[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන් වැඩි කැලණි පුදබිම

බුදුරදුන් වැඩි කැලණි පුදබිම

බුදුරජාණන් වහන්සේ තුන් වරක් ශ්‍රී ලංකාවට වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ. එහි සඳහන් වන අන්දමට සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසුව ලංකාවට පැමිණි උන්වහන්සේ මහියංගණයේ මහානාග උද්‍යානයේ දී යක්ෂයින් දමනය කර ඇත.

එම ස්ථානයේ සිටි අය අතර කැලණියේ මණිඅක්ඛික නාග රජු ද සිටි බව සඳහන් කරන මහාවංශය, හෙතෙම බුදුරජුන්ගෙන් බණ අසා සරණ සීලයේ පිහිටි බව ද සිහිකරයි. භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ දී සිදුවිය. චූලෝදර නා රජු සහ මහෝදර නා රජු අතර මිණිපළඟක් අරභයා, එනම් සිහසුන පිළිබඳ හටගත් අරගලය සමථයට පත් කිරීම සඳහා උන්වහන්සේ දෙවන වරට නාගදීපයට වැඩම කරන ලදී. මහෝදර නා රජුගේ සහෝදරි වු තිරච්ඡිකා උතුරේ නාගදීපයේ කන්වඩමන් පව්වේ වාසය කළ නා රජුට සරණ පාවා දෙන ලදී. ඇගේ පියා විසින් එහි දී මණිපල්ලංකය ඇයට දෙන ලදී. ඇයගේ ඇවෑමෙන් ඇගේ පුත් චූලෝදරට එය අයිති විය. නමුත් චූලෝදරගේ මාමා වු මහෝදර ඊට විරුද්ධ වූ බැවින් දෙපක්ෂය අතර මහා සටනකට සූදානමක් ඇති විය. ශාස්තෘන් වහන්සේ ගැටුම වැළැක්වීමට එම ස්ථානයට පැමිණි සේක. එහි දී ද කැලණියේ මනිඅක්ඛික නා රජුට බුදුරජාණන් වහන්සේ හමුවිය. එහි දී සිය රාජධානිය වන කැලණියට වැඩම වන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ් ය. ආරාධනාව පිළිගත්තත් එය ඉක්මනින් සිදු නොවු නිසා මණිඅක්ඛික නා රජු ඉන්දියාවේ ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේ මුණ ගැසී තම ආරාධනය නැවත සිහිපත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙසට බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයේ දී වෙසක් පුන් පොහෝ දිනක පන්සීයයක් රහතන් වහන්සේලා පිරිවරා කැලණියට වැඩම කළහ . (මහාවංශය 1 පරිච්ඡේදය . 65-68 ගාථා) මේ ගමන අනෙකුත් ගමන් අවස්ථා දෙකට වඩා වැදගත් වන්නේ , උන්වහන්සේ පළමු වතාවට මේ ලංකා භූමිය ස්පර්ශ කිරීම යි. අනෙක් අවස්ථා දෙකේ දීම උන්වහන්සේ ආකාශයේ වැඩසිටිමින් ප්‍රාතිහාර්ය පෑම් සහ අවවාද අනුශාසනා දීම සිදුකර ඇත. එහෙත් කැලණියට වැඩමවීමේ වැදගත්කම සනිටුහන් වන්නේ එහි දී උන්වහන්සේ කායික ව ලංකා භූමිස්පර්ශය සිදුකිරීමයි. මෙම ගමනේ දි කැලණි නදියෙන් ජලස්නානය ද කර ඇත. පූජාවලිය සඳහන් කරන අන්දමට ජලස්නානය කරන අවස්ථාවේ දී උන්වහන්සේ කැලණි ගඟ අසබඩ ශ්‍රී පාද ලාංඡනයක් ද පිහිට වූ බවයි.” එම නා රජුහුගේ ආරාධනාවෙන් කැලණි ගඟට ද ඕහට පාද ලාංඡනයක් දී “(පූජාවලිය 33 වැනි පරිච්ඡේදය) ඉන් අනතුරුව වර්තමාන සෑය පිහිටි තැන වැඩ හිඳ මහරහතුන් සමඟ දන් වළඳා මණිඅක්ඛික නාරජුන් ඇතුලු පිරිසට දම් දෙසූහ. මේ සිද්ධිය ශිලා ලේඛණවල මෙන්ම, සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් කර ඇත.

රජ මහ කැලණියේ විභීෂණ දේවාලයේ තිබී හමුවූ ටැම් ලිපියක , “කැලණි රද්මහවෙහෙරැ උදකස්දා නින්දු මගුල් දාගැබ්බහි” යන සඳහනත්, කිත්සිරිමෙවන් කැලණියේ තිබී හමුවූ ටැම් ලිපියක, “කැලණි වෙහෙරැ උසදකස්දා කොට “යන ප්‍රකාශයෙන් සඳහන් වන “උදකස්දා” යන වචන ය බුදුරජාණන් වහන්සේ ජලස්නානය පිණිස පොරවන ලද ජල සාටක ධාතුව බව සෙනරත් පරණවිතාන ශූරීහු පවසති. ( ලංකා ශිලා ලිපි සංග්‍රහය ,ධ්ඍ වෙළුව ධ් කොටස පිටු 1 -7 ) එම ජලසාටකය තැන්පත් කර ඉදිවු දෙවන ස්තූපයක් කැලණියේ තිබූ අතර, කණිෂ්ටතිස්ස රජු එම ස්තූපයට කළ පූජාවක් ගැන එම සෙල්ලිපියේ සඳහන් වේ. කෝට්ටේ යුගයේ රචිත සැළලිහිණි සන්දේශයේ ද බුදුරජුන්ගේ ජලසාටකය තැන්පත් කළ ස්තූපයක් ගැන සඳහන් කර ඇත.

ක්‍රි.පූ. තුන සහ දෙක සියවස්වල කැලණියේ ස්වාධීන රජ්‍යයක් පැවතුණි. බෝධි වංශය, දඹදෙණි අස්න ආදී ග්‍රන්ථවල කල්‍යාණි දේශ යන නමින් එය හඳුන්වා ඇත. මේ කාලයේ ප්‍රාදේශීය පාලකයකු ලෙසට උත්තිය කුමරා කටයුතු කළ අතර, ඔහු මණි අක්ඛික නා රජු විසින් ගොඩනැගූ කැලණි චෛත්‍යය නැවත පිළිසකර කර ඇත. උත්තිය කුමරුගේ ඥාති පුත්‍රයෙකු වූ යඨාලතිස්ස පසුව පස් මහල් ප්‍රාසාදයක් විහාරයට එක් කළ බව සඳහන් වේ. ඉන් පසු මෙහි පාලනය සිදුකර ඇත්තේ උත්තිය කුමරුගේ මුනුබුරෙකු වූ කැලණිතිස්ස රජතුමා ය. එතුමාගේ දියණිය විහාර මහාදේවිය රුහුණේ කාවන්තිස්ස රජුගේ මහේෂිකාව බවට පත්වීමෙන් අනතුරුව කැලණි පුරවරය රෝහණයට යටත් විය. දුටුගැමුණු රාජ්‍ය සමයේ දී කැලණි විහාරයේ පන්සීයක් පමණ භික්ෂූන් වහන්සේ විසු බව මහාවංශයේ 32 පරිච්ඡේදයේ සඳහන් වේ. ඉන්පසුව කණිෂ්ඨතිස්ස රජතුමා කැලණි විහාරයේ උපෝෂථාගාරයක් ඉදිකළ බව මහාවංශයේ 36 වන පරිච්ඡේදයේ සඳහන් කර ඇත.

මින් පසුව කැලණිය ගැන වංශකතාවේ සඳහන් වන්නේ අවුරුදු නවසීයකට පසුව ය. අභ්‍යන්තරික සිවිල් යුද්ධයක දී වික්‍රමබාහු කුමාරයා විසින් මානාභරණ කුමාරයා ඇතුළු පිරිස කැලණියට පලවා හරින ලද බව 61 වන පරිච්ඡේදයේ සඳහන් කර ඇත. එසේම මහා පරාක්‍රමබාහු නමැති පින්වත් කුමරා ලබා ගැනීම සඳහා දෙමාපියන් කැලණි විහාරයට පැමිණ පිහිට පැතූ බව සඳහන් වේ. කීර්ති නිශ්ශංකමල්ල රජු කැලණි විහාරය වැඳපුදා ගැනීමට නොයෙක් වර පැමිණි බවත් එහි නව කර්මාන්ත සඳහා වස්තු පරිත්‍යාග කළ බවත් ගල්පොත ලිපියේ සහ ප්රිති දානක මණ්ඩප ලිපියේ සඳහන් කර ඇත. (සිංහල ශිලා ලේඛන සංග්‍රහය 11. පිට 98 - 123 ල 165 - 178) ක්‍රි.ව.1213 දි කාලිංග මාඝ කැලණි විහාරය විනාශ කළ අතර ඔහු පරදවා රජවන තුන්වන විජයබාහු රජතුමා කැලණි චෛත්‍යය නැවත සාදා ස්වර්ණමය වූ කොතක් ද, වාහල්කඩක් ද පිළිම ගෙවල් සහ පවුරු වළලු ආදිය ප්‍රතිසංස්කරණය කළ බව මහාවංශයේ 81 වන පරිච්ඡේදයේ සඳහන් වේ. පූජාවලියට අනුව දෙවන පරාක්‍රමබාහු රජතුමා කැලණි විහාරයේ තිබු පස්මහල් මහපාය, තිවංක පිළිමගෙය, සලපතළ මළුව පිළිසකර කර නිතිපතා පූජා පැවැත්වීමට කටයුතු සංවිධානය කළ බව සඳහන් වන අතර මහාවංශයේ 85 වන පරිච්ඡේදයේ ද මේ පිළිසකර කටයුතු ගැන සඳහන් කර ඇත. මේ කාලයේ දී විල්ගම්මුල සංඝරාජ මාහිමියන් විසින් පිහිටුවන ලද සෙල්ලිපියක කිත්සිරිමෙවන් කැලණි විහාරය ගැන සඳහන් කරයි. දසවෙනි අළගක්කෝනාර ඇමැතිවරයා විසින් එම විහාරයේ කළ ප්‍රතිසංස්කරණ කටයුතු ගැන එහි සඳහන් වේ. මින් අදහස් වන්නේ රජ මහ කැලණිය සහ කිත්සිරිමෙවන් කැලණිය යන උභය විහාරයම රාජ්‍යයමාත්‍යාදීන්ගේ සැලකිල්ලට සහ වන්දනාවට පාත්‍ර වූ සිද්ධස්ථාන දෙකක් ලෙසට පැවැති බවයි.

කෝට්ටේ යුගය වන විට කැලණි විහාරය සහිත කැලණි පුරවරය ඉතා දියුණු , සිත් ගන්නා, උසස් තත්ත්වයකට පත්ව තිබු බව සාහිත්‍ය සන්දේශ පෙන්වා දෙති. මහා විහාර පරම්පරාවේ ථෙරවාදි භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථානය වශයෙන් පුද පූජා ලබන ලද්දේ කැලණි විහාරස්ථාන යයි. හය වන බුවනෙකබාහු රාජ්‍ය සමයේ (1470) බුරුමයේ හංසවති නුවර ධම්මසෝදි රජු එම රටේ නැතිවී ගිය උපසම්පදාව නැවත ස්ථාපිත කිරීමේ අදහසින් චිතුදූත සහ රාමදූත යන ඇමතිවරුන් දෙදෙනා සමඟ බුරුම සාමණේර පිරිසක් ක්‍රි.ව. 1475 දී කැලණියට එවන ලදී. දෙවන වීදාගම මහාස්වාමින් වහන්සේ ප්‍රධාන සංඝයා වහන්සේ විසින් කැලණි වෙහෙර අභියස කැලණි ගඟ බැඳි සීමාවක දී බුරුම භික්ෂූන් හතළිස් හතර නමක් උපසම්පදාවේ පිහිටවූ බව සඳහන් වේ. පෘතුගීසි සමය කැලණි විහාරයට දුර්භාග්‍ය උදා කළ සමයක් ලෙසට හඳුන්වා දිය හැකි ය. ලන්දේසි යුගයේ මුල්භාගයේ දි මේ තත්වය එලෙසම පැවතිණි. 1692 දි ලන්දේසීන් කැලණි විහාරයේ ආගමික කටයුතු කිරීම නැවත තහනම් කරන ලදී. නමුත් ගණන් නොගෙන දිගින් දිගට භික්ෂූන් වහන්සේ ද කැලණි විහාරයට පැමිණ, ආගමික කටයුතු සිදුකර ඇත. මේ ප්‍රශ්නයට පිළිතුරක් 1767 දී ලැබුණි. සිංහල රජු කීර්ති ශ්‍රී රාජසිංහ රජු සතුටු කිරීමට ලන්දේසි ආණ්ඩුකාරයා කැලණි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට අවසර දෙන ලදී. ඉන්පසුව දෙහිගස්පේ අත්ථදස්සි තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් විහාර කර්මාන්ත සහ කැලණි සඟ පරපුර ආරම්භ විය. ශිෂ්‍ය පරම්පරාවේ ආරම්භකයා පූජ්‍ය මාපිටිගම බුද්ධරක්ඛිත නාහිමියන්ය. ඉන් අනතුරුව පූජ්‍ය මාපිටිගම ධම්මරක්ඛිත, මාපිටිගම සංඝරක්ඛිත නාහිමිවරු පත්වු අතර එම නාම සහිතව විහාර පැවිදි ශිෂ්‍ය පරපුර අද දක්වා පවත්වාගෙන එවනු ලබයි. 1927 ජනවාරි 23 වන දින හෙලෙනා විජයවර්ධන මැතිණිය විසින් සිය ධන පරිත්‍යාගයෙන් නව විහාර මන්දිරයේ ඉදිකිරිම් ආරම්භ කරන ලද අතර 1946 දෙසැම්බර් 28 වන දින එය නිමාකොට විවෘත කරන ලදී. සොලියස් මෙන්දිස් නමැති ප්‍රතිභාපූර්ණ චිත්‍රශිල්පියා විසින් මෙහි චිත්‍ර කර්මාන්ත සිදුකර ඇත.

දුරුතු
පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සිකුරාදා පූර්වභාග 2.34 ට ලබයි. 11 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය ජනවාරි 17 වනදා සිකුරාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk