[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් බුද්ධ රත්නය

අසිරිමත් බුද්ධ රත්නය

බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ දීර්ඝ කාලයකට පසුව ය. “බුද්ධෝත්පාදෝව දුල්ලභෝ” “කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ” යනාදී වශයෙන් ධම්ම පදයෙහි සඳහන් ගාථා ධර්ම තුළින් ඒ බව මනාව පැහැදිලි වේ. බුදුවරුන් ලොව පහළ වන්නේ මිනිස් සන්තානය පිරිසුදු කොට සසර දුකින් මුදවාලීම උදෙසා ය.

මිනිසුන්ගේ ආයුෂ ලක්ෂයකට වැඩි නොවීමත්, සියයකට අඩු නොවීමත් යන කාල තුළ බුදුවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදු වනු ඇත. දීපංකර බුදු හිමිගේ පටන් කාශ්‍යප බුදු හිමි දක්වා පහළ වූ සියලු බුදුවරු අවුරුදු දහස් ගණන් ආයුෂ ඇති යුගයන්හි ඉපදීම සිදු වූයේ එම හේතුව නිසා ය.

නමුදු ගෞතම බුදු හිමිට බුද්ධ කෘත්‍යය දහම් ( බුදුකුරු දහම්) මුහුකුරා යෑම පමාවීම හේතුවෙන් බුදු වීම ද ප්‍රමාද විය. ඒ අනුව උප්පත්තිය මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු සියයක් පැවති යුගයක සිදු වූයේ එම යුගය ඉක්ම යෑමෙන් එම බුදු උපතට කාලය නොලැබෙන නිසා විය යුතු ය. ගෞතම බුදු හිමිගේ පහළ වීම ඉතා දුෂ්කර යුගයක සිදු වූ බැවින් ගිනි ජාලාවක් මැද සුපිපි පියුමක් විලසින් එය ඉතා දුෂ්කර සේ ම දුර්ලභ කාරණයක් වශයෙන් සිතීමට පුළුවන.

ගෞතම බුදු හිමිට තම සේවාවන් සිදු කිරීමට තිබුණේ අවුරුදු 45 ක් වැනි ඉතා සීමිත කාලයකි. එම කෙටි කාලය තුළ උන් වහන්සේ දීර්ඝ කාලයක් ගතකොට කරන සියලු සේවාවන් සිදු කළහ. උන්වහන්සේ එසේ සේවාව සිදු කළේ කාල කළමනාකරණය තුළිනි. එම වටිනා කාලය කොටස් පහකට බෙදා ගනිමින් දෛනික චර්යාව හා සේවාවන් දියත් කළහ. බුදුහිමිගේ දින චර්යාව නොහොත් කාලසටහන ඉතා ගැඹුරු වූවකි. වෙන කිසිවෙකුට නොකළ හැකි තරම් සංකීර්ණ ය. කාමයෙන් අන්ධ වූවන්ට එවැනි කැප කිරීමක් කිරීමට තබා සිතන්නටවත් අපහසු ය. නමුදු බුදු කෙනෙක් පහළ වන්නේ ජීවිත පරිත්‍යාගයෙන් ලෝක සත්ත්වයාට සැනසුමක් ලබා දීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. එය බුදුවරුනට ආවේණික කාල සටහනක් සේ සැලකීමට පුළුවන. එම දින චර්යාව නම්,

පෙරබත් කිස (පූර්ව භක්ත කෘත්‍ය),

පසුබත් කිස ( පශ්චාත් භක්ත කෘත්‍ය),

පෙරයම් කිස ( ප්‍රථම යාම කෘත්‍ය),

මැදියම් කිස ( මධ්‍යමයාම කෘත්‍ය) හා

පැසුළුයම් කිස ( පශ්චිම යාම කෘත්‍ය) ය.

දවසට තිබෙන පැය විසිහතර ඉහත දක්වන ලද ක්‍රමවේදය ඔස්සේ කොටස් කරගෙන ලෝක සත්වයා වෙනුවෙන් සේවය කළහ. පෙරබත් කිස යනු පළමු කොටසයි. එනම් දවසේ උදේ කාලය නොහොත් පෙරවරු කාලයයි. ඒ අනුව උදෑසන පූර්ව කෘත්‍ය කොට පිඬු සිඟා යෑම. දවල් දන් වැළඳීම හා ගඳකිලියට වැඩම වීම සිදු කරනු ඇත.පසුබත් කිස යනු පස්වරු කාලයේ කරන කටයුතුයි. එනම්. සවස හිරු බැස යන තෙක් භික්ෂූන්ට ධර්මාවවාද කිරීම, ඒ ඒ භික්ෂූන්ට ගැලපෙන අයුරින් කර්මස්ථාන ලබාදීම හා සීහ සෙය්‍යාවෙන් මොහොතක් ගත කිරීම ආදි වශයෙන් හවස් වරුව තුළ පළමු කොටසත්. පස්වරුව තුළ දෙවන කොටසත් ආදී වශයෙන් ධර්මාවබෝධය පිණිස සුදුස්සන් දෙස නුවණින් බැලීමත්, පස්වරු තුන්වන කොටස හැටියට දම්සභා මණ්ඩපයට රැස්වූ භික්ෂූන්ගේ සතුටු සාමිචි කථාවකට අනුව දම් දෙසීමත් සිදු කරනු ඇත.

පෙරයම් කිස වශයෙන් හැඳින්වෙන්නේ රාත්‍රී එළඹීමට ඇති සන්ධ්‍යාවෙහි ස්නානය කිරීමත් ආරාමයේ මද වේලාවක් විවේකී ව සිටීමත්, භික්ෂූන්ගේ ප්‍රශ්න විසඳීම හා ඔවුනට අවශ්‍ය කර්මස්ථාන දීමත් ආදී කටයුතු සිදුවන කාලයයි. මැදියම් කිස යනු මධ්‍යම කාලයයි. එම කාලය දෙව් බඹුන් උදෙසා , ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු විසඳා දැන ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසූහ. පැසුළුයම් කිස යනු රාත්‍රියේ පශ්චිම යාමයයි. එය කොටස් තුනකට බෙදාගෙන පළමු කොටසින් පිරිසුදු වාතාශ්‍රය ලබමින් සක්මන් භාවනාවෙහි යෙදීමත්, දෙවන කොටසින් සීහ සෙය්‍යාවෙන් පැය දෙකක් වැනි ඉතා කෙටි කාලයක් විඩා හැරීම උදෙසා සැතපීම කරන අතරම තුන්වන කොටසින් එනම් පශ්චිම යාමයේ අවසාන කාලයේ අවදි වී පිහිටවිය යුතු අය කවුරුන්දැයි බුද්ධ ඥානයෙන් ලොව බැලීමත් සිදු කරති.

මෙම දෛනික දින චර්යාව නොහොත් කාලසටහන වුව ද තම මව් වෙනුවෙන් වෙනස් කළ ආකාරය බුද්ධ චරිතය තුළින් පැහැදිලි වේ. එනම් සිද්ධාර්ථ කුමාර අවධියේ දී උන්වහන්සේගේ මව වූයේ මහාමායා දේවියයි. මහාමායා දේවිය තම පුතු බිහි කර දින හතකින් කලුරිය කොට තව්තිසා දිව්‍ය ලෝකයෙහි උපත ලැබී ය. බුදුහිමි තම මව වෙනුවෙන් කළ යුතු යුතුකමක් සේ සිතා දිව්‍ය ලෝකයට වැඩම කිරීම බුද්ධ චරිතය තුළ සිදු වූ සුවිශේෂී සිද්ධියකි. එයින් අපට බුදු කෙනෙකු මව උදෙසා කළ පරිත්‍යාගය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි ය. එය මුළු මහත් සත්ව ප්‍රජාව උදෙසා ම දුන් මව්පිය උපස්ථානය සම්බන්ධ උතුම්ම හා සුවිශේෂී ම පණිවිඩය ද වන්නේ ය.

බුදුහිමි ගන්ඩබ්බ රුක්ඛ මූලයේ දී තීර්ථකයන්ගේ මානය දුරු කිරීම සඳහා යමා මහ පෙළහර පා සත්වැනි වස ගත කිරීම සඳහා තව්තිසා දිව්‍යලෝකයට වැඩම කළහ. එය සිදු වන්නේ ඇසළ පුන් පොහෝ දිනකයි. තව්තිසා දෙව් ලොව වස් එළඹ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට විජම් බණ (අභිධර්ම දේශනාව) දේශනා කළ බවත්. එම තුන් මසම තව්තිසා දෙව්ලොව වැඩ වාසය කළ බවත් සඳහන් වේ. බුදු හිමිගේ 45 වසර තුළ වස් විසීම ආරම්භ වන්නේ බරණැස ඉතිපතනයෙන් ය. එය අවසන් වන්නේ විශාලානුවර අසල බේලුව ගමෙන් ය.

බුදුහිමි තව්තිසා දෙව්ලොව වස් වසා තුන් මසක් ගත වූවායින් පසු සංකස්සපුර නගරද්වාරයට වැඩම කළහ. බුදුහිමි වඩින තුරු මහ පිරිස් එහි බලා සිටියහ. එම බුදු අසිරිය දැක බොහෝ දෙනෙක් බුදු බව ප්‍රාර්ථනා කළහ. මෙම සිදුවීම ඉතා ආශ්චර්යවත් සිදුවීමක් ලෙසද බුද්ධ චරිතය කියවීමෙන් වටහා ගැනීමට පුළුවන.තම මව් වෙනුවෙන් දෛනිකව පවත්වාගෙන ආ දින චර්යාව වෙනස් කළ උතුම් ම ශාස්තෘවරයා වන්නේ අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය. බුදුහිමි පවා තම දෙමාපියනට කළ උපස්ථානය හා කැපකිරීම කාටත් ආදර්ශයක් පිණිස පවතිනු ඇත. සාමාන්‍ය පුහුදුන් සත්වයාට ද එය ආදර්ශයට ගෙන තම දෙමාපියනට සැලකීමට පුළුවන්කමක් ඇත.

සත්සතිය අතර “චතුත්ථං ච රතනාඝරං” යනුවෙන් සතර වෙනි සතිය බෝධියෙන් වයඹ දෙසින් පිහිටි රුවන් ගෙයි වැඩ හිඳිමින් අභිධර්මය මෙනෙහි කළ ආකාරය සඳහන් වේ. එම සිහි කළ උතුම් ගැඹුරු ධර්මය සත්වෙනි වස උපයෝගී කොට ගනිමින් තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කොට තම මව වූ මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට දේශනා කළ ආකාරය බුද්ධ චරිතය තුළ ඇති නොමැකෙන සිහිවටනයකි. මුළු ජීවිත කාලය ම ලෝක සත්වයා වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සේවාව සිදු කළේ දෛනික වශයෙන් කාලය කොටස් වශයෙන් බෙදාගෙන ය. සුළු මොහොතක්වත් කාලය අපතේ නොයවා හතළිස්පස් වසරක් ම ලෝක සත්වයාගේ මෙලොව, පරලොව නිවන් යන ත්‍රිවර්ග සම්පත්තිය උදෙසාම ජීවිතය කැප කළහ. ඒ යන ගමන් මගෙහි තම දෙමව්පියන් ද අමතක නොකිරීම උතුම් ශාස්තෘවරයෙකුගේ චරිතය තුළ ඇති සුවිශේෂී ලක්ෂණයක් ලෙස පෙන්වා දීමට පුළුවන. 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා පූර්ව භාග 02.56 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 04 වන දා සඳුදා ය..

මීළඟ පෝය නොවැම්බර් 12 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]