ඇසළ අමාවක 2019.07.31
දුෂ්කර පන්සල්වලට
අත හිත ඕනෑ
පින්පුරන, පින් වැඩෙන පින්බර වස්සාන කාලයෙහි බෞද්ධයන් ලෙස අපට පැවරී ඇති වගකීම්
බොහෝ ය. අධ්‍යාත්මික දියුණුව ඇති කරමින් දෙලොව දියුණුව සලසා ගන්නා අතර ම සම්බුද්ධ
ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඇපකැප වීම ද අත්‍යවශ්‍ය කාලයකි මේ.
උතුම් සම්බුද්ධ දේශිතය මතු පරපුර උදෙසා ආරක්ෂා කරන්නේ ද, ධර්මය ප්‍රචාරය කරන්නේ ද
උතුම් සංඝරත්නය යි. එදා මෙදා තුර ලෝකයට පහළ වූ ආර්ය මහා ශ්‍රාවකයන් වහන්සේගේ ඇප
කැපවීම නො වන්නට අපට අද එක බණ පදයක් හෝ අසන්නට, දැනගන්නට, කියවන්නට නො ලැබෙනවා නො
අනුමාන ය. එසේ වූයේ නම්, අපට සිදුවන්නේ මිථ්‍යා දෘෂ්ඨීන් කරපින්නා ගෙන තවමත්
අඳුරෙහි ම ජීවත් වන්නට ය. අඳුරෙන් අඳුරට යන්නට ය. ඉමක් නො පෙනෙන සංසාර සාගරයෙන් ගොඩ
එන්නට අංශු මාත්‍රයක හෝ මගක් නො දැන අතරමං වන්නට ය.
ධර්මධර, විනයධර පින්වත් මහා සංඝරත්නය අපට ධර්ම ඥානය ලබා දෙන්නට අනලස්ව කටයුතු කරති.
අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා දෙමින් අපගේ ජීවිතය යහපත්ව පවත්වා ගන්නට මඟ පෙන්වන
උන්වහන්සේ ගැන ගෞරවයෙන් සොයා බලමින් ආරක්ෂා කර ගැන්මට බෞද්ධ ගිහි පින්වතුන් කටයුතු
කළ යුතු ම ය. විශේෂයෙන් කුඩා සාමණේර භික්ෂූන් වහන්සේ ආරක්ෂා කර ගැනීමද එහි දී
සුවිශේෂී වේ. අනාගතයේ ශාසනයේ භාරකරුවන් වන්නේ උන්වහන්සේ ය.
එක් අතකින් පැවිදි බිමට ඇතුළත්වීමට මෙකල කුඩා දරුවන් විරල ය. අතීතයේ නම් දූ දරුවන්
හත් අට දෙනකුගෙන් පොහොසත් වූ අපේ මුතුන්මිත්තෝ ඉතා නිර්ලෝභීව, ශ්‍රද්ධා සිතින්
දරුවන් සසුනට පූජා කළහ. ඒ උතුම් මව්පියවරුන්ට කුසල් අත්වන්නට, අද අපගේ සසුන් කෙත
බබළවන්නට මහා සංඝරත්නය වෙති. එහෙත් අද වන විට බෞද්ධ සමාජයේ පවුල් පසුබිමෙහි දරුවන්
එක් අයෙකුට, දෙදෙනෙකුට සීමාවීම නිසා සසුනට දරුවන් පූජා කිරීම ද ගැටලුකාරි වී ඇති බව
පෙනේ. එහෙයින් තෙරුවන් කෙරෙහි අපමණ ශ්‍රද්ධාවෙන්, මේ ඝෝර සසර මග දුක හඳුනා ගෙන, ඉන්
ගොඩ එන්නට සසුන් බිමට වඩින සීමිත සාමණේරයන් වහන්සේවත් ගෞරවයෙන් ආරක්ෂාකර නො ගන්නේ
නම්, ඉදිරි අනාගතයේ අපට මුහුණ දෙන්නට සිදුවන අසීරුතා ප්‍රමාණය කළ නොහැකි විය හැකි
ය.
විශේෂයෙන් අවුරුද්දේ වැඩි කාලයක් නියඟයෙන් පීඩා විඳින, වැටෙන වැසි වතුරෙන් පමණක්
ගොවිතැන් බත් කර ජීවත්වන, දුෂ්කර ජීවිත පැවතුම් ඇති පිටිසර ගම් අද ද වේ. එහි
ජීවත්වන අහිංසක ජනතාවගේ කුදු මහත් කටයුතු වෙනුවෙන් අනුකම්පාවෙන් යුතුව මහා සංඝරත්නය
ද දුෂ්කරතා විඳිමින් ම එහි වැඩ වෙසෙති. උන්වහන්සේට අධ්‍යාපන කටයුතු කරගෙන යාම පවා
අසීරු ය. ඒ පිළිබඳ සොයා බලා ප්‍රත්‍ය පහසුකම් සලසන්නට ඇපකැප වන්නේ නම් එය පින්
වැඩෙන පින්කමකි.
එවන් දානමය පින්කම් කිරීමට මහා දානපතියන් වීම ම අත්‍යවශ්‍ය නොවේ.ගමේ විහාරාධිපති
ස්වාමීන් වහන්සේ ගේ අවවාදඅනුශාසනාවන් ගෙන, ගමේ සමිති සමාගම්වල සාමාජිකයන් එක් වී
හැකි පමණින් සුළුවෙන් හෝ පිරිකර එක් රැස් කොට දුෂ්කර විහාරස්ථාන වෙත රැගෙන යා හැකි
ක්‍රමවේද සැලසුම් කළ හැකි ය. මේ එක් නිදර්ශනයක් පමණි.
අතීතයේ බොහෝ දුෂ්කර අවස්ථාවන්හි සසුන ද , රට දැය ද රැක ගත්තෝ අපේ භික්ෂූන් වහන්සේ
ය. උන්වහන්සේ සමඟ බෞද්ධ ගිහි පින්වත්තු ද අත්වැල් බැඳ ගත්හ. උන්වහන්සේ ආරක්ෂා කළහ.
අද ද අප ඒ මග යා යුතුව ඇත. ඒ සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් ය. |