[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 දැනුමේ දියුණුව හා මනසේ දියුණුව

 දැනුමේ දියුණුව හා මනසේ දියුණුව

" බුදු බණ සංසාර විමුක්තිය සඳහා ම ඉලක්ක වූවක් නිසා එය ඇසිය යුත්තේ ද ඒ ඉලක්කය මුල් කරගෙන යි. අසාර වූ , සංසාරයේ සැරිසැරීමේ ආශාව වැඩි කරවන දේශනා බුදු දහමේ මූලික ඉලක්කයන් සාධනය කර ගැනීමට උපකාරි නො වන බැවින්, එවන් දේශනා දහම තුළ ඉහළින් අගය කර නැහැ."

බුදුබණ අසන විට මිනිසුන්ට සංසාරයේ ඇති අසාරත්වය සිහිවූවාට, ධර්මය ඇසීම අවසන් වූවාට පසු එය බොහෝ විට අමතක කරනවා. ඒ නිසා සසරින් මිදීමේ ප්‍රතිපදාවට නැඹුරු වන්නේ නැහැ. දැනුම බාහිර යි. අවබෝධය අධ්‍යාත්මික යි. අදාළ පුහුණුවකින් තොරව බාහිර දැනුමකින් පමණක් අධ්‍යාත්මික අවබෝධයක් ඇති කර ගන්නට බැහැ.

දැනුමේ දියුණුව සහ මනසේ දියුණුව අතර විශාල පරතරයක් තිබෙනවා. දැනුමේ දියණුවෙන් උගතුන් බිහි වෙනවා. භෞතික සැප පහසුකම් සලසා ගන්නට එම උගත්කම් උපකාරි වෙනවා. දැනුම කියන දේ මිනිසුන්ට, සතුන්ට, ඇතැම් විට ගස්වැල්වලට පවා තිබෙනවා. ඒ දැනුම ඔවුනොවුන්ගේ පැවැත්මට උපකාරී වෙනවා. නමුත් මිනිසාගේ දැනුම විවිධ පැතිකඩ ඔස්සේ විසිරී යන එකක්. මිනිසාගේ දැනුම වර්ධනය කර ගත හැකි එකක්. පොදුවේ ගත් කල මිනිසා දැන උගත්කම්වලින් පොහොසත්. ඒ දැනුම වැරැදි දෙයට යොමු කරවීම නිසා මිනිසාගේ සතුට ටිකෙන් ටික මිනිසා අතහැර යන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ තමන් සතු දැනුම නිසි ලෙසින් යොදවන්නට අවැසි ප්‍රඥාව මිනිසා වෙතිින් ගිලිහී යාම එයට හේතුව වශයෙන් දැක්විය හැකියි.

අපේ බුදුපියාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව සුව, පරලොව සුව සහ නිවන් සුව පිණිස මඟ පෙන් වූ උත්තමයෙක්. ඒ නිසයි උන්වහන්සේට “සත්ථා දේව මනුස්සානං” යන බුදුගුණ නාමය භාවිතා කරන්නේ. උන්වහන්සේ අපට කියා දුන්නේ මෙලොව, පරලොව සුවය සලසා ගන්නා ආකාරය පමණක් නො වෙයි. නිවන් සුවය පිණිසත්, උන්වහන්සේ අපට ධර්මය දේශනා කළා. මෙලොව සහ පරලොව සුව ලෞකික යි. නිවන් සුව ලෝකෝත්තර යි. බුදුපියාණන් වහන්සේ අපට ඒ ලෝකෝත්තර සුවය සලසා ගන්නා ආකාරය ද කියා දී තිබෙනවා. බෞද්ධයාගේ මූලික ඉලක්කය නිවන නිසා ඒ නිවන පිණිස උපකාරි වන ධර්මය ද අප විසින් නිරන්තරයෙන් ඇසිය යුතු වෙනවා. අනුගමනය කළ යුතු වෙනවා. එවන් ධර්මයක් අසන තරමටයි චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට හැකිවන්නේ.

නිර්වාණගාමී ධර්මය අසා දැන ගැනීම තුළින් ද සිදුවන්නේ තමන්ගේ අඩු ලුහුඬුකම් නැතිකර ගනිමින්, තම ජීවිතය තුළ ඇති වැරැදි, නිවැරැදි කර ගනිමින්, ඒ තුළින් ධර්මය අවබෝධ කර ගැනීමට කරනු ලබන උත්සාහයක්. අසන බණ තමන්ගේ අධ්‍යාත්මික ජීවිතයට ගලපා ගෙන පුහුණුවීම ද අත්‍යවශ්‍ය කාරණාවක්. බොහෝ දෙනා ධර්මය ඇසුවාට පුහුණුවේ යෙදෙන්නේ නැහැ. අසන බණ පදයක් වුව, අවබෝධයෙන් යුතු ව ගැඹුරින් හිතුවොත්, අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය තුළින් දකින්නට උත්සාහ කළොත් එය ම නිවනට හේතු වෙනවා.

තථාගත ශ්‍රී සද්ධර්මය අප විසින් දැනගත යුතුවන්නේ ජීවිතාවබෝධය පිණිස ම යි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ජීවිතාවබෝධයට පත් වන්නට උන්වහන්සේ විසින් දේශනා කරන ලද සුවාසු දහසක් ධර්මස්කන්ධය ම අප විසින් ඇසිය යුතු වන්නේ නැහැ. බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේගෙන් ඉතා කෙටි දේශනාවක් අසා, ගාථාවක් අසා, වාක්‍යයක් අසා නිවන් සුව සලසා ගෙන ඇති ආකාරය අප කොතෙකුත් අසා තිබෙනවා. එහෙම වුණේ ඒ තැනැත්තාගේ අවබෝධයට උපකාරි වන නියම බණ පදය නියම තැනදී සිතට ලැබීම නිස යි. නමුත් අප අසන සෑම බණ පදයක් ම එලෙසින් හැම මොහොතේ ම අපගේ සිතට ලැබේවි යැයි කියන්නට බැහැ. ඒ නිසා අවබෝධයට උපකාරි වන සෑම බණ පදයක් ම අසන්නට ලැබුණොත් අත නොහැර ඇසිය යුතුයි. ඒ ඇසීම කෙ දිනක හෝ අපගේ අවබෝධයට උපකාරි වෙනවා.

ඇතැමෙක් බණ අසන්නේ තමන්ගේ දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා පමණ යි. ඇතැමෙක් තමන් දන්නා බව අනුනට පෙන්වීමට යි බණ අසන්නේ. ඇතැමෙක් තමන් සතු ධර්ම ඤාණය තුළින් මානය ද උපදවා ගන්නවා. එවන් අයට දැනුමෙන් පමණක් සෑහීමට පත් වන්නට සිදු වෙනවා. හේතුව ඔවුන් ධර්මය පරිහරණය කරන්නේ කෙලෙසුන්ට මුසුවෙලා වීමයි. කෙලෙස් සහිත දැනුම අවබෝධයට උපකාරි වන්නේ නැහැ. ඒ නිසා දහම අසන හැම මොහොතකම සිත කෙලෙසුන්ගෙන් පිරිසුදු කර ගන්නට උත්සාහවත් වන්නට ඕනෑ. එවිටයි අවබෝධයට පත් වන්නේ. එසේ කටයුතු කරපු අය තමයි ධර්මය අසද්දී ම මඟඵල අවබෝධ කරගෙන තිබෙන්නේ.

ඇතැමෙක් බොහෝ ධර්මය නො ඇසුවත් බණ දන්නා බව හඟවනවා. එය තමන් ම මුළා කර ගැනීමක්. ටිකක් දැනගෙන ගොඩාක් දන්නා බව හඟවන්නා ලෝකය ගැන නිසි අවබෝධයක් ඇති කෙනෙක් නොවේ. මේ ලෝකය තුළ ජීවත් වන සාමාන්‍ය මිනිසෙකු තමන් සියල්ල දන්නවා යැයි පවසන්නේ නම්, එය ම ඒ මිනිසාගේ නො දන්නාකම යි. පුහුදුන් සමාජයේ සිටින කිසිවෙක් සියල්ල දන්නේ නැහැ. නමුත් ලෝකයේ සිටින සැවොම යමක් දන්නවා. හැබැයි සැවොම දන්නා සෑම දෙයක් ම අවබෝධයට උපකාරි වන්නේ නැහැ. අවබෝධයට උපකාරි වන දේ නම්, එසේ සැමට පහසුවෙන් දැන ගත හැකි දෙයක් නො වෙයි. එය අපහසුවෙන් ලැබෙන, අමාරුවෙන් තේරුම් ගත යුතු දෙයක්. ඒ දේ ටිකක් වුවත්, ගොඩක් වුවත් අවශ්‍ය වන්නේ ප්‍රමාණවත් පුහුණුව සමගින් කටයුතු කිරීම යි. අප උත්සාහ කළ යුත්තේ අදාළ පුහුණුව තුළින් ඒ අවබෝධයට උපකාරි වන දේ වටහා ගැනීමට යි.

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා පූර්ව භාග 02.56 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 04 වන දා සඳුදා ය..

මීළඟ පෝය නොවැම්බර් 12 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]