[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මේ වස්සාන කාලයයි - 13: කුසල් මගට සිත

මේ වස්සාන කාලයයි - 13:

කුසල් මගට සිත

මේ තිස් නම මාර්ගඵලාවබෝධය ලැබූ උතුමන් බැවින් ජීවිත ඉන්ද්‍රියෙහි වෙනස්වීමක් පිළිබඳ ව දෝමනස්සයක් ඇති කර නොගත් බව පැහැදිලියි. එනම් ආහාර පාන හිඟයකින් හෝ මනා ලෙස චීවර සකස් නොවීමකින් හෝ ඇලීමක් හෝ ගැටීමක් සිදු නොවූ බව පැහැදිලියි.

ඒ නිසා ම උන්වහන්සේලාගේ පිළිතුර වූයේ ජීවිත ඉන්ද්‍රිය පහසුවෙන් පැවැත් වූ බවයි. ඉන් අදහස් කරන්නේ රූප වශයෙන් ගන්නේ නම්, යම්තම් ලද ආහාරයකින් නමුත් කුස පිරෙන්නට පානය කළ පැන් ටිකකින් නමුත් උන්වහන්සේලා ආයු ශක්තිය පවත්වා ගන්නට රූපය ශක්තිමත් කරගත් බවයි. ඒ වගේ ම අරූප ජීවිත ඉන්ද්‍රිය පිළිබඳ ව සඳහන් කිරීමේ දී උන්වහන්සේලා වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන සතර ඉන්ද්‍රියයන් ද මනාකොට ධර්මය මෙනෙහි කිරීමේ ස්වභාවයක පවත්වාගත් බවත් පැහැදිලියි.

පඨවි ආදී ධාතූන්ගෙන් සකස් වූ රූපයත් ගිලන්වෙන්නට නොදී, යම් වූ ද ආහාරයකින් සුදුසු පරිදි විනයට අනුව යැපී, මානසික ස්වභාවය දියුණු කරගෙන, අනිකුත් ස්කන්ධයන් ද පහසුවෙන් පවත්වාගෙන ධර්ම මනසිකාරයකින් ම කටයුතු කළ බව පැහැදිලියි. ඒ නිසා ම උන්වහන්සේලාට බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු සංඝයා අතර ඇතිවිය යුතු එක්ව වාසය කිරීමේ සම්මුතිය පිළිබඳ ව ගැටලුවක් ඇතිවිය නොහැකියි. ඒ සම්මුතිය නම් කුමක් ද? “සමග්ගා සම්මෝද මානා අවිවාදමානා, ඛීරෝදකී භූතා අඤ්ඤමඤ්ඤං ප්‍රිය චක්ඛු හි සම්පස්සන්තා විහරාම”

“සමග්ගා” සමගියෙන්, “සම්මෝදමානා” සතුටු සිතින් “අවිවාදමානා” වාද විවාදයන්ගෙන් තොරව, “ඛීරෝදකී භූතා” – කිරියි වතුරයි මෙන්, “අඤ්ඤමඤ්ඤං ප්‍රිය චක්ඛු හි සම්පස්සන්තා” – ඔවුනොවුන් කෙරෙහි ප්‍රිය දෑසින් බලමින් “විහරාම” – වාසය කරති යන අදහසයි. ධර්ම මාර්ගයතුළ සැනහෙන මේ භික්ෂූන් වහන්සේලා ද සිව් පසයේ අපහසුකම් පැවතුණත් උන්වහන්සේලා, උන්වහන්සේලා කෙරෙහි ඇති කර ගත්තා වූ ඉරියාපථය හෙවත් ඉරියව්, ඇවතුම්, පැවතුම් පැවැත්වීම පිළිබඳව සිත සැනසෙන අදහස් පෙළ එසේ විය හැකියි.

නොලැබුණු යමක් වෙනුවෙන් පැමිණිලි කිරීමට වඩා දහමේ පෙන්වා දෙන යථාලාභ සංතුෂ්ටිය නම් ධර්මානුකූල මඟක ලද දෙයින් සතුටු වීමයි. භික්ෂූන් වහන්සේ නමක් වූවත් , ලද පිණ්ඩපාතයෙන්, ලද සිවුරෙන්, ලද සේනාසනයෙන්, ලද ගිලන්පසින් සතුටුවිය යුතු බව, සැනසිය යුතු බව “නිස” සමාදන්වීම ලෙස ධර්ම කතාවේ පෙන්වා දී තිබෙනවා. ඉතරීතර පිණ්ඩපාත, ඉතරීතර චීවර, ඉතරීතර සේනාසන, ඉතරීතර ගිලානපච්චය නම් වූ වචනවලින් එය පෙන්වා දී තිබෙනවා.

මේ භික්ෂූන් වහන්සේලා තුන්මාසයක් පුරා ඇති වූ සාමාන්‍ය ලෝකයේ එවැනි අපහසුකම් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේට නොදන්වා සිතේ හටගත්තා වූ අවංක වූ පිළිවෙත් මාර්ගය උන්වහන්සේලා සඳහන් කළේ සමගිව, සතුටුව, ඔවුනොවුන් හා කිසි විවාදයක් නැතිව ය. වස් විසීම හා ආහාරයෙන් ක්ලාන්ත නොවී කාලය ගත කළ බවයි. එතකුදු වූවත් භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස සැවැත් නුවරට එන්නා වූ අපි වස් එළැඹෙන දවස් පැමිණි හෙයින් සැවැත් නුවරට පැමිණෙනු නොහැකි ව අතරමඟ සාකේත නුවර වස් එළැඹුණෙමු. ඉක්බිති සියලු ලෝකයා කෙරෙහි පතළ වූ මහාකරුණා ගුණ ඇති භාග්‍යවතුන් වහන්සේ මෙම කාරණයේ දී ඒ භික්ෂූන් වහන්සේට අනමතග්ගිය කතාව හෙවත් අනවරාග්‍ර දේශනාව සිදු කොට භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට වදාළා.

අනමතග්ගිය කතාව නම් කෙළවරක් දකින්න නැති මේ දිගු සංසාර ගමනේ ඇති භයානක ස්වභාවයයි. කෙළවරක් නොපෙනෙන මේ සසර ගමනෙහි කර්මානුරූප ව රූප වේදනා, සංඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පංචකය නැවත නැවත සකස්වෙමින් පුනර්භවය සිදු වී දුකෙහි ම ගැටෙමින්, දුකෙහි ම ගිලෙමින් පවත්වන සසර පිළිබඳව, භවය පිළිබඳ කතාවයි.

කුමක් හෙයින් භික්ෂූන් ඇමතූ සේක් ද? යත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ කුමක් හෙයින් ද? ඉතින් මා විසින් කඨිනාස්තරණය පනවන ලද්දේ වී නම් මේ භික්ෂූහු එක් සිවුරක් තැන්පත් කොට තබා අන්තර්වාසික උත්තරාසංඝ පමණකින් එන්න හැකි වී නම් මෙසේ ක්ලාන්ත බවක් නොපැමිණෙන්නාහු ය. නොහොත් තම තමන්ගේ විහාරයට පැමිණ තැන්පත් කොට තබා ආ සිවුර පොරවාගෙන සුවසේ වාසය කරන්නාහු ය.

යළිත් කඨිනාස්තරණය සියලු බුදුවරයන් විසින් පණවන ලද්දේ ය, යැයි එසේ සිතා කඨිනාස්තරණය අනුදැන වදාරනු කැමැති සේක්. භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. “මහණෙනි, වස්විසූ භික්ෂූන්ට හෙවත් පෙරවස් වසා මහා පවාරණයෙන් පැවරූ හෝ යම්කිසි අන්තරායකින් නොපැවරූ හෝ භික්ෂූන්ට කඨිනාස්තරණය කරන්නට අවසර දෙමි. මහණෙනි, කඨිනාස්තරණය කළ නුඹලාට මේ මතු දක්වන අනුසස් පහක් ලැබෙන්නේ යන අදහසයි.

මෙහි දී අතිරේක සිවුරක කතාව අප තේරුම්ගත යුතුයි. වර්තමානයේ බුද්ධ ප්‍රඥප්තියට අනුව කටයුතු කිරීමක් විනා බොහෝ භික්ෂූන් වහන්සේලාට, එවැනි අවශ්‍යතාවයක් ඇති නොවන බව පැහැදිලියි. ඊට වඩා බොහෝ සිවුරු පරිස්කාර ලැබෙන නිසා යි. කෙසේ වෙතත් බහුභාණ්ඩික හෙවත් බොහෝ චීවර පරිහරණය වර්තමානයේ වූව ද ධර්ම විනයට නොගැළපෙන බව සිහිපත් කළ යුතුයි. නමුත් එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දවස තුන් සිවුර හැර උන්වහන්සේට අතිරේක සිවුරක් නොතිබුණු නිසා ක්ලාන්ත වන ස්වභාවයට, වැස්සෙන් තෙමෙමින්, තෙමුණු සිවුරු පොරවාගෙන උන්වහන්සේලාට කල්ගත කරන්න සිදු වුණා. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් අතිරේක සිවුරක් පවත්වා ගන්නට අවසර දෙමින් ඒ සිවුර වෙනම තැන්පත් කොට තබා ගැනිමෙන් තමන් අන්තරවාසකයෙන් හා උත්තරාසංඝයෙන් පමණක් අදනකඩයෙන් හා උඩු සිවුරෙන් පමණක් යුතුව පැමිණ තෙමුණු එවැනි සිවුරු ඉවත්කොට අතිරේකව තැන්පත් කොට තිබූ සිවුර පොරවාගෙන පහසුවෙන් වාසය කරන්නට අවස්ථාව සැලසුණු බවයි.

වර්තමානයේත්, කඨිනාස්තරණය හෙවත් , චීවරයක් වස්සානයේ අවසානයේ පූජා කරන්නේ එම විනය ප්‍රඥප්තිය අනුවයි. වර්තමානයේ ඒ විනය ප්‍රඥප්තියක් සේ ම චාරිත්‍රයක් හැටියටත් සිදු කරන බව ඉතාම පැහැදිලියි. මේ විනය ප්‍රඥප්තිය චාරිත්‍රයක් හැටියට පැවැත්වූවත් භාග්‍යවතුන් වහන්සේ විසින් අරමුණු කරන ලද සීල සමාධි, ප්‍රඥා, ගුණ වඩන ශාසනික පිළිවෙත නැවත නැවතත් උපසපන් භික්ෂූන් වහන්සේලා විසින් සිහිපත් කර ගැනීම, අරමුණේ පවත්වා ගැනීම සිදු වෙනවා.

එදා බුදුරජාණන් වහන්සේ දවස මෙවැනි චීවරයක්, අතිරේක සිවුරක් කඨින චීවරය හැටියට පූජා කරන්නට අවසර ලබාදුන්නේ, පහසු ජීවිතයක් ය යන අදහසේ දී කාමභෝගී ජීවිතයක් ගත කිරීමේ අදහසින් නොවේ. ස්කන්ධ පංචකය පැවැත්වීමේ දී ධර්ම මනසිකාරය ඇති කර ගන්නත් ඒ ස්කන්ධ පංචකය පහසුවෙන් පැවැතීම අවශ්‍යයයි. එසේ පහසුවෙන් පවතින ස්කන්ධ පංචකය ම උදයව්‍යට යටත් කොට, එනම් අනිත්‍ය, දුක්ඛ, අනත්ථ නම් වූ ත්‍රිලක්ඛණ ධර්මයට යටත්කොට දැක අවිද්‍යාව බැහැර කර ගැනීමට පහසුව තිබිය යුතුයි.

වර්තමානයේ දී ත් කඨින චීවරය ලබාගැනීමේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් එය අදහසින් මේ උතුම් වූ පූජාව නියම කළ බැවින් තමා මේ උතුම් අවස්ථාවට මුහුණ දෙන්නේ කඨිනාස්තරණය අනුව මේ අතිරේක සිවුර හෙවත් කඨින චීවරය පිළිගනු ලබන්නේ නිවන අරමුණු කරගත් පරමාර්ථ ධර්මයෙන් පෙන්වා දෙන ධර්ම මනසිකාරය ඇති කරගෙන, අවිද්‍යාවෙන් බැහැරව, විද්‍යාවට සිත පමුණුවා ගැනීම ය යන උත්තරීතර වූ අදහස පවත්වා ගැනීම අවශ්‍යමයි. එසේ නොවුණොත් බුද්ධ ප්‍රඥප්තිය අනුව කටයුතු කළත් , චාරිත්‍රය චාරිත්‍රයක් වශයෙන් පමණක් ම වශයෙන් තබා කාලය ගෙවෙනු ඇත. භික්ෂු ජීවිතය පවතිනු ඇත. දායක ඇත්තත් පින් කරනු ඇත. එහෙත් ගිහි පැවිදි දෙපාර්ශවය ම විසින් කුසල් මාර්ගයට සිත, සිහිය යොමුකොට නිවන ම අරමුණු කළ යුතු බව වස්සානය ආරම්භයේ පටන් ම වස්සාන කාල ප්‍රතිපදා මාර්ගයේ පටන් ම වස්සානය අවසානයේ දී ත් ඒ ආකාරයෙන් ම සිහිපත් කළ යුතු බව ඉතාම පැහැදිලියි.

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා පූර්ව භාග 02.56 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 04 වන දා සඳුදා ය..

මීළඟ පෝය නොවැම්බර් 12 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk