[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 සියලු වියතුනට සිළුමිණක් හා සම වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

 සියලු වියතුනට සිළුමිණක් හා සම වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ඉතිහාසය පිරික්සීමේ දී කාව්‍ය නිර්මාණයෙහිලා නෛසර්ගික කාර්යශූර භාවයකින් හෙබි විශිෂ්ටතම යතිවරයන් වහන්සේ නමක් ලෙස ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමි හඳුන්වාදිය හැකි ය.

1408 මැයි 08 වන දින ජන්ම ලාභය ලැබූ ශ්‍රී රාහුල හිමියන්ගේ මව්පියන් වූයේ ස්වර්ණවතී නොහොත් සීලවතී දේවිය හා එකල දකුණුලක භාරව සිටි වීරබාහු නම් කුමරු ය. ජයබාහු කුමරු ලෙස ගිහි කල නම් ලැබූ ශ්‍රී රාහුල හිමි ඉතා කලාතුරකින් එළඹෙන ග්‍රහ යෝගයක් සමඟ ජන්ම ලාභය ලබා ඇත. එය කෙතරම් ප්‍රබල වූවක් ද යන්න එවක නක්ෂත්‍ර ආචාරීන්ගේ අනාවැකිය වුයේ මෙම කුමරු ගිහිගෙයි විසුවොත් රජ වන බවත්, පැවිදි දිවියට පිවිසුණහොත් ඒ හා සමාන උසස් තත්ත්වයකට පත්වන බවත් ය. සිය පියා වූ වීරබාහු කුමරුගේ අකල් වියෝවෙන් පසු මෙම කුමරු හදා වඩා ගත්තේ කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජු ය.

එදා සත් හැවිරිදි දරුවෙකු ව සිටිය දී ජයබාහු කුමරු මව සමඟ හයවන පරාක්‍රමබාහු රජු මුණ ගැසීමට ගිය විට රජු දුක් සැප විමසුවේ ය. එවිට කුඩා කුමරු මෙවන් කවියක් ප්‍රකාශ කොට ඇත.

මා වැනි බිළින්දා
වර වර ළඟට කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිඳෙී වෙන කොයින්දා

සත් හැවිරිදි දරුවෙකු ගෙන් රජු මෙවන් හපන්කමක් කිසිසේත් ම බලාපොරොත්තු නොවී ය. මවිතයට පත් රජු මෙම දරුවා ස්වකීය පුත්‍ර ස්නේහයෙන් හදා වඩා ගැනීමට දෙන මෙන් ස්වර්ණවතී මෑණියන්ගෙන් ඉල්ලා සිටියේ ය. පිය සෙනෙහස අහිමි ව සිටි දරුවාට ද මෙවන් පිය සෙනෙහසක් හා රැකවරණයක් අවශ්‍යව පැවති හෙයින් මව ඊට කැමැති වූවා ය. රජුට ද පිරිමි දරුවන් නොසිටි අතර සිටියේ දියණියන් දෙදෙනෙකි. එදා සිට රජු ජයබාහු කුමරු හදාවඩා ගත්තේ අප්‍රමාණ පුත්‍ර ස්නේහයකිනි.

ජයබාහු කුමරු ස්වකීය මව ගේ ද කැමැත්ත ඇතිව ක්‍රි.ව. 1425 දී උතුම් වූ ප්‍රවෘජ්‍යා භාවයට පත්වූයේ කෑරගල වනරතන සංඝරාජ හිමියන්ගේ ආචාර්යත්වයෙනි. ඒ වන විට වයස අවුරුදු 17 කි. එහි දී පැවිදි නාමය වූයේ දෙමටාටගම වාචිස්සර යන්නයි. උපසම්පදාව ලබා ගත්තේ 1438 දී ය. වාචිස්සර හිමියන් ගේ මුල් පන්සල වූයේ ද ස්වකීය මුත්තණුවන් වූ උත්තරමූල රාහුල හිමියන්ගේ මුල් පන්සල ප්‍රතිරාජ පිරිවෙණ බද ගණේගොඩැල්ල විහාරස්ථානය යි. මෙම විහාරස්ථානය ඉදිකොට ප්‍රදේශය ද දියුණු කොට ඇත්තේ දේවපතිරාජ ඇමැතිවරයා ය. පසුව එම විහාරස්ථානය අනෝමදස්සි හා වේදේහ යන මහතෙරුන් වහන්සේලා වෙත පුද කළේ ය. වාචිස්සර හිමි ද මෙම විහාරස්ථානයට පැමිණ තත් ප්‍රතිරාජ පිරිවෙනින් අධ්‍යාපනය ලැබී ය. සයවන පරාක්‍රමබාහු රජු වාචිස්සර හිමියන්ට ආධාර වන පිණිස මෙම ප්‍රදේශයේ තිබූ සශ්‍රීක කුඹුරක් වූ මහවෙල හා ගොඩපිටිය යන ගම ද උත්තරමූල රාහුල හිමියන්ට පූජා කළේ ය. උත්තරමූල හිමියන් ගේ ඇවෑමෙන් තොටගමු පිරිවෙන හා විහාරයේ අධිපතීන් වහන්සේ ලෙස රජතුමා පත් කළේ එවකට ගණේගොඩැල්ල පන්සලේ වැඩසිටි වාචිස්සර හිමියන් ය. මෙය රජයේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන්නේ එයින් පසුව යි. තෙල්වත්තේ රන්පත් වෙහෙර නමින් ද එකල විජයබාහු පිරිවෙන හැඳින්විණි.

උත්තරමූල රාහුල හිමියන්ගේ අපවත්වීමෙන් පසු වාචිස්සර හිමි ස්වකීය මුත්තණුවන් වූ ශ්‍රී රාහුල හිමියන් ගේ නාමය ස්වකීය නමට එක්කොට ගත්තේ ය. තොටගමුවේ පිරිවෙනෙහි වැඩසිටි නිසා උන්වහන්සේ “තොටගමුවේ ශ්‍රී රාහුල හිමි” නම් විය. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සතු ස්මරණ ශක්තිය විශ්මයජනක එකක්ම විය. ඒ පිළිබඳ සඳහන් වන ජනප්‍රවාදයක් පවතියි. දිනක් වීදාගම හිමි ධර්ම දේශනයකට වැඩමවීමට පෙර බලගතු සරස්වතී තෙල් බඳුනකට අශ්ව කෙන්දක් දමා සත් වරක් ගසා දමා එය දිවේ ගා ගන්නා අයුරු කුඩා රාහුල හිමි බලා සිටියේ ය. ගුරු හිමියන් පන්සලෙන් පිටත් වූ විගස කුඩා රාහුල හිමියන් කළේ එම තෙල් බඳුන ගෙන පානය කිරීම යි. එය බලවත් ඖෂධයක් වූ නිසා රහල් හිමි සිහිමුර්ජා වී ඇද වැටුණි. වහාම මේ බව ගුරුහිමියන්ට දන්වන ලදුව උන්වහන්සේ සැණෙකින් ආපසු පැමිණ බෙහෙත් ඔරුවක දමා කුඩා රාහුල හිමි සුවපත් කළ හ. මෙම ඖෂධයේ බලගතුකම නිසා රාහුල හිමි මතක ශක්තියෙන් අගතැන්පත් වූ බව මෙම ජනප්‍රවාදයෙන් කියැ වේ.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගෞරව සම්මානයට පාත්‍ර වූයේ “ෂට්භාෂා පරමේශ්වර” යන නාමයෙනි. එයට හේතුව සංස්කෘත, ප්‍රාකෘත, පෛශාවි, සෞරසේනි, අප්‍රභංශ යන භාෂා ඒ පිළිබඳ පෘථුල දැනුමක් උන් වහන්සේ සතු වීම යි. එසේම ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය (තෙවලා වදනිසුරු) යන ගෞරව නාමය ද උන්වහන්සේට හිමි විය. ශ්‍රී රාහුල හිමි ස්වකීය පාණ්ඩිත්‍යය කාව්‍යශේඛරයේ දී දක්වන්නේ මහත් අභිමානයෙන් යුක්තව යි.

සව්සත කෙළ පැමිණි
ගුරුවන් දෙරණ සපැමිණි
පිරිසුදු සිල් ගිහිණී
සියල්ලෝ වියතුන්ට සිළුමිණි

තමා සියලු ශිල්ප ශාස්ත්‍රයන් හි පාරප්‍රාප්ත කෙනෙකි. ඒනිසා පොළොවට බැසගත් බ්‍රහස්පති හා සමාන ය. එසේම පිරිසුදු සීලයෙන් යුක්ත ය. සියලු පඬිවරුන්ට සිළුමිණක් හා සමාන වටිනාකමින් යුක්ත ය.

කෙනෙකුට මෙය ආත්ම වර්ණනාවක් සේ පෙනුණ ද රාහුල හිමි ගැන කරන මෙම අභිමානාත්මක වර්ණනාව ව්‍යාජයක් නොවේ. සත්‍යයකි. ඒ නිසා මෙය බහුශ්‍රැත පඬිවරයෙකු තම පාණ්ඩිත්‍යය අභිමානයෙන් පළ කළ අවස්ථාවකි.

ශ්‍රී රාහුල හිමි විජයබා පිරිවෙණහි වැඩවසමින් සිදු කළ ශාස්ත්‍රීය සේවාව මෙරට පමණක් නොව නොයෙක් ශාස්ත්‍රයන් හි දැනුමැති විදේශිකයන් අතර පවා බෙහෙවින් ප්‍රචලිත විය. උන්වහන්සේ ගේ දැනීම් සම්භාරයට සම කළ හැකි කිසිවෙකු එකල මෙරට නොවූ බව ගිරා සංදේශයෙහි මෙම කව තුළින් පැහැදිලි වෙයි.

ගැඹුරු විජම් පෙළ කිරි සයුර ඇමවිට

සොඳුරු නුවන් වෙර පහරින් සකොබ කොට

මියුරු පද අරුත් අම ගෙ න දෙන ලොවට

කවුරු සිදිසි වෙති මෙලකට එ නිඳුහට

ශ්‍රී රාහුල හිමියන්ගේ භාෂා සාහිත්‍ය සේවාව සලකා බැලීමේ දී උන්වහන්සේ විසින් රචනා කරන ලද ග්‍රන්ථ සමූහය ඉතා වැදගත් වෙයි.

පරෙවි සංදේශය
කාව්‍ය සංදේශය
සැලලිහිණි සංදේශය
පංචිකාප්‍රදීපය, වුත්තමාලාව, යෝගරත්නාකරය

භාෂා සාහිත්‍යය පමණක් නොව ඡ්‍යොතිෂය සම්බන්ධයෙන් එකල මූලස්ථානය වූයේ තොටගමුව හා වීදාගම යි. ශ්‍රී රාහුල හිමියන් ගේ ශිෂ්‍ය වෑත්තෑවේ හිමි ලියූ ගුත්තිල කාව්‍යයට සිංහල කාව්‍ය ග්‍රන්ථාවලියේ වැදගත් තැනක් හිමි වෙයි. මෙම කාලය තුළ ගිරා සංදේශය ලියා ඇත්තේ ද වෑත්තෑවේ හිමියන් බව කියැ වේ. ශ්‍රී රාහුල හිමියන්ගෙන් සේ ම තත් ශිෂ්‍ය වෑත්තෑවේ හිමියන්ගෙන් ද සිංහල සාහිත්‍යයට සිදුවී ඇති සේවය ඉතා විශිෂ්ට මට්ටමක පවත්නා බව ඒ අනුව පැහැදිලි ය.

ශ්‍රී රාහුල හිමියන්ගේ අවසාන කාලය අම්බන ඉඳුරුගල ලෙන් විහාරය ආශි‍්‍රතව වැඩ සිටියේ ය. අපවත්වීමෙන් පසු ශ්‍රී දේහය ලෙනෙහි තබා ප්‍රදේශයේ ජනතාව නිති වැඳුම් පිදුම් කිරීමට සලස්වා ඇත. ජීවත්ව සිටිය දී “සිද්ධායුලෝක රසායනය” නමැති තෙලක් භාවිතා කළ හෙයින් ශ්‍රී දේහය වසර 2712 ක් නරක් නොවී තිබිය යුතු බවට විශ්වාසයක් ඇත. ශ්‍රී රාහුල හිමි දේහය ගෝවට රැගෙන ගිය පසු අම්බන ප්‍රදේශයම පාලු වී ජනශූන්‍ය වූ බව කියැ වේ.

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා පූර්ව භාග 02.56 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 04 වන දා සඳුදා ය..

මීළඟ පෝය නොවැම්බර් 12 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk