්න මව්පියන් හා දරුවන් තුළ සමීප සම්බන්ධතාවයක් ඇත. වාද විවාද නැත. ඔවුනොවුන්
කල්‍යාණ මිත්‍රයන් ය. ප්‍රශ්න නිරාකරණය කර ගන්නේ සාකච්ඡාවෙනි.
අතීතයේ ගැමි ගෙදර රාත්‍රී ආහාරය ගත්තේ සාමාජිකයෝ සියලු දෙනා එක්ව ය. ඔවුනොවුන්ගේ
අවශ්‍යතා, මුහුණ දෙන ප්‍රශ්න සාකච්ඡා කෙරුණේ ද, ඒවාට විසඳුම් ලැබුණේ ද එතැන දී ය.
හෙට දිනට ප්‍රශ්න ඉතිරි නොවුණි. නිවෙසක සහජීවනයට කාර්ය බහුල බව ප්‍රශ්නයක් කර නොගත
යුතු ය. අවශ්‍ය, කාල කළමනාකරණය කොට වැදගත් ම දෙයට මුල්තැන දීම ය.
අද බොහෝ දෙනකු අන්මත නො ඉවසති. තමන් වරද නොපිළිගනිති. ඒ නිසා ම ඔවුනොවුන්
නුරුස්සති. එය පවුලක, සමාජයක සහජීවනයට බාධාවකි. බුදු දහම අපට මග පෙන්වන්නේ අනුන්ගේ
අඩුපාඩු, අන් මත ඉවසන ලෙසට ය. අනුන් පෙන්වා දෙන වැරැදි වහා නිවැරැදි කර ගන්නා ලෙසට
ය.
බුදුරජාණන් වහන්සේ අපට ගිහි ප්‍රතිපදාවක් හඳුන්වා දී ඇත. ඒ පංච ශීලයයි. එය සාමාජීය
වශයෙන් ද සහජීවනයෙහිලා අතිශයින් උපකාරී වන්නකි. සිඟාලෝවාද සූත්‍රයේ දී උන්වහන්සේ
හඳුන්වා දුන් යුතුකම් සහ වගකීම් නිසියාකාර ව ඉටු කරගන්නට අධිෂ්ඨානයක් ඇති කර ගන්නවා
නම් එය ම සමාජ සහජීවනයට හේතු වන්නකි. අමනාපකම්, අවිශ්වාසකම්, එදිරිවාදිකම් සියල්ල
තුළ ගොඩනැගෙන්නේ අයහපත් වාතාවරණයන් ය. එය පවුල තුළ සේ ම, සමාජයේ ද අසහනයට හේතුවකි.
උදා වී තිබෙන්නේ 2020 නව වසරේ පළමු පුර පසළොස්වක පොහෝ දිනය යි. භෞතික ව සේ ම,
ආධ්‍යාත්මික ව ද අප නවමු විය යුතු වේ. මෙතෙක් ජීවිතයේ පැවැති දුර්වලතා මග හරවා,
වැරැදි නිවැරැදි කර අලුත් ජීවිතයකට ඇරඹුම දිය යුතු වේ. අයහපත මැඩ යහපත වර්ධනය
කරන්නට සම්බුදු දහම අපට මග පෙන්වයි. ඒ ගමන ආයාසකර නොවේ. අන් කෙනෙකුට ඇඟිලි දිගු
නොකර පළමුව තමන් නිවැරැදි වීම තුළ මුළු සමාජය ම නිවැරැදි වනු ඇත. සහජීවනයෙන් යුතු
පවුලක්, සහජීවනයෙන් යුතු සමාජයක් ගොඩනැඟිය හැකි වන්නේ ද අපටම ය. නිවැරැදි අවබෝධය,
අනලස්බව, කැපවීම, වීර්ය වැඩීම තුළ ඒ යහපත් ප්‍රාර්ථනය කඩිනමින් ඉටුවනු ඇත. |