[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කම්මස්සකා මානව සත්තා

කම්මස්සකා මානව සත්තා

බුද්ධිමත් අයෙකු නුවණින් විමසා බලා යම් ආගමික ඉගැන්වීමක ඇති යහපත් අයහපත් බව තෝරා ගැනීමේ දී කරුණු කිහිපයක් සැලකිය යුතු ය. ඒ අතර, එම ඉගැන්වීම මේ ජීවිතය තුළදී ම මුළුමනින් ම ප්‍රත්‍යක්ෂ කරගැනීමට ඇති හැකියාව. මෛත්‍රිය, දයාව, අනුකම්පාව හා ඉවසීමට ලබාදී ඇති තැන. ශාස්තෘවරයාගේ හා ශ්‍රාවකයාගේ භූමිකාව අර්ථ දක්වන ආකාරය. තාවකාලික ව හා දීර්ඝ කාලීන ව ලැබෙන අර්ථානර්ථයන් යන මේ කරුණු ඒ අතර ඉතා වැදගත් වේ.

චින්තනය හෙවත් සිතන පිළිවෙල තුළ ඇති විවිධත්වය නිසා ජීවිතය යනු කුමක්ද යන්නට නොයෙක් අර්ථ නිරූපණයන් දක්නට ලැබේ. ඇතමෙකු විසින් එය ලෝක නිර්මාපක දෙවියකුගේ ක්‍රියාවෙකැයි සලකන අතර, තවෙකෙකු ඊට ඉඳුරාම විරුද්ධ වනු දර්ශන ඉතිහාසය විමසන්නෙකුට වැටහෙන කරුණකි.

බොහෝ පර්යේෂකයන් තම තමාට ආවේණික චින්තනයක් ඔස්සේ ඉදිරියට යමින් නොයෙක් කරුණු ගැන ඉදිරිපත් කරන නිගමනයන් බොහෝමයක් කාලයත් සමග වෙනස් ව ගොස් ඇති බව නොරහසකි. ඒ අතර ඉපදීම, මියයෑම, ලැබීම, නොලැබීම, දුක, සතුට, ගති ලක්ෂණ වැනි ජීවිතයක් හා බැඳී ඇති සංසිද්ධීන් විනිශ්චය කිරීමට යත්න දැරූ ආගමික නායකවරුන් තම ශ්‍රාවකයන්ට කළ ඉගැන්වීම් නිසා විවිධ විෂම විශ්වාසයන් හා ඇදහිලි දහස් ගණනින් බිහිවූ ඉතිහාසයකි මානව වර්ගයාට ඇත්තේ.

එහෙත් බුද්ධිමත් අයෙකු නුවණින් විමසා බලා යම් ආගමික ඉගැන්වීමක ඇති යහපත් අයහපත් බව තෝරා ගැනීමේ දී කරුණු කිහිපයක් සැලකිය යුතු ය. ඒ අතර, එම ඉගැන්වීම මේ ජීවිතය තුළදී ම මුළුමනින් ම ප්‍රත්‍යක්ෂ කරගැනීමට ඇති හැකියාව. මෛත්‍රිය, දයාව, අනුකම්පාව හා ඉවසීමට ලබාදී ඇති තැන. ශාස්තෘවරයාගේ හා ශ්‍රාවකයාගේ භූමිකාව අර්ථ දක්වන ආකාරය. තාවකාලික ව හා දීර්ඝ කාලීන ව ලැබෙන අර්ථානර්ථයන් යන මේ කරුණු ඒ අතර ඉතා වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම, ඉහත සියලු කරුණුවලට ඉතා සෘජු වූ ද, ඤාණ ගෝචර වූ ද විවරණයන් සපයා ඇත්තේ මිනිස්කම අගයන ඕනෑම අයෙකුට පිළිගත හැකි ආකාරයෙනි. “කර්මය හා ඵලය” පිළිබඳ ඉගැන්වීම පමණක් වුව ද එහිලා විමසා බැලීම මගින්, බුදු සමයතුළ උපයුක්ත අකාලික වූ අවිවිරණීය රමණීයත්වය තේරුම්ගත හැකි ය.

වරෙක සුභ නම් වූ තරුණයා බුදුරදුන් වෙත පැමිණ, භවත් ගෞතමයන් වහන්ස, මිනිසුන් අතර උස් පහත්කම්, හීන ප්‍රහීන කම්, නිරෝගීකම, ආයුෂය, රූපය, කුලය, වත් පොහොසත්කම් අතර ඉතා ප්‍රකට වෙනස්කම් පවතින්නේ කුමන හේතුව නිසා ද යැයි විමසා සිටියේ ය.

එහි දී බුදුරජාණන් වහන්සේ ලබාදුන් කෙටි පිළිතුර පිළිබඳ සෑහීමකට පත් නොවූ සුභ තරුණයා විස්තර වශයෙන් වදාරණ මෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව බුදුරජාණන් වහන්සේ එම තරුණයාට ඉගැන්වූ ධර්ම පර්යාය තුළින් ජීවිතය යන්නට ලබාදී ඇති විවරණය අකාලික අගයකින් යුතු වන්නේ සත්‍යයේ සටහන ද එයම වන බැවිනි.

ඒ අනුව මේ ලොව යම් කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ දයා විරහිත ලෙස ක්‍රෝධ පරවශව පර පණ නැසීම් තැවීම් සිදු කරයි නම්, කය බිඳී මරණින් පසු අපාය හෙවත් නිරය බලාපොරොත්තු විය යුතු ය. අපා දුක යම් දිනෙක වර්ෂ කෝටි ගණනක් ඇවෑමෙන් අවසන් වේ ද, යළි මිනිස් ලොවට පැමිණේ ද එවිට ඔහු ඉතා අල්ප වූ ආයුෂ ඇත්තෙකු බවට පත්වේ. ඒ අනුව පරපණ නොනැසීම හා අවිහිංසාව සුගතියේ ඉපදීමටත් , දීර්ඝායුෂ ලැබීමටත් හේතුවන බව පැහැදිලි වේ.

සතුන් නොමරණ මුත් අත්පා කැපීම්, ගල් මුගුරු දඬු කස ආදියෙන් පහර දීම් සිදුකරන අයෙක් වේ නම්, ඔහුට ද තම පාපයෙන් අපාගාමී වීමට සිදුවන අතර, එසේ නොවී මිනිස් ලොව උපදී නම් බොහෝ රෝග පීඩා ආබාධ ඇත්තෙක් වේ. මානසික පීඩාවන් ලබාදීම ද මීට ම අදාළ වන නිසා කිසිවෙකුත් කායික හෝ මානසික හිංසනයට ලක් නොකිරීම නිදුක් නිරෝගී බව ලැබීමට හේතු වේ.

ප්‍රාණඝාතය, සත්ව හිංසාව නොකරන්නේ නමුත් මෙලොව යම් අයෙකු නිතරම ද්වේෂ සහගත ව අල්පමාත්‍ර දෙයින් නමුත් කිපෙන සුළු වේ නම්, එය ද දුගතියේ ඉපදීමට හේතු වන්නකි. දුගතියේ ඉපිද හෝ එසේ නොවී මිනිස් ලොව උපන් කල ඉතා විරූපී දැකුම් ඇති, බැලීමට පවා අප්‍රසන්න පිළිකුල් උපදවන අයෙකු බවට පත්වේ. මනස්කාන්ත දර්ශනීය රූපයක් ලබනු කැමති අයෙකු විසින් කළ යුතු වන්නේ මෙත් සිත පැතිරවීම බව ඒ අනුව පෙන්වා වදාරා ඇත. වෛරයේ ඇති බිහිසුණු භාවය ගැන ද මෛත්‍රියේ ඇති අපමණ අනුසස් ගැන ද, සිහිකිරීම මගින් ආවේග පාලනය හා ශාන්ත භාවය ද මානසික සුවය ද උදාපත් වේ.

ඉරිසියා කිරීම ද ඉතා ලාමක අකුසලයකි. අන් අයට ලැබෙන ලාභ - සත්කාර, කීර්ති - ප්‍රශංසා නොඉවසන සුළු බව ඉරිසියාව වන අතර ඉන් සිදුවන කිසිදු ලාභයක් නොමැත.

එම ස්වභාවය බහුල සිතක් ඇති අයෙකුට හරි හැටි නින්දක් හෝ නොලැබෙන අතර අභ්‍යන්තරයේ දැවිල්ලක් සහිත ආයාසකර බවක් පමණක් ඉතිරි වේ. එවන් මනෝභාවයකින් කලුරිය කළහොත් දුගතිය බලාපොරොත්තු විය යුතු අතර, මිනිස් ලොව යම් තැනක උපදී නම්, කිසි ආනුභාවයක් , පිළිගැනීමක් නැති මුලු සමාජයෙන් ම කොන් වූ අයෙකු බවට පත්වේ. එලෙසින් ඊර්ෂ්‍යා නොකරන්නා උපනූපන් ජීවිතවල මහේශාක්‍ය - උසස් - ප්‍රභූ අයෙකු බවට පත්වේ.

ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන්දීම ගැන ද පෙන්වා වදාරණ බුදුරජාණන් වහන්සේ දන් නොදීමේ ආදීනව ලෙස, මරණින් මතු දුගතියට යාමට හේතුවන අයුරු පෙන්වා ඇත්තේ දානය යනු සත් පුරුෂයන්ගේ පැනවීමක් වන බව අවධාරණය කරමිනි. දුගී දුප්පත් ව අසරණ භාවයට පත්වන සියල්ලෝ ම දන් නොපිදූවන් වන අතර, මහා ධනවතුන් බවට පත්වූවෝ නිර්ලෝභී ව දානය පුරුදු කළ අය බව සහේතුක ව වදාරා ඇත. සියල්ලන්ටම සමසේ සම්පත් බෙදී යා යුතු යැයි කියන්නෝ උක්ත ධර්ම නියාමය නොදත්තෝ ය. මොනම යුගයකවත් දුප්පත් පෝසත් භේදයෙන් තොරවූ ජන සමාජයක් නොතිබිය හැකි ය. එබැවින් දුප්පතා තම ශක්ති පමණින් ද, පෝසතා ඉතා උසස් ආකාරයෙන් ද දානය ආදරයෙන් පුරුදු කළ යුතු ය.

අතිමානය ද, තද සිතක් ඇති බව ද යහපතට හේතුවන්නේ නොවේ. එවැනි මනසක් ඇති අය ගරුකළ යුත්තන්ට, වැඳීය පිදිය යුත්තන්ට ගරු නොකරන, නොවඳීන, නොපුදන අය වන අතර එම පුරුද්ද ඔහුට නිරයගාමී වීමට ද හේතු වේ. එසේ වී හෝ නොවී මිනිසත් බවට ආ කල ඉතා පහත් යැයි සලකන කුලයක උපදින්නට සිදුවේ. එවිට ඔහුට ගැරහුම් , නින්දා, අපහාස නොඅඩුව ලැබෙන අතර පෙරළා ගැරහීම් ආදිය මගින් කර්මය තවත් දිගු කරගන්නා අය ද බොහෝ වෙති. කුලවතුන් කුලවතුන්ට හෝ කුල හීනයන්ට ද, කුල හීනයන් කුලවතුන්ට හෝ කුලහීනයන්ට ද නින්දා නොකළ යුතු අතර ගුණ ධර්මවලින් පිරි ජීවිතයත් ඇති ගරුකළ යුත්තාට ගරු කිරීමට, පිදිය යුත්තාට පිදීමට මැලි නොවිය යුතු ය. ඔවුන් ඉදිරියේ හිස පහත් කිරීම්, වැඳීම්, පිදීම් ආදියෙන් සිදුවන්නේ තමාගේ ම ආනුභාවය වැඩිදියුණු කරගැනීමක් විනා යටත් වීමක් නොවේ.

උපනූපන් ජීවිතවල උසස් කුලවතුන් බවට පත්වන්නෝ පෙර ජීවිතවල නිහතමානී ගුණ පුරුදු කළ උදවිය යි. මෙලොව ජීවත් වන කාලය තුළ සිල්වත් - ගුණවත් ශ්‍රමණයන් වෙත එලැඹ කුසලාකුසල ධර්මයන් පිළිබඳ ව විමසා ඊට අනුව පිළිපදින ලද උදවිය මරණින් මතු තීක්ෂණ නුවණක් හිමි ප්‍රඥාවන්තයන් බවට පත් වේ. ප්‍රඥාව නොමැති බව තරම් තවත් අඩුවක් ජීවිතයේ නොමැත.පවට ලජ්ජා බිය නම් වූ දේව ධර්මයන්හි පටන් සියලු ගුණ ධර්මයන්ට උප්පත්ති ස්ථානය වන්නේ කර්මය - ඵලය අදහා ගන්නා ඥානය ආදී කොට මගඵල ප්‍රතිවේදය දක්වා වූ ප්‍රඥාවයි. එබැවින් යමෙකුට වහා වැටහෙන නුවණකින් යුතුව, නොරැවටී, නුමුලාව ජීවිතයේ ඇතුළාන්තය දැකගැනීමට අවශ්‍ය නම් ප්‍රඥාව ම පුරුදු කළ යුතු ය. ඒ සඳහා පළමු කොට නාමරූප වශයෙන් ද, දෙවනුව රූපය, පඨවි ආදී කොටස් වශයෙන් ද, නාමය, චිත්ත චෛතසික වශයෙන් ද දැක ගැනීම ඉන් අදහස් කෙරේ.

මෙම ලිපියෙහි තවත් කොටසක් දුරුතු අව අටවක (ජනවාරි 17) පත්‍රයේ පළවේ

දුරුතු
පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සිකුරාදා පූර්වභාග 2.34 ට ලබයි. 11 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය ජනවාරි 17 වනදා සිකුරාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk