[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශීලයේ මාවත

ශීලයේ මාවත

අද වැනි උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවසක ලංකා ධරණීතලයට භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය නමැති ධර්මයේ සාම සංදේශය රැගෙන මිහිඳුමහ රහතන් වහන්සේ සමඟින් රාජකීය ධර්ම දූත පිරිස වැඩම කළා.

එසේනම්, අද වගේ උතුම් පොහොය දිනක ඔබ සෑම දෙනාම එකට එක්ව දානයෙන්, ශීලයෙන්, භාවනාවෙන්, ධර්ම චර්යාවෙන් පින් රැස් කර ගන්නවා. සැදැහැවතුනි, අද ඔබට විග්‍රහ කර දෙන්නේ, ධම්ම පදයේ නාග වර්ගයට අයත් දාහතරවන ගාථා රත්නය යි. නාග යනු උත්තමයා යි. රහතන් වහන්සේ යන අදහස යි. මහා හස්ති රාජයා යන අරුත යි.

බුදුරජාණන් වහන්සේට පවා ‘නාග‘ වදන භාවිත කර තිබෙනවා. උපසම්පදා අපේක්ෂක පුද්ගලයෙක් හඳුන්වන්නටත් ‘නාග වදන’ මහෝපාධ්‍යයන් වහන්සේ විසින් , උපසම්පදා කර්ම වාගාචාර්යන් වහන්සේ විසින් භාවිත කර තිබෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට මෙලෙස ගාථාවක් දේශනා කරනවා. ‘සුඛං යාව ජරා සීලං- සුඛා සද්ධා පතිට්ඨිතා, සුඛෝ පඤ්ඤාය පටිලාභො- පාපානං අකරණං සුඛ’න් මෙය බොහොම අපූර්ව අර්ථාන්විත ගාථා රත්නයක්.

බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දිරාපත් ව, ජීවිතය වියපත්වන තුරා ම යහපත් දෙයක් තියෙනවා නම්, ජීවිතයට සැපය ලබා දෙන දෙයක් තියෙනවා නම්, එය සිල්වත් ව ජීවත් වීම යි. ‘සුඛං යාව ජරා සීලං’ වයසට යන තුරා සිල් රකින එක උතුම් . පින්වතුනි, මේ කාරණය පිළිබඳව ලාංකිකයන් ලෙස ඔබට තේරුම් කර දිය යුතු ම යි. සිල් රැකීම, සිල් සමාදන් වීම බොහෝ විට අපේ රට තුළ භාවිත වන්නේ වයෝවෘද්ධ, විශ්‍රාම ගිය, ජීවිතයේ සැඳෑ සමය ගෙවන යන අදහසත් සමඟම යි. නමුත් භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශීලය එලෙසින් රැකිය යුතු දෙයක් නොවන බවයි. බුදුරජාණන් වහන්සේ අපට ‘සීලය’ පෙන්වන්නේ, කුඩා කල සිට ම ,තරුණ අවධිය දක්වා ම , මැදි වයසේ සහ ජීවිතයේ සැඳෑ සමය ආදී සෑම කාලයක දී ම රැකිය යුතු දෙයක් වන්නේ ශීලය බව යි.

යම් කෙනෙක් වියපත් ව, විශ්‍රාමිකව, ජීවිතයේ සැඳෑ සමය උදා වූ පසුව සිල් රැකීමට සිටියොත් ඒ කෙනාට සීලයක් රැක ගන්නට බැරි වෙන්නත් පුළුවන්. ඇයි? ඒ ජීවිතය අනිත්‍ය නිස යි. එසේනම්, ඔබට ධර්මය මුණ ගැහුණේ අද ද? එදා පටන් අධිෂ්ඨාන කර ගන්නට අවශ්‍ය වන්නේ මම දිවි හිමියෙන් සිල් සමාදන්ව, සමාදන් වූ සීලය ආරක්ෂා කරන බවට යි. සිල් සමාදන් වීමේ දී සාමාන්‍යයෙන් අප සමාදන් වන්නේ අටසිල් වෙන්නට පුළුවන්. එහි දී සිල් සමාදන් වීමට අමතරව යම් ප්‍රතිඥාවක් ද තිබෙනවා.

පංච ශීලය, ආජීව අෂ්ටමක ශීලය, අෂ්ටාංග උපෝසථ ශීලය, නවාංග උපෝසථ ශීලය සහ ඇතැම් ගිහි පින්වතුන් දස සිල් පවා සමාදන් වනවා. මෙහිදී සිල් සමාදන් වීම යනුවෙන් වචන ගොඩකට පමණක් සීමා වන්නේ නැහැ. එය ප්‍රතිඥාවක්. මා ප්‍රාණඝාතයෙන්, සොරකමෙන්, කාමයේ වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන්, මධ්‍යසාර, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිය යුතු යි. බ්‍රහ්මචාරීව ජීවත් වීම, හිස් වචනයෙන් සහ කේළමෙන් වැළකීම, අන් අයට කරන පරුෂ වදනින් සහ අපහාසයෙන් වැළකීම, අධාර්මිකව ජීවත් වීමෙන් වැළකීම යි. මේවා ප්‍රතිඥාවන්. ගෘහස්ථ පුද්ගලයා පංච ශීලය තුළ කාමයේ වරදවා හැසිරීමෙන් වළකිනවා. නමුත් මෙය අෂ්ටාංග ශීලය බවට පත් වෙද්දී ගෘහස්ථ ජීවිතයේ දී පවා බ්‍රහ්ම චර්යාවේ නිරත වෙනවා. අටසිල් සමාදන් වූ දිනයේ මධ්‍යසාර, දුම් වැටි , මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම ප්‍රතිඥාවක් ලෙසින් ම වැළකෙයි. ඉර අවරට ගිය පසුව ආහාර අනුභවයෙන් වැළකිය යුතු අතර එසේ සිටීමට පුළුවන් වුවත්, ආහාර ගැන ඇති රස තෘෂ්ණාව නිසා මෙයින් වැළකීම ඇතැම් කෙනෙකුට අපහසු වෙනවා. සාමාන්‍යයෙන් වෙහෙර විහාර වලදී සවස පහ, හය වෙන තුරා සිල් ආරක්ෂා කර සිටිනවා. සීලය යනු වරුවක් සමාදන් ව නැවත පන්සිල් සමාදන් වීම නො වෙයි. අද උදෑසන සමාදන් වූ ශීලය හෙට උදෑසන දක්වා ම අඛණ්ඩව සිල්පද අට ආරක්ෂා කර ගැනීම යි. විකාල භෝජනයේ දී විශේෂයෙන් ම පන්සලෙන් සවස පිටත් වූවාට පසුව නිවසට ළඟා වෙද්දී සවස හත අට වෙන්න පුළුවන්. එහිදී අප නිදන්නට පෙර පැය දෙක තුනක් ඇතුළත කාලයේ විකාල භෝජනයට ලක් නොවී පරිස්සම් විය යුතු යි. මෙහිදී ආහාර නොගත්තොත් මට ආම්ලිකතා හට ගනීද? ආදී වශයෙන් ආහාර තෘෂ්ණාව හේතු කොට ගෙන ඇතිවන මිච්ඡා සිතිවිලි ද අවබෝධ කර ගත යුතු යි. එසේම අෂ්ටාංග උපෝසත ශීලය සමාදන් වූ දවසට හැකිතාක් රූපවාහිනියෙන් දුරස් විය යුතු යි. හැබැයි, ධර්ම සාකච්ඡාවක් හෝ ධර්ම දේශනාවක් නැරඹුවාට එහි කිසි වරදක් නැහැ. නමුත් සංගීත වැඩසටහන්, ප්‍රවෘත්ති නැරඹීමෙන් ආදියෙන් ද ,දිනපතා පුවත්පත් කියවීමෙන් ද වැළකිය යුතු යි. මොකද? මේවා සියල්ල කෙලෙස් උපදවන ‘විසූඛ දස්සන’ වලට අයත් වෙනවා.

මල්, සුවඳ විලවුන් දැරීම බොහෝ විට සිද්ධ වෙන්නේ නැහැ. එය කවුරුත් දන්නා සරල දෙයක්. මේ ආදී සියල්ලන්ගෙන් ම පෝය දිනට වැළකීම අෂ්ටාංග ශීලය යි. උච්ඡා සයන, මහා සයන ගැන ද සඳහන් කිරීමේ දී අප නිදා ගන්නා සරල ඇඳක් හෝ බංකුවක් තිබේනම්, එහි දී උච්ඡා සයන, මහා සයන සිල් පදය පළුඳු වන්නේ නැහැ. පළස් යෙදූ , විල්ලුද යෙදූ , උඩුවියන් , පාවඩ යෙදූ , දණිස් මට්ටමෙන් ඉහළට ඇති ඇඳ, පුටු පරිහරණයෙන් වැළකීමෙන් උච්ඡා සයන, මහා සයන සිල් පදය ආරක්ෂා වෙයි.

නවාංග ශීලයේ දී සිල් පද අටට තවත් එකක් එකතු වී මා අද උදෑසන සිට හෙට අලුයම දක්වා එනම්, සිල් පවාරණය කිරීම දක්වා තරහ සිතක් උපද්දන්නේ නැතැ’යි මෙත් සිත පතුරුවා වාසය කරන කෙනෙක් විය යුතු යි. එවිට එය චෛතසික සීලයක් බවට පත් වෙයි. මෙලෙස අෂ්ටාංග උපෝසථ සිල්, නවාංග උපෝසථ සිල් , දස සිල් ආදී උතුම් සිල් පද සමාදන් වීම කුඩා කල සිට, තරුණ වියේ සිට, මැදි වයසේ පටන් පුරුදු කළ යුතු යි. එවිට ජීවිතයේ සැදෑ සමයේ දී හෝ විශ්‍රාමිකව පසු වෙද්දී පසු තැවෙන්න දෙයක් නැහැ. ශීලයට අමුතුවෙන් වීර්යය කරන්න දෙයක් නැහැ. ඔබ නිරන්තරයෙන් කුඩා කල සිටම, තරුණ වියේ සිටම ශීලය හුරු කළ නිසා ‘ශීලය’ සතුටට කාරණයක් වෙයි. එය තමන්ගේ කායික මානසික, නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස හේතු වන කාරණයක් බවටත් පත් වෙනවා.

තව ද ශ්‍රද්ධාවෙන් පිහිටිය යුතු යි. ශ්‍රද්ධාවක් නැතිනම් පෙර සඳහන් කළ ගුණ තුළ පිහිටන්න බැහැ. ශ්‍රද්ධාව යනු තුනුරුවන් කෙරෙහි ඇති චිත්ත ප්‍රසාදය යි. එහි පිහිටීමත් ලොකු සැපයක්. ‘සුඛා සද්ධා පතිට්ඨිතා , සුඛෝ පඤ්ඤාය පටිලාභො’ ප්‍රඥාව ලැබීම සැපයක් ලෙස බුදුන් වහන්සේ දේශනා කර වදාළා. අවුල් වූ ලෝකයේ නිරවුල්ව ජීවත් වන්නේ ප්‍රඥාවන්තයා යි. මානසිකව පීඩා විඳින සත්ත්වයන් ජීවත්වන ලෝකයක් තුළ මානසික අස්වැසිල්ලෙන් ජීවත් වන්නේ ප්‍රඥාවන්තයා පමණ යි යනුවෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, ‘පාපානං අකරණං සුඛං’ පව් නොකිරීමත් සැපයක්. එසේනම්, ඉහත සඳහන් ගාථාවට අනුව සැප ලබන ක්‍රම හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. එනම්, සිල්වත්වීම, ශ්‍රද්ධා තුළ ස්ථාපිත වීම, ප්‍රඥාව ලැබීම සහ පව් නොකිරීම සැපයක් බව යි. එසේනම්, අද වැනි උතුම් පොහොය දිනයක, ඔබ විසින් අධිෂ්ඨාන කළ යුත්තේ අපගේ ජීවිත ශීලවන්ත ජීවිත බවට පත් කර ගෙන, ශීලයෙන් සැනසෙන, දුසිල්වත්කම් දුරු කරන, ශ්‍රද්ධාව තුළ ස්ථාවර වෙන, ස්ථාවර ජීවිතයකට ශ්‍රද්ධාව පදනම බවට පත් කරගෙන ප්‍රඥාවන්තයන් බවට පත්වෙනවා යනුවෙනි. සියලු පව් වලින් අත් මිදී උතුම් බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ අනුගමනය කොට ඉපදෙන, දිරන, ලෙඩ වන, මියැදෙන ලෝකයෙන් අත් මිදී ශාන්ත නිවනින් සැනසෙනවා යන අධිෂ්ඨානය ඇති කරගත යුතු යි.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]