[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

පැන විසඳුම්

ජයග්‍රාහකයා සැප ගෙන දෙන පින

පින වනාහි සැපය යි. සාධු කර්ම කළෝ බොහෝ පින් රැස් කරති. පිනෙහි ප්‍රතිඵලය හේතුඵලවාදී ව බැලූ කල සත්වයා සුගතිභූමියට ඔසවා තබයි. මරණින් මතු ලෞකික සැප සම්පත් ගෙන දෙන උතුම් ධර්මතාවයකි. බුදු දහම, පින වූ කලී ආශ්වාදය ලබාදෙන, භවයට සත්වයා බැඳ දමන සංස්කාරයක් ලෙස හඳුන්වා දෙයි. දිව්‍යතල වගේ ම, දුර්ලභ මනුසත් උපතත් සත්වයා උරුම කර ගන්නේ පින් කුසල් නිසා ම ය. පින් නොකළෝ දුගතිගාමී වන බව බුදු දහම අවධාරණය කරයි. නමුත් යමෙක් නිවන අරමුණු කොට පින් කළේ නම් එය කුසල් වේ. බුදුන් වහන්සේගේ දේශනාව උපන් කුසල් වර්ධනයටත්, නූපන් කුසල් උපදවා ගැනීමටත් අවවාද කරයි. සියලු පවින් වෙන් වී කුසල් සිත් පිහිටුවා ගැනීම සියලු බුදුවරුන්ගේ බුදු වදන වේ. පිනෙන් ලැබෙන ආශ්වාදය වටහා, ආදිනවය තේරුම් ගෙන භව නිස්සාරණයට යොමු වන්නේ නම්, හෙතෙම සර්ව විශ්වය පරම සත්‍ය අවබෝධ කරයි.


පුර පෝදා අපේ පන්සල

වැලිමළුවට සඳ පායා තිබුණේ
බෝපත් අතරින් බුදු හිමි පෙනුණේ
සිල් සුවඳින් හැම හදවත් පිරුණේ
දුරුතු මහේ පුර පෝයයි ලැබුවේ

ඝණ්ටා නද රැව් පිළිරැව් දෙන්නේ
පහළ මළුවේ අර සාධු කියන්නේ
බුදු ගුණ සිසිලෙන් සිත් සනසන්නේ
සම්මා සම්බුදු සමිඳු වඳින්නේ

පහන් මළුවේ අර පහන් දිලෙන විට
අවිදු අඳුර දුරුවී යයි ටික ටික
මේ ඇසෙනා බණ පදයක් ගානට
සැම හදවත් නිවිලා යයි නිවනට


ආදර අම්මා

පුර පෝ දිනයෙහි ආදර අම්මා
මිදුලේ බංකුව මත හිඳ අම්මා
හඳහාමිගෙ කිරි පැණි දුන් අම්මා
ඒ සඳ එළියයි මට මගෙ අම්මා

පාසල් ගොස් මා එන තුරු අම්මා
ගෙපිලට වී මග බැලුවා අම්මා
මා දුටුමොහොතේ සතුටට අම්මා
මලක් වගේ පිපුණා මගෙ අම්මා

සඳට වඩා සිසිලයි මගෙ අම්මා
හිරුට වඩා එළියයි මගෙ අම්මා
මලට වඩා සුවඳයි මගෙ අම්මා
නිවසේ මිණි පහනයි මගෙ අම්මා


අභයගිරි පුදබිම

ශාසනික වශයෙන් ගත්කල ඉතා වැදගත් ස්ථානයක් ලෙස අභයගිරිය සැලකිය හැකි ය. අභයගිරි චෛත්‍යය බුබ්බුලාකාර හැඩයක් ගනී. මෙරට ප්‍රථම වරට නිකාය භේදයක් ඇතිවීමට හේතුව වූයේ ද අභයගිරිය යි. ක්‍රිස්තු වර්ෂ 103 දී වළගම්බා රජු පලා යන විට ගිරි නමැති නිඝන්ඨයෙක් ‘මහා කළු සිංහලයා පලා යන්නේ ය’ කියා කෑ ගසා ඇත. වළගම්බා රජු සැඟවී සිටිය කාලයේ දී රජුට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් සේනා සංවිධානයට උපදෙස් දෙමින් කටයුතු කළේ කුප්පිගල තෙරුන් වහන්සේ බව ඉතිහාසයේ සඳහන් ය. එම හිමියන්ගේ අනුශාසනා පරිදි චෝලයින් පළවා හැර රට එක් සේසත් කළේ ය. ඉන්පසු නිඝන්ඨාශ්‍රවය කඩා දමා එම ස්ථානයෙහි අභයගිරිය ඉදිකළ බව පැවසේ. ගිරි යන තාපසයාගේ නමත්, වට්ටගාමිණී අභය යන රජතුමාගේ නමත් එකතුව අභයගිරි යන නම විහාරයට තබා ඇත.


අෂ්ට පානය

බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට වැළඳීම සඳහා අනුදැන වදාළ පාන අටක් ඇත්තේ ය. සිල් සමාදන් වූ උපාසක පිරිසට ද විකාලයේ වැළඳීමට එම පානය කැප ය.

අම්බ පානය- අඹවලින් සාදන පානය , ජම්බු පානය- ජම්බුවලින් සාදන පානය , චෝච පානය - ඉදුණු ඇටි කෙසෙල් වලින් සාදන පානය, මෝච පානය- කෙසෙල් ගෙඩිවලින් සාදන පානය, මධු පානය- අමු මුද්‍රප්පලම් වලින් සාදන පානය, මුද්දික පානය - වියළි මුද්‍රප්පලම් වලින් සාදන පානය, සාලුක පානය- ඕලු ගෙඩිවලින් සාදන පානය , ඵාරුසක පානය - (උගුරැස්ස) ගෙඩි වලින් සාදන පානය

දෙහි, දොඩම් , නාරං ,බෙලි , පැපොල් ආදි පලතුරුවලින් සාදන ගිලන්පස ද කැප ය.


පන්සලක් ගරු හිමිනමක්

බෙර හඬ ඇසෙයි ඝණ්ඨා නද දෙයි පන්සලේ ලොකු පින්කමක්
වස් පවාරණ කාලයයි ලොකු වැදගත්කමක් ඇති මාසයක්
ගමට සුබ සෙත සලසනා යහමග කියාදෙන පන්සලක්
සුගත නායක මහිමි ගමටම එළිය බෙදනා පුරහඳක්
සුගත නායක හිමි කියාදෙයි ඉවත් කරනට නිසරු දේවල්
දියත යහමඟ පතුරවන්නට හිමි වඩියි ලොව සියලු රටවල්
නිහතමානී නිහඬ ගුණ පිරි හිමිගෙ පාමුල මම තබා මල්
වඳිමි පතමින් දීර්ඝායුෂ ලොවට සෙත දෙන ගුණ කඳක්


සිරිපා පුදබිම

මම යනවා සිරි පාදෙට
ශ්‍රී පාදය දැක එන්නට
සමන් දෙවිඳු මා රැකුමට
මම දෙනවා පින් එතුමට
ශ්‍රී පාදය යන නාමය
ලැබුණේ සිරි පතුල නිසා
සිරි පාදෙට සිරි පතුලක්
ලබා දුන්නෙ අපේ මුනිඳා


පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

ඉන්දීය සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව පිළිබඳ ව නිර්මාණාත්මක ව ලියා අප වෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් අගනා ත්‍යාගයක් පිරිනැමේ.

දුරුතු
පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සිකුරාදා පූර්වභාග 2.34 ට ලබයි. 11 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය ජනවාරි 17 වනදා සිකුරාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]