උඳුවප් අව අටවක 2019.12.19
හැසිරීම් හසුරවමු
සමෘද්ධිමත් ජීවිතයක් ගත කිරීම අප කාගේත් බලාපොරොත්තුව ය. එවන් ස්ථාවරත්වයක් උදාකර
ගන්නට නම් ජීවිතයට යහපත් ඉලක්කයක් ඇවැසි ය. ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික ආදී සෑම
අංශයකට ම එය පොදු ය. යම් ඉලක්කයක්, ප්‍රාර්ථනාවක්, බලාපොරොත්තුවක් මල්ඵල ගැන්වීමට
නම් අධිෂ්ඨානය, නොපසුබට උත්සාහය, අනලස්බව හා කැපවීම අත්‍යවශ්‍ය ය. එසේ ජීවිත සාර්ථක
කර ගන්නෝ බොහෝ වෙති. දහම් මග යන්නෝ ඒ ජයග්‍රහණය අත්පත් කර ගන්නේ තමන්ට ද, අනුන්ට ද
හිතකාමී වන ලෙස ය. අතීතයට සාපේක්ෂ ව නම් වත්මන් සමාජ පරිසරයෙහි එවැන්නෝ සුලබ
නොවෙති. බොහෝ දෙනෙක් ඉලක්ක හඹායති. ඒවා මුදුන් පමුණුවා ගනිති. එහෙත් ගැටලුව වන්නේ ඒ
ඉලක්ක සපුරා ගන්නා ආකාරයේ ය. බොහෝ කෙනෙකුට යහගුණ ධර්ම අමතක වී ඇති සෙයකි. පරාර්ථය
ඉක්මවා ආත්මාර්ථකාමී සිතිවිලි පෙරට පැමිණ තිබේ.
මිනිස්සු අමනුෂ්‍යයෝ වී යැයි කෙනෙක් කියති. හදවතේ තෙතමනයක් නෑ, අම්මා තාත්තාට
සලකන්නේ නෑ, ගුරුවරු හඳුනන්නේ නෑ, මුහුණේ හිනාවක් නෑ. විපතකදී උදව්වක්, උපකාරයක්
නෑ’ යි විවිධ චෝදනා නගති. වයස් භේදයකින් තොරව කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ම
මේ තත්ත්වයේ වෙනසක් නොවේ. සමාජය මෙලෙස විපරිණාම වූයේ ඇයි? ඊට හේතු සාධක සොයා බලා
ඒවා නිවැරැදි කිරීමට මේ සුදුසුම කාලය යැයි හැඟේ. තව දුරටත් මේ හැසිරීම් ස්වභාවයන්
වර්ධනය නොවිය යුතු බැවිනි.
ධර්මානුකූල පුද්ගලයා මිනිසත්කමට පටහැනි කිසිදු ක්‍රියාවක නිරත වන්නේ නැත. මූලිකව ම
ඔහු පස් පවින් තොර ය. කවර කරුණක දී හෝ සිය ප්‍රතිපත්ති ලාභය වෙනුවෙන්, ආත්මාර්ථය
වෙනුවෙන් වෙනස් නොකරන්නේ ය.
එහෙත් අද අප අත් දකින්නේ තමන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් යන අති
ධාවනකාරී ගමනේ දී අන් අයගේ ජීවිත මායිම් නොකරන ආකාරයකි. කෙනෙක් සෘජුව ම නොවුණ ද
වක්‍රාකාරයෙන් හිංසාකාරී ය. තමන්ගේ ආහාරයට ගන්නා එළවළු, පලා ටික වස විසෙන් තොරව
වවාගෙන, විකිණීම පිණිස වවන බෝගයන්ට ප්‍රමාණය ඉක්මවා වස විස එක් කරන්නේ ලාභය
බලාපොරොත්තුවෙන් ය. කුසගින්න නිවන සහල් ඇටයට පවා සමහර විටෙක වස විස මිශ්‍රකර ඇත.
වෙනදා දැනුණ බතෙහි රස අද නොදැනෙන්නේ ඒ නිසා විය හැකි ය. මේ සරල එහෙත්, සුලබ
උදාහරණයකි.
පන්ති කාමරය තුළ ඉගෙනුම ලබන දරුවන් අතර තරගකාරී බව අධ්‍යාපනයේ ප්‍රගතියට හේතුවකි.
එහෙත් ඒ තරගකාරී බව අද පරිවර්තනය වී තිබෙන්නේ සම්පූර්ණයෙන් ම විපරිණාම තත්ත්වයකට ය.
දිනක් පාසල් නොපැමිණි දරුවෙකුට පසුගිය පාඩමෙහි සටහන් බලා ගන්නට පොතක් පරිත්‍යාග
කරන්නට පවා අද ඇතැම් පුංචි දරුවෝ මැලිවෙති.
ඉඳ සිටින බංකුවෙන් ඈත් මෑත් වී තවත් සමවයස් දරුවෙකුට ඉඩක් දෙන්නට මැලි වෙති. මෙසේ
වූයේ කාගේ වරදින් ද? මේ ආත්මාර්ථකාමී බව දරුවන්ගේ සිත්තුළ වර්ධනය කළෝ කවරහු ද?
දරුවන් විභාගවලට පෙනී සිටින අවස්ථාවන් හි විශේෂයෙන් මව්වරු ඒ කාල සීමාවේ ම දරුවන්ට
ආශිර්වාද කරමින් වෙහෙර විහාරස්ථානයන්ට වී ආගමික වතාවත්හි නිරත වෙති. ඒ ආදරණීය
දරුවාගේ ජයග්‍රහණය වෙනුවෙනි. එය යහපත් ය. එහෙත් ජීවිතයේ ජයග්‍රහණ ලබන්නට දරුවාට
ආශිර්වාදයක් වීමට දරුවා තුළ යහ ගුණ ධර්ම තිබීම ද අත්‍යවශ්‍ය ය.
ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය නැති, මෛත්‍රී සහගත සිතිවිල්ල ම දරුවාට ආශිර්වාදයකි.
පරාර්ථකාමී බව, අනුන්ට කරදරයක් නොවන ස්වභාවය, අනුන්ට උපකාරී වීම තුළ ද ලැබෙන්නේ
වෙසෙස් ආශිර්වාදයකි. ඒ තුළ උපද්‍රව මග හැරේ. අප අලුතින් සිතිය යුතුව තිබේ.
වැඩිහිටියන් ලෙස මුලින් ම ආදර්ශය දෙමින් අපේ දරුවන් නිවැරැදි දිශානතියකට යොමු කිරීම
අපගේ වගකීමකි. ධර්මානුකූල ව යුතුකම්, වගකීම් ඉටු කරනවා නම්, හැසිරීම් හසුරුවා
ගන්නවා නම් යහපත් ලෙස ඉලක්ක වෙත යාම අපහසු නොවේ. රටට අවශ්‍ය එවැනි අනාගතයක් ය. |