[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මපදයෙන් ජීවිතයට: දුරැර තම සෝකය බලයි සෝකී ලෝකය

දුරැර තම සෝකය බලයි සෝකී ලෝකය

පමාදං අප්පමාදෙන
යදා නුදති පණ්ඩිතො
පඤ්ඤාපාසාදමාරුය්හ
අසොකො සොකිනිං පජං
පබ්බතට්ඨො’ව භුම්මට්ඨෙ
ධීරො බාලෙ අවෙක්ඛති

අප්‍රමාදය වහල් කර ගෙන
ප්‍රමාදය පරදන පඬි දන
නුවණ ප්‍රාසාදයට නඟිමින
දුරැර සෝකය සෝක වන දන
කඳු මුදුන සිට පහළ නරඹන
විලස නරඹයි දනන් අනුවණ

භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ නිමිති කොට මේ ගාථාව වදාළ සේක.

එක් දිනක් පිප්පලි ගුහාවෙහි වැඩ විසූ භාග්‍යවතුන් වහන්සේ අලුයම පිබිද, අද ම විසින් කාහට අනුග්‍රහ දැක්විය යුතු දැයි මහා කරුණා සමාපත්තියෙන් ලොව බලා වදාළ සේක. දුප්පත්, පොහොසත් භේදයක් නැතිව, ගොඩබිම, ජලාශය යැයි වෙනසක් නැතිව සමස්ත ලෝ තලයම පීරා බලන භාග්‍යවතුන් වහන්සේ ගේ කරුණා ජාලයට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ලක් වූ හ.

මහ කසුප් තෙරණුවෝ ඒ මොහොතේ සත්ත්වයන් ගේ චුති උත්පත්ති විමසමින් උන් හ. ලෝකයේ විවිධ සත්ත්වයන් උපදිනු, මියයනු, නැවත උපදිනු උන්වහන්සේ ගේ දිවැසට ලක් විය. මෙසේ දිවැසින් විවිධ සත්ත්වයන් ඉපැදෙන මැරෙන විලාසය නිරීක්ෂණය කරමින් උන් මහා කාශ්‍යප මහා ස්ථවිරයන් වහන්සේ දුටු භාග්‍යවතුන් වහන්සේ එම ක්‍රියාව මහා ශ්‍රාවක නමකට අනුරූප නොවන බව පසක් කළ හ. අචින්ත්‍ය වූ සත්ත්ව විෂය ගෝචර වන්නේ බුදු කෙනෙකුන්ට ම පමණි. එහෙයින් මහ කසුප් තෙරුන් එම කාර්යයෙන් වළකාලනු රිසි වූ භාග්‍යවතුන් වහන්සේ මහා කාශ්‍යප හිමියන් අමතා “කාශ්‍යපයෙනි, සත්ත්වයන් ගේ චුති උප්පත්ති පිළිබඳ පූර්ණ වශයෙන් පසිඳ දැනීම ඔබට කළ නො හැක්කේ ය. ජීවත්වන සත්ත්වයෝ මිය ගොස් මාතෘ කුසයක ප්‍රතිසන්ධි ගනිති. ඒ පිළිබඳ ව මව හෝ පියා පවා නො දනියි. සමහරු මවුපියන් නො දැනම මිය යති. එබඳු සත්ත්වයන් ගේ ගණනක්, මිම්මක් නම් නැත්තේ ය. එය ඔබ ගේ විෂය පථය ඉක්මවා සිටියි. ඔබ ගේ විෂය පථය සීමිත ය. සත්ත්වයන් ගේ චුති උප්පත්ති නිරීක්ෂණය බුදුවරයකු විසින් ම කළ හැකි වන්නේ ය. ඔබ වැන්නකු විසින් කළ නො හැක්කේ ය’යි පැහැදිලි කළ සේක.

අනතුරුව මේ කාරණය සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව දේශනා කර වදාළ සේක.

පණ්ඩිතො - ඤාණවන්තයා යදා – යම් කලෙක
අප්පමාදෙන – අප්‍රමාදයෙන් පමාදං - ප්‍රමාදය
නුදති – දුරු කරයි ද ධීරො - නැණවතා
පඤ්ඤාපාසාදං - ප්‍රඥා ප්‍ර‍්‍රාසාදයට ආරුය්හ – නැඟී
අසොකො - ශෝක දුරු කළේ ඉව - මෙන්
සොකිනිං - ශෝක කරන අවෙක්ඛති - බලයි
පජං - ප්‍රජාව දෙස බාලෙ – බාලයන් දෙස
භුම්මට්ඨෙ – පහළ සිටින්නවුන්
පබ්බතට්ඨෙ – පර්වතයක මුදුනට නැඟ ගත් අයෙක්

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා පූර්ව භාග 02.56 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 04 වන දා සඳුදා ය..

මීළඟ පෝය නොවැම්බර් 12 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]