[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 50 : මහනුවර ලංකාතිලක විහාරය

මහනුවර ලංකාතිලක විහාරය

පොළොන්නරු රාජධානි සමයේ දී පොළොන්නරුවේ ඇති ලංකාතිලක විහාරය ඉතා ප්‍රකට ය. එමෙන් ම මහනුවර හන්දෙස්සේ පිහිටි ලංකාතිලක විහාරය ද ඉතා ප්‍රකට ය.

රජුගේ මහ ඇමැති සේනාධිලංකාර විසින් මෙම ලංකාතිලක විහාරය ද ගොඩනගනු ලැබුවේ ගඩලාදෙණි විහාරය ගොඩනගන ලද වසරේ දී ම ය. මෙහි ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස ලංකාතිලක විහාරයේ ම ඇති ශිලා ලේඛනයක සඳහන් වේ. ඒ අනුව එම ශිල්පියා දකුණු ඉන්දියාවේ ස්ථපතිරායර් ය. ලංකාතිලක විහාර ගොඩනැගිල්ල මහල් සතරකින් යුක්ත ය. එසේ වුව ද, මේ වන විට දකින්නට ලැබෙන්නේ බිම් මහලත්, පළමුවන මහලේ කොටසකුත් පමණි. කල්යාමේ දී ඉහළ මහලයන් කඩා හැළෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙබඳු කඳු මුදුනක සාදන ලද උස ගොඩනැගිල්ලක අසාමාන්‍ය උස ප්‍රමාණය ද එය බිමට පතිත වීම ට හේතු වන්නට ඇතැයි සැලකේ. එබන්ඳක් සිදු නොවී නම් ගඩලාදෙණි විහාරයේ මෙන් මාලක සාදන්නට ඇතැයි සිතිය හැකි ය. මහාවංසයේ දෙවැනි කොටසේ (චූල වංසය) සඳහන් වන අන්දමට කෝට්ටේ රාජධානියේ රජ කළ හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ අනුග්‍රහයෙන් ගඩලාදෙණි විහාරයේත්, ලංකා තිලක විහාරයේත් සුණුවම් කර ඇත. ලංකාතිලක විහාරය පිළිබඳ සලකා බලන විට එහි නවකම් (සංරක්ෂණය) කළ වෙනයම් කෙනෙකු ගැන සඳහන් වන හෙයින් ලංකාතිලක විහාරයේ සංරක්ෂණ කටයුතු පසළොස්වන සියවසේ දී සයවන පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහයෙන් සිදු කරන්නට ඇති බව අපට පිළිගන්නට සිදු වේ.

කළු ගල් හා ගඩොලින්

කළුගලින් සහ ගඩොල්වලින් සාදන ලද මෙම ලංකාතිලක විහාරය සමතලා නොවූ විශාල ගල්තලාවක් මතු පිට නිර්මාණය කර ඇත. මුලින් ම තිබූ ලංකාතිලක විහාරයේ උස අඩි 80 පමණ විය. බිම් සැලැස්මේ අන්දමට ගොඩනැගිල්ල කතිර හැඩයට නිර්මාණය කර ඇත. චතුරශ්‍රාකාර මෙම පුදබිමට ආවරණය සඳහා සාදන ලද තාප්පය කි. ඒ අනුව තුන් පැත්තකින් ප්‍රදක්ෂිණා පථයකට ඉඩ සැලසේ.

මේ කාලයේ ඉතාමත් ජනපි‍්‍රය සේ වැඳුම් පිදුම් කළ උපුල්වන්, සමන් සහ විභීෂණ යන දෙවිවරුන්ගේ ප්‍රතිමා පිහිටුවන ලද ගර්භ දක්නට ඇත. ඇතුළත ගොඩනැගිල්ලේ බුදු ගෙයි දොරටුව අසල සතර වැනි පැත්තේ ඇති කුටි තුළ කතරගම සහ ගණදෙවි රූප ද වෙයි. ඒ ඒ දේව රූප සමඟ දේවියගේ රූප ද ඇත. මෙසේ ලංකාතිලක විහාරය විහාර මන්දිරයක් වන්නා සේ ම දේවාලයක් ද වන්නේ ය.

(කන්ද උඩරට මහනුවර - මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සෙංකඩගල සහ තදාසන්න ප්‍රදේශයන්හි පෞරාණික ස්මාරක පිළිබඳ ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යානුගත තොරතුරු ඇතුළත් ගවේෂණයකි. පි. 136 - 137 මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශනයකි. 1989)

ලංකාතිලක විහාර නිර්මාණ ලක්ෂණ ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන මතය.

ඒ අනුව මෙම විහාරස්ථානය පොළොන්නරු යුගයේ සිංහල බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ අඛණ්ඩ පරිණාමයක් වුවත්, එයට ඇතැම් අංග හින්දු සහ ඉන්දු, චීන ශිල්පීය ක්‍රමවලින් ඇතුළත් ව බලපෑම් කර තිබේ.

ලංකාතිලක බුදුමැදුරට ඇතුළුවීමට දෙපසින් ගජසිංහ රූප මූර්ති සහිත ශිලාමය පඩි පෙළකි. මීළඟට මකර තොරණකින් ඇතුළුවන ආරුක්කුවක් සහිත බරාදයක් තුළින් යා යුතු ය. මකර තොරණේ නිරූපණය වන ගන්ධර්ව සහ ගජලක්ෂ්මී දැක්වෙන කලාත්මක මෝස්තරය ඉතා සිත්ගන්නා නිර්මාණය කි. මීළඟට මණ්ඩපයටත්, අන්තරාලයටත් පිවිසිය හැකි ය. සිත් ගන්නා සුළු ලතා කර්මවලින් සරසන ලද හකුළාගන්නට හැකි දොරකි. එම දොරටුවෙන් අන්තරාලයට යා හැක. බිත්තියේ දෙපසත්, සීලිමේත් සුවිසි විවරණයෙහි දර්ශන සිතුවම් කර ඇත. මේ ස්ථානයේ සිට බලන විට මකර තොරණ යට පිහිටි විශාල බුදුපිළිමය දර්ශනය වෙයි. ගඩලාදෙණිය බුදු පිළිමයට වඩා මෙම බුදුපිළිමය සැදැහැසිත් ඇති කරවයි. මේ පිළිමය දෙපස හිටි පිළිම දෙක කි. බුදු මැදුරේ සිට පැත්තේ දිසාවන්ට මුහුණලා ඇති කුටි සය දේවාල වශයෙන් සැලකේ. ඉහත සඳහන් දෙවිවරුන් සඳහා මේ දේවාල වෙන් කර ඇත.

මෙම ලංකාතිලක විහාර ගොඩනැගිල්ල ප්‍රථමයෙන් නිම කිරීමෙන් පසුව කලක් ගත වූ විට කිසියම් ආකාරයක වෙනසක් සිදු කළ බවට සාධක හමු වී ඇත. මේ හේතුකොට ගෙන බුදුගෙයත්, සතර වරම් දෙවිවරුන්ගේ කුටිත් එකම වහලයක් යට පසු කලක දී ඉදි කළ බව සිතිය හැකි ය.

බුදු ගෙයට විරුද්ධ පැත්තේ ඇති ලැගුම් ගෙහි කුටියක් තුළ බුද්ධ ප්‍රතිමා සහ තවත් වස්තූන් සහිත පුරාවස්තු රැසකි. ඒ අතර වජ්‍රාසන ලීලාවෙන් නිර්මිත බුද්ධ ප්‍රතිමාවක් ද වේ. හතරවැනි බුවනෙකබාහු රජතුමා තම මාළිගයෙහි වැඩ හිඳුවා වැඳුම් පිදුම් කළ බුදු පිළිමය මෙම විහාරයට පූජා කර ඇත.

ලංකාතිලක විහාර භූමියෙහි දක්නට ලැබෙන දාගැබ සහ බෝධිරාජයාණන් වහන්සේ මෙහි පරිසරයට අයත් සෞන්දර්යය වර්ධනය කරයි. ලංකාතිලක විහාරය කරවීම සඳහා මසුරන් තුන් කෙළ සැටලක්ෂයක් වැය වූ බව සඳහන් වේ.

(ඉහත සඳහන් ග්‍රන්ථය පි. 140)

දුරුතු
පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සිකුරාදා පූර්වභාග 2.34 ට ලබයි. 11 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය ජනවාරි 17 වනදා සිකුරාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]