ශාසන විලෝපිකයන් සිදු කරන
ධර්ම කරුණු විකෘතිය
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,
ශාස්ත්‍රපති, රාජකීය , පණ්ඩිත
කොත්මලේ
කුමාර කස්සප හිමි
මෙම ලිපියෙහි පළමු කොටස
දුරුතු පුර අටවක (ජනවාරි 03)
පත්‍රයෙහි පළවිය.
අනිත්‍ය ධර්මතාවයෙන් දුක මෙන් ම සුව ද උපදී යැයි තර්ක කරමින් ධර්මය අධර්මය බවට පත්
කිරීම පසෙක ලා ප්‍රායෝගික ජීවිතය තුළ නුවණින් විමසා බුදුබණ තේරුම් ගැනීම වඩාත්
වැදගත්ය.
ඉහත විග්‍රහය අනුව අනිත්‍යතාවය මත පඤ්චකාමයන් ආශ්‍රයයෙන් සුළු ආශ්වාදයක් හටගත්ත ද
බහුල වශයෙන් දුක උපදින බව තේරුම් ගත හැකි ය. ඒ අනුව සුව වේදනාව පවත්වා ගත නොහැකි
බැවින් දුක් වශයෙන් ද දුක් වේදනාව ඇනුණු හුලක් වශයෙන් ද අදුක්ඛමසුඛ වේදනාව අනිත්‍ය
වශයෙන් ද දැක තෘෂ්ණාව සිඳ දුක් කෙළවර කරන ලෙස බුදුදහමින් අනුශාසනා කෙරේ.
මෙසේ තිබිය දී අනිච්ච යන්නට අනිත්‍ය යැයි කීම වැරැදි බවත්, අනිත්‍ය නිසා දුක සැප
දෙක ම උපදින බවත් කියමින් මෙය අනිච්ඡ විය යුතු යැයි තර්ක කිරීම හුදු තර්කයක් මිස
බුදුදහමට අනුකූල වූවක් නො වන බව තේරුම් ගත හැකි වේ.
අනිච්ච යන පදය භාවිත වී ඇති අර්ථය තේරුම් ගැනීම සඳහා නිදසුනක් දෙකක් දැක්වීම වැදගත්
බව පෙනේ. තුන් ආකාර වේදනාව ම දුක් වූවක් බව බුදුරජාණන් වහන්සේ වදාරණ ලද්දේ කවර
හෙයින් දැයි පැහැදිලි කිරීමේ දී සංස්කාරයන්ගේ ම අනිත්‍ය බව, ක්‍ෂය බව, ව්‍යය බව,
විරාග බව, නිරෝධ බව, විපරිණාම බව සඳහා දේශනා කරන ලදැයි සඳහන් වේ . අනිච්ච යනු ක්‍ෂය
අර්ථයෙන් බව ඉතා පැහැදිලි ව සඳහන් වී ඇත . එහෙත් ඉතා අවාසනාවන්ත ලෙස ඛය (ක්‍ෂය)
වැනි පදවලට ද යථෝක්ත ධර්ම විකෘති කරන්නන් විකෘති අර්ථ දක්වා ඇති බැවින් ඔවුන්ගේ මතය
පිළිගත්තවුන්ට නිවැරැදි දේ පහදා දීම අතිශය දුෂ්කර තත්වයක් වී තිබේ.
දුක යන පදයට දෙවන පැත්ත යනුවෙන් විග්‍රහ කිරීම ද මුළුමනින් ම පාලි භාෂාවට විරුද්ධ
ය. පාලි භාෂාවේ සංඛ්‍යා දැක්වීමේ දී දුක යන්නට දෙක යන අර්ථය ඇතත්, එය ත්‍රිලක්‍ෂණ
විග්‍රහයේ දැක්වෙන දුක්ඛ යන පදයට සමාන කිරීම සාවද්‍ය ය. ත්‍රිලක්‍ෂණ විග්‍රහයේ
දැක්වෙන දුක්ඛ යන්න ලෝකයේ යථා ස්වභාවය විවරණය කරන පදයකි. මෙම යථාර්ථය පිළිබඳ
අනවබෝධයෙන් වරදවා ගත් අදහස සුඛ යනුවෙන් දැක්වේ. එය විපල්ලාසයකි .
භාෂාව පැත්තකින් තබා ඔවුන් නගන තර්කය අනුව ගත්ත ද දෙවන පැත්ත යැයි කිව යුතු වන්නේ
සුඛයට ය. කුමක් නිසා ද යත් ?සුඛ යනු දුක නම් වූ යථාර්ථය වරදවා ගත් දෙවන පැත්ත
බැවිනි. පාලි භාෂාව හෝ , ධර්මය පිළිබඳ හෝ සැලකීමක් නො කොට හුදු ශබ්ද මාත්‍රයක්
තුළින් පූර්ව කල්පිත මතයක් තහවුරු කිරීම සඳහා නගන වාද මිස ඒවායෙහි නිවැරැදි බවක්
දැක්විය නොහැකි ය.
බුදුදහමේ දුක පිළිබඳ අතිශය පුළුල් විග්‍රහය නොසලකා එහි අර්ථය විකෘති කොට සාමාන්‍ය
ජනයාට තේරෙන තරමේ අර්ථයක් පැවසීමෙන් ගම්භීර ධර්මාර්ථ විනාශ වන බවත් එය ශාසනයට සිදු
කරන සතුරුකමක් බවත් කිව යුතු ය. බොහෝ දෙනෙක් හිතන්නේ දුක සහ දුක්ඛ ආර්ය සත්‍ය යනු
එකක් ම බවයි. මේ ලෝකයෙහි කායික, මානසික වේදනාව දුකක් බව කවුරුත් දනිති. එසේනම්
දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ පෙර නො ඇසූ විරූ දහම් ඇසක් පහළ වූ බව බුදුරදුන් වදාළේ
කුමක් නිසා ද? කායික මානසික දුක යනුවෙන් හඳුනා ගන්නා දුකෙහි සාමාන්‍ය පසුබිම ඉක්මවා
ගිය අතිශය දාර්ශනික පසුබිමක් තුළ දුක්ඛ ආර්යසත්‍ය විග්‍රහ වී ඇති බව ඉඳුරා ම කිව
යුතු ය. එබඳු දහම් පරාසයක් මෙවැනි කෙටි ලිපියකින් විග්‍රහ කළ නොහැකි බැවින් දැනගනු
කැමැත්තෝ යමකප්පකරණය පළමු පොතෙහි සච්චයමකය නුවණින් විමසත්වා !
අනත්ත - අනත්ථ පටලැවිල්ල
අනත්ත යන පදය අනත්ථ වශයෙන් විකෘති කොට එහි නියම තේරුම අනාථ යනුවෙන් විය යුතු යැයි
ධර්මය විකෘති කරන්නන් කියන බව ඉහත දී සැකෙවින් දක්වන ලදී. අනාථ යන තේරුමට අමතර ව
අසාර, අනර්ථ වැනි තේරුම් ද ඔවුන් දක්වනු ලැබේ. එසේ ම අනත්ත ශබ්දයේ විරුද්ධ පදය වන
පාලි අත්ත ශබ්දය අත්ථ වශයෙන් වෙනස් කොට එහි තේරුම සාර, අර්ථ ආදි වශයෙන් දක්වා ඇත.
මෙහි දී ඒ පිළිබඳ ධර්ම කරුණු සමග සන්සන්දනය කෙරේ. අනත්ත පදය විග්‍රහ කරන තැනෙක
අනත්තා
4 සංයුත්තනිකාය 4, රහෝගතසූත්‍රය, 413 පිට
5 පටිසම්භිදාමග්ගප්පකරණය 1, ඤාණකථා, 68 පිට
6 පටිසම්භිදාමග්ගප්පකරණය 1, විපල්ලාසකථා, 506
අසාරකට්ඨෙන 7 යනුවෙන් දැක්වෙන අතර සාරයක් නැති අර්ථයෙන් අනත්ත වේ යැයි දැක්වේ.
මෙබඳු තැන් උදෘත කොට දක්වමින් ‘අනත්ත යන්නෙන් අසාර අර්ථය දැක්වෙන බවත් ඊට අනාත්ම
යනුවෙන් අරුත් දීම බලවත් වරදක් බවත්’ ධර්ම විකෘතිකයෝ පවසති. එහෙත් නිවැරැදිව
ත්‍රිපිටකය පරිශීලනය කිරීමෙන් ඔවුන්ගේ මෙම අදහස කෙ තරම් සාවද්‍ය වූවක් දැයි දැක්ක
හැකි ය.
මෙම ලිපියෙහි තවත් කොටසක්
දුරුතු අව අටවක (ජනවාරි 17)
පත්‍රයේ පළවේ |