සාති බමුණාගේ උපක්‍රමය
මහනුවර හන්තාන සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ සුධම්ම හිමි
පින්වත් දරුවනේ, මේ ශ්‍රී ලංකා ධරණී තලය සම්බුදුරජාණන් වහන්සේගේ පහසින් තුන්වරක්
පාරිශුද්ධත්වයට පත් වූ පුණ්‍ය භූමිය යි. එළඹුණු නව වසරේ පළමු පුර පසළොස්වක පොහෝ
දිනයයි අද එළඹී තිබෙන්නේ. අලුත් සිතිවිලි ඇති කරගන්නට, අලුතින් සිල් සමාදන් වෙන්නට
අද පුන් පොහෝ දිනය උපයෝගී කරගන්නට ඕනෑ.
ඒ වගේ ම අපගේ දුර්වලකම් මඟ හරවාගෙන, ගුණ නුවණ වර්ධනය කර ගන්නට අධිෂ්ඨාන කරගන්න ඕනෑ.
ඒ වගේ ම තමන් තුළ යහපත් ගතිගුණ වර්ධනය කරගන්නට ඕනෑ. මේ නව වසරේ බොරු වැඩ නොකර,
නිවැරැදි දේ කරන්නට උත්සාහවත් වෙන්න ඕනෑ.
දරුවනේ, අප ජීවත්වන මේ සමාජයේ මිනිසුන් තුළ විවිධ ගතිගුණ තිබෙනවා. සමහරු තමන්ගේ
දුර්ගුණ, වැරැදි වසා ගැනීමට ඊට හාත්පසින් ම වෙනස් චරිතයක් ලෙස සමාජය ඉදිරියේ
රඟපානවා. ඇතැම්විට ලාබ ප්‍රයෝජන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ගුණවත්, නැණවත්,
සිල්වත් කෙනෙකු සේ සමාජයට පෙන්වන අයත් ඉන්නවා. මේ සමාජයේ වගේ ම බුදුරජාණන් වහන්සේ
ජීවමාන කාලයේත් ඒ වගේ අය සිටියා. දරුවනේ, වැරැදි වැඩ කරන බොහෝ අය අන් අයට පෙනෙන්නට
හොඳින් ඉන්නවා. අද කියා දෙන්නේ එවැනි පුද්ගලයෙක් ගැනයි.
මහා කාරුණික, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගම් නියම් ගම් පාසා ධර්ම ප්‍රචාරයේ වැඩම
කළ බව මේ පින්වත් දරුවො දන්නවා නේද? මේ සිදුවීම වන විට බුදුරජාණන් වහන්සේ වැඩ
සිටියේ විශාලා මහනුවර. ඒ නුවර ආසන්නයේ එක්තරා ගමක වත්පිළිවෙත් නොකරන, දුසිල්වත්
බමුණෙක් වාසය කළා. ඔහුගේ නම ‘සාති’ මැදිවිය ඉක්ම වූ සාති දකින අයගේ නෙත් සිත් පහදන
රූප සම්පත්තියක් තිබූ කෙනෙක්. ඒ වගේ ම ඔහුට වාග්බල සම්පත්තියත් තිබුණා. කතා කළොත්
තව කෙනෙක් පැහැදෙනවා. ඒ වගේම වශී වෙනවා. ආරෝහ පරිණාහ දේහ සම්පත්තියකින් යුතු මේ
බමුණා ද, එකල බමුණන් විසින් ප්‍රගුණ කළ යෝග, වේද ක්‍රම අනුගමනය කළා. එකල චතුර්වේදය
නමින් වේද ග්‍රන්ථ සතරක් තිබුණා. ඉස්සර බමුණන් ඉගෙන ගත්තේ ඒ වේදයයි. තම චිත්ත
ශක්තිය දියුණු කරගෙන, ආශ්චර්යවත් දේ කළ හැකි, අහසින් පවා යන්නට හැකි අය බුද්ධ කාලයට
පෙරත්, බුද්ධ කාලයේත් සිටියා. ඉතින් සටකපට ජීවිතයක් ගත කළ සාති බමුණා, කිසිවෙකුට අත
නොපා, සැප පහසු ලෙස ජීවත්වීමට එක්තරා උපක්‍රමයක් කල්පනා කළා. ඒ අනුව,
දවසක් උදෑසන විශාලා මහනුවර දොරටුව අසල ඇති මහා කුඹුක් ගසකට නැග ගත්තා. දකින අය
පුදුමයටත්, බියටත් පත් කරමින් හිස කඳ පහළට වැටෙන ලෙස දණ හිස නවාගෙන ගසේ අත්තක
එල්ලුණා. එහාට මෙහාට පැද්දුණා. මහ මග යන එන අය එහි නැවතී ඒ දෙස බලා සිටිනවා. බමුණා
මේ විදිහට කියනවා.
“පින්වත් මනුෂ්‍යයිනි. මම කියන දේ හොඳින් අසන්න. මේ ලෝකයේ සිටින මහ බලවත් ම කෙනා මම
යි. සිල්වන්ත කෙනා මම යි. මහා පුණ්‍යවන්තයා මම යි. මා විසින් දියුණු කරන ලද චිත්ත
බලය උපයෝගී කරගෙන මට කළ නොහැකි දෙයක් නෑ. මට සෘද්ධිබල, ප්‍රාතිහාර්ය දක්වන්නට
පුළුවන්. එහෙම නම් හොඳින් දෑස් හැර බලන්න. දණ හිස් නවාගෙන, මෙසේ කඳ පහතට වැටෙන සේ
අත්තක එල්ලී සිටින මා, මේ අත්තෙන් ගිලිහී ඇද වැටුණොත් කුමක් සිදු වේ ද? මාගේ හිස,
කඳ, අත් පා කැඩී සුණු විසුණු වී යා යුතු නොවේ ද? නැත. එසේ නො වන්නේ ය. මහත්
සෘද්ධිබල ඇති මට එම විනාශයෙන් මිදීමට මහා ශක්තියක් තිබෙනවා. ඒ පමණක් නොවෙයි. මට
අවශ්‍ය නම් මේ විශාලා මහනුවර ඇසිල්ලකින් විනාශ කරන්නට පුළුවන්. මාගේ චිත්ත බලයෙන්
තොපගේ අඹු දරුවන්, දේපළ, වස්තුව මොහොතකින් විනාශ කරන්නට පුළුවන්. එසේ නොවී ජීවත්
වීමට ආශාවක් තිබෙනවා නම් මා කියන දෙය වහාම ඉටු කළ යුතුයි.
බමුණා බලා සිටි අයට තර්ජනාත්මකවත්, ගාම්භීරවත් පැවසුවා. ඉන්පසුව සාති බමුණා
මිනිසුන්ගෙන් ඉල්ලා සිටියේ කුමක් ද?
එළඹෙන අව අටවක පෝදා පුවත්පතින් ඒ ගැන දැන ගනිමු
රමණි සුබසිංහ |