[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 49 : කඨින පින්කමේ මනෝවිද්‍යාත්මක පදනම

තෙවළා බුදු වදන් අතරින් 49 :

කඨින පින්කමේ මනෝවිද්‍යාත්මක පදනම

" යම් පුණ්‍ය ක්‍රියාවක් ස්වාධීන ව සිදුකිරීමේ දී එම පුද්ගලයා තුළ සොම්නස් සහගත වූ, කර්මඵල විශ්වාසය පදනම් කරගත් හැඟීමක්, කල්පනාවක්, සිතිවිල්ලක් ඇතිවන්නේ නම් එය කාමාවචර කුසල සිත යි. මෙම සිත් අටෙන් පළමු සිත අතිශය ප්‍රබල ය. එයට හේතුව බාහිරකඨින පින්කමේ මනෝවිද්‍යාත්මක පදනමබලපෑමකින් තොර එය සිදුවෙන නිස යි."

කඨින චීවර පූජා පින්කම අයත් වන්නේ අටමහ පින්කම් ගණයට ය. අට මහ පින්කම් යනුවෙන් හැඳීන්වෙන්නේ කඨින චීවර පූජාව. අටපිරිකර පූජාව. ආවාසයක් හෝ කුටියක් සකස්කොට පූජා කිරීම. බුදුරදුන් ප්‍රමුඛ සංඝරත්නයට පූජා කරන සංඝික දානය, ධර්මය ලියවීම හෝ ධර්ම ග්‍රන්ථ මුද්‍රණය කරවීම, ඛෙත්ත දාන හෙවත් ඉඩකඩම් පූජා කිරීම, පිළිම කරවීම, සංඝරත්නය උදෙසා වැසිකිළි කැසිකිළි සකස්කොට පූජා කිරීම ආදිය යි. වස්සානය මූලික කරගෙන සිදු කරන චීවර පූජා පින්කමට සමගාමීව ඇතැම් විටෙක මෙම පින්කම් සිදුකරනු ලැබේ.

මෙම අටමහ පින්කම් අතුරෙන් කීපයක් වුව සිදුකර තිබීම කෙනෙකුගේ පරලොව හිත සුව පිණිස වැදගත් වේ. කඨින පින්කමක පවතින මනෝවිද්‍යාත්මක පදනම අභිධර්ම පිටකය අනුව පැහැදිලි කළ හැකි ය. කඨින චීවර පින්කම කාමාවචර කුසල කර්මයකි. සිත පිළිබද විස්තර විවරණ ඉදිරිපත් කෙරෙන අභිධර්මයෙහි කාමාවචර සිත් අටක් දැක්වේ. මෙම සිත් ඇතිවන්නේ දස පුණ්‍යක්‍රියා පදනම් කර ගෙන ය. දස පුණ්‍ය ක්‍රියාවලට අදාළ කවර හෝ පින්කමක් සිදුකිරිමේ දී මෙම කාමාවචර කුසල් සිත් අටෙන් එකක් ඇති වේ. එම සිත් අට ඇතිවීම කෙරෙහි බලපවත්වන්නේ දස පුණ්‍ය ක්‍රියා හා සම්බන්ධ කුසල චේතනාවන් ය. එම චේතනා අනුව එක් සිතක් කොටස් දහයකට බෙදේ. ඒ අනුව දස පුණ්‍ය ක්‍රියා මූලික කරගෙන කාමාවචර කුසල් සිත් අසූවක් පහළ වේ. එමගින් කාමාවචර කුසල සිත කොතරම් බලවත්, එමෙන් ම සංකීර්ණ ද යන්න පැහැදිලි වේ.

කාමාවචර කුසල් සිත් අතර පළමුවැන්න“සෝමනස්ස සහගත ඤාණ සම්පයුක්ත අසංඛාරික කාමාවචර කුසල සිත” යි. සෝමනස්ස යනු පින්කම සිදු කරන අවස්ථාවෙහි මනසේ පවතින සොම්නස හා සතුට යි. කිසියම් පුණ්‍ය කර්මයක් අවංක ව මෙන් ම සතුටින් කරන්නේ නම්, එය සෝමනස්ස සහගත නම් වේ. ඤාණ සම්පයුක්ත වීම යනු එම කුසල හෝ පුණ්‍ය ක්‍රියාව හා සම්බන්ධ කර්මය හා එහි ඵලය පිළිබඳ ඇති කර ගන්නා විශ්වාසය යි. නැතහොත් අවබෝධයයි. කිසියම් පුණ්‍ය කර්මයක් සිදුකරන විට එහි යහපත් විපාක තිබේ යැයි විශ්වාස කිරීම හා පිළිගැනීම එයින් තවදුරටත් අදහස් වේ. කෙනෙකුගේ සිතෙහි ඇතිවෙන මෙම නුවණැති අවබෝධය “කම්මස්සකතා සම්මා දිට්ඨි” යනුවෙන් හැඳින්වේ. අසංඛාරික යනු තමා විසින් ම තම සිතේ හටගත් පින් සිතිවිල්ලක් හෝ කුසල සිතිවිල්ලක් ක්‍රියාත්මක කිරීම යි. මෙසේ අන්‍යන්ගේ බලපෑමෙන් තොරව, තමා විසින් ම, නුවණින් මෙනෙහි කොට සිදු කරන පින්කම අසංඛාරික කාමාවචර කුසලය කි. කාමාවචාර කුසලය යනුවෙන් අදහස් කෙරෙන්නේ කාමසුගති යනුවෙන් හැඳීන්වෙන සදෙව් ලොව හෝ මනුෂ්‍ය ලෝකයේ උපත ලබාදීම ට උපනිශ්‍රය වන කර්මය යි. මේ අනුව යම් පුණ්‍ය ක්‍රියාවක් ස්වාධීන ව සිදුකිරීමේ දී එම පුද්ගලයා තුළ සොම්නස් සහගත වූ, කර්මඵල විශ්වාසය පදනම් කරගත් හැඟීමක්, කල්පනාවක්, සිතිවිල්ලක් ඇතිවන්නේ නම් එය කාමාවචර කුසල සිත යි. මෙම සිත් අටෙන් පළමු සිත අතිශය ප්‍රබල ය. එයට හේතුව බාහිර බලපෑමකින් තොරව එය සිදුවෙන නිස යි. කුසල සිතක බලය හා ශක්තිය තීරණය කෙරෙන දෙවන කරුණ වන්නේ ,නැණවත් අවබෝධය යි. නුවණින් මෙනෙහිකොට, අවබෝධයෙන් යුතුව, යම් පින්කමක් කරන්නේ නම්, එම අවස්ථාවෙහි ඇතිවන කාමාවචර කුසල සිත බලවත් එක කි. දස පුණ්‍යක්‍රියාවන් ට අදාළ ව සිදු කෙරෙන සෑම පුණ්‍ය කර්මයක දී ම මෙම කුසල සහගත සිත ඇති වේ. බුද්ධ දේශනාව අනුව කර්මය යනුවෙන් අදහස් වන්නේ

චේතනාව යි (චේතනාහං භික්ඛවේ කම්මං වදාමි). කෙනෙකු යම් යහපත් චේතනාවකින්, මෙහෙයවීමෙන් කයින්, වචනයෙන් හෝ මනසින් යම් කුසල කර්මයක් සිදුකරන්නේ නම්, එය සචේතනික ව ම සිදුවෙන නිසා ප්‍රබල විපාක සහිත එකක් බවට පත් වේ. යම් කෙනෙකුගේ මනසෙහි මාස තුනක කාලයක් තිස්සේ, අඛණ්ඩ ව එකම ආකාරයේ කුසල සිතක් ඇතිවන්නේ නම් එය ආචිර්ණ කර්ම ගණයට හෙවත් නිතර පුහුණු කරන ලද යහපත් කර්මයක් බවට පත් වේ. එය එතරම් ප්‍රබල වන්නේ හොඳින් හිතාමතා ම සිදුවෙන නිස යි. තමා කළ එවැනි පින්කමක් මරණාසන්න මොහොතෙහි සිහියට නැගීමෙන් මරණින් මතු ජීවිතය සුගතිගාමී එකක් බවට පත්කර ගැනීමේ හැකියාව තිබේ.

වස්සානය හා කඨින චීවර පූජා කරන සමයෙහි ඒ හා සම්බන්ධවන දායකයාගේ හෝ දායිකාවගේ මනස, ඒ කෙරෙහි ප්‍රබලව යොමුව තිබෙන හෙයින්, ඔහුගේ හෝ ඇයගේ සිතෙහි ප්‍රබල කාමාවචර කුසල සිතිවිලි නිරන්තරයෙන් ම ඇති වේ. එම කාලසීමාව තුළ, ඒ සඳහා යොමුවන, දායකයාට හෝ දායිකාවට සැම විට ම ඉහතින් දැක් වූ අටමහ පින්කම් හා දස පුණ්‍ය ක්‍රියාවලට අයත් පිළිවෙත්වල යෙදීමෙන් තම කුසල සිත ශක්තිමත් එකක් බවට පත් කර ගත හැකි වේ. කාමාවචර කුසල සිත බලවත් වූ පමණ ට ම එහි විපාක ද බලවත් වේ. ඉහතින් දැක්වූ කවර පින්කමක් සිදු කළ ද, ඒ සඳහා වැය කෙරෙන ධනය අනුව නොව එහි බලවත් බව තීරණය වන්නේ, ඒ සඳහා යොමුවන පුද්ගලයාගේ සිත කොතෙක්දුරට ලෝභ, දෝස, මෝහ මූලික කරගත් අකුසල චේතනාවලින් තොරව පවතී ද? යන්න මත ය. වස්සානය හා කඨිනය හා සම්බන්ධ සමස්ත කාල සීමාව තුළ මනස අකුසල අරමුණුවලින් යටපත් වීමට ඉඩ නොතබා සැම විට ම යෝනිසෝමනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීමෙහි ලා යොමුකරන්නේ නම්, එම පින්කම වුව ද දුගතියෙන් මිදීමට ප්‍රමාණවත් වේ. මෙම මනෝවිද්‍යාත්මක පදනම අනුව කඨින වීවර පූජාව මහත් ආනිසංස දායක ප්‍රබල කාමාවචර කුසල කර්මයක් ලෙස නම්කළ හැකි ය.

කඨින චීවර පූජාව හා සම්බන්ධ වැදගත් චාරිත්‍රයක් වන්නේ කඨින පෙරහර යි. ඒ යටතේ කෙනෙකු සියතින් සකස් කළ චීවරය, මහත් ගෞරවයෙන් යුක්තව පෙරහරකින්, විහාරස්ථානය ට රැගෙන ගොස් පූජා කිරීම සිදු වේ. මෙම පෙරහර හා සම්බන්ධ ඇතැම් අංග දෙස විමසිලිමත් ව බලන, ධර්මයට ලැදි අයෙකුට ඇතිවන්නේ සංවේගය කි. තෙරුවන් පිදීම උදෙසා වෙන් වූ වටිනා ආගමික චාරිත්‍රයක් වාණිජ කරණය වී තිබේ. ඉතා සංයමයකින් සිදුකළ යුතු ආගමික චාරිත්‍රයක් වන කඨින පෙරහර හා සම්බන්ධ ආධ්‍යාත්මික අරමුණු අමතක කොට, එය බහුරූ කෝලම් සහිත එකක් බවට ඇතැම්විට පත්ව තිබෙනු දක්නට ලැබේ. නාගරික ප්‍රදේශවල සිදු කෙරෙන ඇතැම් කඨින පෙරහරවල මෙම බහුරූ කෝලම් බෙහෙවින් ඇතුළත් ව තිබේ. ඇතැම් විට එය අවසන් වන්නේ මත් වීමෙන් ය. එසේ ම අසල්වැසියන්ට මහත් කරදරයක් වන ආකාරයෙන් ය. බොහෝ ව්‍යාපාරිකයන් කඨිනයේ ආධ්‍යාත්මික අරමුණු ගැන නොසිතා පෙරහර අලංකාර කිරීමට දහස් ගණන් මුදල් වැය කරමින් කාලය ගත කරනු පෙනේ. එසේ කිරීමෙන් ඔවුන් අපේක්‍ෂා කරන්නේ තම ව්‍යාපාරික අරමුණු හා වත්පොහොසත්කම් සමාජය ඉදිරියේ විදහා පෑම යි. ඇතැම් විටෙක අධර්මයෙන් ධනය උපයාගත් අයෙකුට තම කුණු සෝදාගෙන සමාජය ඉදිරියේ සාධු ජනයා වෙන්නට වර්තමාන කඨින පෙරහර තොටුපලක්

වී තිබේ. ඇතැම් විට දැහැමි දුප්පතෙකු ට කිසි දිනෙක කඨින පූජාවක් කළ නොහැකි තරමට ම ඒ හා සම්බන්ධ පිළිවෙත් වාණිජකරණය වී තිබේ. මේ සඳහා ඇතැම් අවස්ථාවල දී පැවිදි සමාජයෙන් ද කිසියම් අනුබලයක් ලැබෙන බව දක්නට පුළුවන. කඨින පෙරහර ඉතා චාම්, එසේ ම තෙරුවන් ගුණ අනුස්මරණය කරමින් සිදු කළ යුතු ආගමික පිළිවෙතකි. එය පදවීථිහාර කුසලයට අයත් චාරිත්‍රය කි. එහෙත් එය වර්තමානයේ සමහර විටක කෙලෙස් සහගත හැඟීම්වලින් කිලිටි වී තිබේ. කඨින පෙරහරක රැගෙන යා යුත්තේ චීවරය පෙරටු කර ගත් මල් හා කිරිපිඬු සහිත බුද්ධ පූජාව යි. සුදු වතින් සැරසී උදෑසන ම විහාරස්ථානයට ගොස් අලුයම කිරිපිඬු හා මල් පහන් පුදා පිරිත් දේශනා කොට මෙත් වඩා ,දෙවියන්ට හා මළගිය ඤාතීන්ට පින් අනුමෝදන් කෙරෙන වතාවත් පෙරහර අවසානයේ සිදුකළ යුතු කාර්ය වේ. අසිරිමත් පෙරහරක ගමන් කළ යුත්තේ සුදුවතින් සැරසී බුදුගුණ ගායනා කරමින්, සුදුමල් හා කොඩි මෙන් ම පිරිසුදු පූජා ද්‍රව්‍යය ද අතැතිව ය. එකී අරමුණ පෙරදැරි කරගෙන යි පෙරහර සංවිධානය විය යුත්තේ. එහෙත් වර්තමානය වනවිට කඨින චීවර පූජාවේ වටිනාකම කඨින පෙරහරට වියදම් කෙරෙන ධනයේ හා එහි ගමන් ගන්නා පිරිසේ ප්‍රමාණයෙන් මනින්න තරම් ඇතැම් බොදුනුවන් පිරිහී තිබෙනු දක්නට ලැබේ. එබැවින් නුවණ මෙහෙයවා තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් සිදුකළහොත් කඨින පූජා පින්කම මහත්ඵල ගෙන දෙන පුණ්‍ය කර්මය කි.

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා පූර්ව භාග 02.56 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 04 වන දා සඳුදා ය..

මීළඟ පෝය නොවැම්බර් 12 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk