[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් පුර අටවක 2019.11.04

සාරධර්ම රැක ගනිමු


වැවත්, දාගැබත්, ගමත්, පන්සලත් මූලික කරගත්, ඒ හා බැඳුණු වටිනාකම්, හර පද්ධතීන්ගෙන් සමන්විත අභිමානවත් සංස්කෘතියකින් අප රට සෝභාමත් වුණි. ඈත අතීතයේ සිට ම අපගේ මුතුන් මිත්තන්ගෙන් උරුම වූ ඒ වටිනාකම් වර්තමානයේ දී ද ආරක්ෂා කොට අනාගතයට ඉතිරි කිරීම වැඩිහිටියන් ලෙස අපගේ වගකීම වන්නේ ය.

බුදු දහමින් සුපෝෂිත වූ අපේ සංස්කෘතිකාංග උපතේ සිට මරණය දක්වා තමන්ට හිත පිණිස නිර්මාණය වුණි. අනුන්ට ද අහිත නොවන ලෙස නිර්මාණය වුණි. ඒ තුළ දැකිය හැකි වූයේ විනයගරුක, සංවරශීලි, හික්මීමෙන් යුතු ජන සමාජයකි. සරලව කියනවා නම්, මව්පියන් හඳුනන, දරුවන් හඳුනන, සහෝදර සහෝදරියන් හඳුනන, වැඩිහිටියන් සලකන, මිනිසා, මිනිසාට ගරු කරන සමාජයකි. එවැනි පරිසරයක බියෙන්, සැකයෙන් තොර ව ජීවත් වීමේ පහසුව සැලසිණි. මෑත ඉතිහාසය වන තුරු ම අපේ රටේ සූ සැටභරණින් සැරසුණු කාන්තාවකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා දිවා රෑ නොබලා තනිමග ගමන් කළ ද නිරුපද්‍රිත ව ගමනාන්තයට යෑමේ හැකියාව ලැබුණේ ඒ උදාරතර ගුණ සමුදායන් අපේ සමාජයෙහි ස්ථාපිත වී තිබූ නිසා ය. එයින් ්ගම්‍ය වන්නේ අනුන්ගේ දේ කඩා වඩා ගන්නා සංස්කෘතියක් බෞද්ධ සමාජයට නො වූ බව ය. එය කාන්තාවට ගරුකරන, ඇයගේ ආරක්ෂාව තහවුරු කරන ස්ථානයක් වූ බව ය.

එවන් ඈත අතීතයක් ගැන සාඩම්බර වුව ද අපට ඒ ගැන එතරම් සතුටු විය හැකිද?. අපේ සමාජයේ ඇතැමෙක් මව් පියන් නොහඳුනති. තමන්ගේ ම ලෙයින් සැදුණු දූ පුතුන් නොහඳුනති.

තවත් අම්මා කෙනෙක්, තමන්ගේ ම අම්මා හා සමාන කොට දකින්නට ඇතැමෙකුට නොහැකි ය. බිළිඳියගේ සිට වයෝවෘද්ධ මැහැල්ල දක්වා ම වන තාඩන පීඩන වරින් වර වාර්තා වේ. ඒ උදාර සංස්කෘතියෙන් බැහැර ව, විකෘති මනසින් කටයුතු කරන ඇතැම් පුද්ගලයන් දැකගත හැකි නිසා ය. දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කාන්තාවකට තනි මග යනු තබා ඇතැම්විට තමන්ගේ ම නිවෙසේ හෝ තනිව ම කල්ගෙවීම අනාරක්ෂිත වී ඇත්තේ මේ නිසා ය.

වරදට දඬුවම් දුන් පමණින් ඒ පුද්ගලයා බොහෝ විට නිවැරැදි කළ නොහැකි ය. සොරමැරකම් , වංචා, දූෂණ, මත්ද්‍රව්‍ය වෙළෙඳාම් ආදි බොහෝ වැරැදිකොට නීතියෙන්, වරදකරුවන් වී සිරගත වන්නන්ගෙන් ඇතැමෙක් ඉන් නිදහස් වී ආව ද, නැවත වැරැදි කරන ආකාරය පොදු සමාජයට පුදුමයක් නොවේ. මේ නිසා පිළියම් යෙදිය යුතු වැරැදි වීමට මුල් වූ හේතුවට ය.

විශේෂයෙන් කෙනෙක් වරදට පෙළඹෙන්නේ බොහෝවිට කුඩා කල සිට ලැබු ආදර්ශයේ වරදින් ය. එසේ නැතිනම් පාප මිත්‍ර ඇසුරේ වරදින් ය. මේ නිසා විශේෂයෙන් ළමා වියේ යහපත් පරිසරයක් අත්‍යවශ්‍ය ය. මව්පියන් ඊට පූර්වාදර්ශය සැපයිය යුතු සේ ම, ළමයින් ගැන නිරන්තරයෙන් සොයා බැලීම අත්‍යවශ්‍ය ය.

අපේ රටේ වර්තමානයේ කවර ප්‍රදේශයක නාගරික පරිසරයක් විමසුව ද, පාසල් වියේ යොවුන් දූ දරුවන්, විශේෂයෙන් පෞද්ගලික පන්තිවලට සහභාගි වීම සඳහා යන ආකාරය දුලභ නොවේ. මේ දරුවන් මහ මග, බස් නැවතුම් පොළවල දුම්රිය ස්ථානයන්හි රැඳෙන්නේ බොහෝවිට වැඩිහිටියන්ගේ රැකවරණය නැතිව ය. එහිදී නිර්මාණය වන්නේ තමන්ට රිසි අය ඇසුරට ඇති ඉඩ ය. ඒ තුළ ඇතැම්විට මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම, නරක ඇසුරට යොමුවීම, අයහපත් ක්‍රියාකාරකම්වල නියැළීම වැළැක්වීම අසීරු ය . මේ නිසා දරුවන් ගැන මව්පිය විමසිල්ල අත්‍යවශ්‍ය ය. යොවුන්විය බොහෝවිට දඩබ්බර ,අකීකරු, හා අත්හදා බලන වයසකි.

අපේ ඇතැම් පාසල් වියේ දියණිවරුන්ට තමන්ගේ ඇඳුම පැළඳුම, සංවර හැසිරීම ගැන අවබෝධයක් නැත. ඇයගේ අඳුම දැන් බොහෝ වෙනස් ය. හොඳින් ආවරණය කළ යුතු තැන් නිරාවරණය වී ඇත. අසීරුවට තදවන සේ කිටි කිටියේ අඳින ඇඳුම් ඇය යන එන මග අනාරක්ෂිත කරයි. අපහාසයට උපහාසයට හා පහත් ගති ඇති පුද්ගලයන්ගේ රසඳුනට ලක්කරයි.

මෙවැනි දියණිවරු නිවෙසින් එළියට බසිද්දී මව විමසිලිමත්විය යුතු ය. පියා, වැඩිමල් සහෝදරයන් ඇයට අවවාද කළ යුතු ය. බොදු කුල කුමරියකට අසංවරකම, අවිනීතකම කිසිසේත් ම ගෝචර නැත. අනාගතයේ ගුණවත්, නැණවත් දූ පුතුන් රටට දායාද කරන උතුම් මව්පදවිය දරන්නී ද ඇය ය. නිවෙසක් ශක්තිමත් වන්නේ පාදම හොඳ නම් ය. දරුවන් ගුණගරුක ව ගොඩ නගන්නට නම් අම්මා හොඳ පාදමක් නිර්මාණය කර දිය යුතු ය.

පිරිමි දරුවන් ද එලෙස ය. අවිචාරවත් විලාසිතා, සම වයස් මිතුරන් සමඟ අනවශ්‍ය කණ්ඩායම් ගැසීම්, නො කල්හි ගමන් බිමන් තමන්ගේ පෞරුෂයට හානිකර ය. ඇතැම්විට ආරක්ෂාවට ද අහිතකර ය . අපේ ඇඳුම පැළඳුම, ගමන බිමන, කතාබහ, හැසිරීමතුළ සංවරකමට මුල්තැන දිය යුතු ය.මේ බොදු සමාජයකැ’යි ලෝකයට පහසුවෙන් හඳුනාගත හැකි පරිසරයක් නිර්මාණය කළ හැකි අපට ම ය. 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා පූර්ව භාග 02.56 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 04 වන දා සඳුදා ය..

මීළඟ පෝය නොවැම්බර් 12 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]