[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 43: පොළොන්නරුවේ මැණික් වෙහෙර

පොළොන්නරුවේ මැණික් වෙහෙර

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

" මැණික් වෙහෙර ගඩොල් අතුරා සාදන ලද වේදිකාවක් මත ගඩොලින් ඉදි කළ, එම වෙහෙරෙහි ධාතු ගර්භය වේදිකාව මත සිට නැරඹිය හැකි ලෙසින් සාදා ස්තූපයට පිවිසෙන ද්වාර මණ්ඩප පියස්සකින් ආවරණය කර ඇත."

පොළොන්නරුව රාජධානියට අයත් මැණික් වෙහෙර පුදබිමෙහි විවිධ ලක්ෂණ පෙන්නුම් කෙරෙන ආගමික ගොඩනැගිලි රැසක් තිබේ. ඒවා ස්තූපයක්, පිළිම ගෙයක් සහ බෝධි ඝරයක් ලෙසින් සඳහන් කළ හැකි ය.

“බෝධිඝරය” යනු බෝධීන් වහන්සේ (බෝධි වෘක්ෂය) සඳහා සාදන ලද ගෘහය යි. මැණික් වෙහෙර පුදබිම අවස්ථා දෙකක දී ගොඩනංවන ලද බව ඉතා පැහැදිලි ය. එහි ප්‍රථම අවස්ථාව අයත් වන්නේ (ක්‍රිස්තු වර්ෂ) රාජ වර්ෂ අටවැනි සියවසට ය. මැණික් වෙහෙර පුදබිමෙහි ඇති ස්තූපය මධ්‍යයෙහි කුඩා පියුමක හැඩය ගත් ස්තූපයක් සහිත උස් වූ ප්‍රාකාරයකින් යුක්ත මාලකයක් මත සාදන ලද දුර්ලභ වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් ලෙසින් විද්වත්හු පෙන්වා දෙති. මෙහි දක්නට ලැබෙන ප්‍රාකාරයෙන් පූජනීය ස්ථාන තුනක් ආවරණය කර තිබේ. ඒවා නම් පිළිමගෙය (ප්‍රතිමා ඝරය), විහාරය හා භික්ෂූන් වහන්සේ සඳහා සාදන ලද ආවාසයන් ය.

මැණික් වෙහෙර ගඩොල් අතුරා සාදන ලද වේදිකාවක් මත ගඩොලින් ඉදි කළ එම වෙහෙරෙහි ධාතු ගර්භය වේදිකාව මත සිට නැරඹිය හැකි ලෙසින් සාදා ස්තූපයට පිවිසෙන ද්වාර මණ්ඩප පියස්සකින් ආවරණය කර ඇත. ගලින් නිර්මාණය කර ඇති උළුවස්ස හා බරාඳය ඉතා අලංකාර ලෙස සාදා තිබේ.

(පොළොන්නරුවේ පැරැණි ස්මාරකයන්හි චිත්‍ර ගත සැරසිලි මෝස්තර, මහාචාර්ය සරත් ඤාණසිරි මල්දෙණිය – පි. 48-2016)

එම පුදබිමෙහි ඇති නිර්මාණ අතර ඉතා සුවිශේෂ ලක්ෂණය වන්නේ දාගැබ ය. මෙම දාගැබ අනෙකුත් දාගැබ් හා සලකන කල්හි, ප්‍රමාණයෙන් කුඩා ය. එසේ වුව ද, මෙතෙක් අපගේ නිරීක්ෂණයට භාජනය වූ අනෙකුත් දාගැබ්වලට වඩා වෙනස් ය. දාගැබ විශ්කම්භයෙන් අඩි 30 කි. එය කළු ගලින් නිර්මිත පියගැට පෙළකින් ළඟාවිය හැකි සතරැස් මළුවක් මත ඉදිකර ඇත. වාසස්ථානයන්හි නටබුන් ඉතා සරල ය. විශාල ආයත චතුරස්‍රාකාර ශාලාවකින් අභ්‍යන්තර කුටිය වට වී ඇත. එම ස්මාරකය අයත් වන කාලසීමාව පිළිබඳ සැකයක් නැත. එය පොළොන්නරු යුගයට ගැනෙන බව ඉතා පැහැදිලි ය.

මාලකයේ උතුරු දිග ප්‍රදේශයෙහි සීමාව වටා භික්ෂු කුටි ද සමඟ වෛද්‍ය මධ්‍යස්ථානයක් ඉදිකොට ඇති අතර, අංගනය මධ්‍යයෙහි ප්‍රමාණයෙන් විශාල භික්ෂු කුටි පිහිටා ඇත. පොළොන්නරුවේ සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය මෑතක දී එම ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතුවල යෙදුනූ අතර, මැණික් වෙහෙර සංකීර්ණය ආශි‍්‍රත නටබුන්වල කැණීම් සහ සංරක්ෂණ කටයුතු මගින් ඵලදායි ප්‍රතිඵල නෙළා ගෙන ඇත. වෛද්‍ය මධ්‍යස්ථානය ආශි‍්‍රත ප්‍රදේශයේ කැණීම් තුළින් පුරාවිද්‍යාඥයෝ ශල්‍ය උපකරණ යුගලක් සොයා ගැනීමට සමත් වූ හ. ඊසාන දෙසට ඇති වන්දනාකරුවන්ගේ ගමන් මාවතේ පිහිටි තවත් විහාරයක් අටවැනි ශත වර්ෂයට අයත් වන බෝධි ඝරයක හා කුළුණු මත ඉදිකළ ටැම් පිට විහාරයක අවශේෂ නටබුන් හෙළි පෙහෙළි කරගෙන ඇත. ටැම්පිට විහාරය පසුකාලීන නිර්මාණයක් විය හැකි ය.

(පොළොන්නරුව මධ්‍යකාලීන ලක්දිව අගනගරය මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 176-1998 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි)

මැණික් වෙහෙර ආශි‍්‍රත කලාපය

මැණික් වෙහෙර කේන්ද්‍රගත කරගෙන එම සංකීර්ණය තුළ විහාරාරාමයන් සැලසුම් සහගත ලෙස වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් කර ඇති බව ඉතා පැහැදිලි ව පෙනී යන කරුණ කි. එම මැණික් වෙහෙර (ස්තූපයට) ආසන්න ව බෝධි ඝරය සහ ප්‍රතිමා ගෘහය ආදී ප්‍රධාන පූජනීය ස්ථාන හඳුනා ගත හැකි ය. එම වාස්තු විද්‍යා ගොඩනැගිලි එක් සංකීර්ණයක් තුළ ඉදිකිරීමේ සම්ප්‍රදාය අනුරාධපුර රාජධානි සමයෙහි ආරම්භ වූ බව ඉතා පැහැදිලි ය. අනුරාධපුර යුගයේ මහා විහාර සම්ප්‍රදාය ආරම්භ වු ක්‍රි.පූ. (රාජවර්ෂ පූර්ව) 2 වන සියවසේ දී මෙවැනි ආගමික සංකීර්ණවල ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් බෞද්ධ විහාර සංකීර්ණයක සැදැහැවතුන්ගේ වැඳුම් පිදුම් කිරීම සඳහා වූ අංග ලෙසින් හඳුනාගෙන තිබුණි. මෙම සම්ප්‍රදාය පසු කාලයේ දී පබ්බත විහාර ආරාම වාස්තු විද්‍යා සැලසුම්වල අංගයක් ද වූයේ ය. ඉහතින් සඳහන් කළ ප්‍රධාන පූජනීය ගොඩනැගිලිවලට බාහිර ව ඇති ප්‍රදේශය ගෘහ නිර්මාණ ශීල්පින් විසින් සැලසුම් කළේ මහාසංඝයා වහන්සේලාගේ වාසය සඳහා වු නේවාසික කුටි ඉදිකිරීම් සඳහා ය. පොළොන්නරුවේ මැණික්වෙහෙර ආශි‍්‍රත වූ එම පූජනීය ගොඩනැගිලි ඉදිකිරීමේ දී මෙම කරුණු ඉතා මැනවින් පැහැදිලි වේ.

සමස්තයක් ලෙසින් විමසා බලන කල්හි මැණික් වෙහෙර දාගැබ උස් වේදිකාවක් මත ඉදිකර තිබෙන බව දක්නට ලැබේ. මැණික් වෙහෙරට ඇතුලුවීමට ඇති ප්‍රධාන දොරටුව බටහිර දෙසින් දක්නට ලැබේ. මෙම ස්තූප වාස්තු විද්‍යාවේ ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකි කරුණක් නම් මැණික් වෙහෙර පිහිටි ප්‍රදේශය ආලින්දයක ස්වරූපයක් දක්නට ලැබීම ය.

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා පූර්ව භාග 02.56 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 04 වන දා සඳුදා ය..

මීළඟ පෝය නොවැම්බර් 12 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk