පොසොන් පුර පසළොස්වක 2019.06.16
තථාගත සම්බුදු දහම ජීවිතයේ සුවය පිණිස ම ය
පන්සාළිස් වසක් පුරා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝ සත අවිදු අඳුරින් ගලවා ගනු
පිණිස දේශනා කොට වදාළ සුවාසු දහසක් ශ්‍රී සද්ධර්මය, නිර්මල සම්බුදු දහම අප මාතෘ
භූමියට දායාද වූයේ අනුබුදු මිහිඳු මා හිමියන් වහන්සේගේ ලංකා ගමනයත් සමඟ, අදවන්
පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනෙක දී ය.
ඉපදෙමින් මියයන, නිමක් නො දකින සසර ගමනේ අප නතර වූ මේ නවාතැන්පොළ තුළ අපි සැබැවින්
ම වාසනාවන්තයෝ වෙමු. ඒ ධර්මාවබෝධය තුළින් ජීවිතාර්ථය දැන අධ්‍යාත්මික දියුණුව ලැබ
ලෞකික ලෝකෝත්තර දියුණුවට ළඟා වීමට හැකි බැවිනි.
ඒ සදහම් මග පසක් කර ගන්නට අද අතීතයටත් වඩා පහසුකම් බොහෝ ය. දියුණු සන්නිවේදන
තාක්ෂණය තුළ ඊට වෙසෙස් අවකාශයක් සැලසේ. ධර්ම කරුණු සංගෘහිත පතපොත සුලභ ය.
ශාසනෝන්නතිය උදෙසා කැපවෙන ධර්මධර, විනයධර යතිවරයන් වහන්සේලා ධර්ම ප්‍රචාරයෙහි ලා
බොහෝ වෙහෙසෙති. ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත දේශයක උපදින්නට පින් මහිමයක් වූව ද ඒ දහම්
මගට නිසි ලෙස නො පිළිපන්නේ නම්, අපි සැබෑම අවාසනාවන්තයෝ වෙමු. ආලෝකය දකිමින් අඳුරට
ම ඇදෙන්නෝ වෙමු. වචනයට පමණක් සම්බුද්ධ ශ්‍රාවකයන් යැයි කී පමණට මෙලොවට ද . එලොවටද
ප්‍රයෝජනයක් අත්වන්නේ නැත. ජීවන ප්‍රතිපදාව තුළ ඉස්මතු විය යුතුවන්නේ ධර්මය ම ය.
අපගේ අසහාය ශාස්තෘන් වහන්සේ මේ සසරේ බියජනක බව අපට පැහැදිලි කොට දුන් හ. එක්
අවස්ථාවක නිය පිටට ගත් පස් සුඟක් දක්වා මනුෂ්‍ය ආත්මය ලැබීම නම් මහපොළොවේ පස් සමඟ
ගත්තේ නම්, ඒ පස් සුඟ තරම් දුර්ලභ කරුණක් වන බව පෙන්වා දුන් හ. රාග, ද්වේශ, මෝහාදී
ක්ලේශයන්ගෙන් භරිතව, කළ කම් ඵල දී කල්ප ගණන් සතර අපාගත වී දුක් විඳින්නට සිදුවන
අයුරු පෙන්වා දුන්හ. ඒ සංසාර දුක අවබෝධ කර ගන්නට මේ ජීවිතයේ අසන දකින දේ ම
ප්‍රමාණවත් ය.
මොහොතින් මොහොත අප මරණය වෙත ළඟා වන්නේ මව් කුසහොත් දා සිටම ය. කවර මොහොතක මරණය
ළගාවේදැයි කියන්නට සමත් කෙනෙක් නැත. සියල්ලෝ ජීවිත විපර්යාසයන්ට බිය ය. මරණයට බිය
ය.
එහෙත් අපි මොහොතින් මොහොත වියපත් වෙමින් සිටිමු. මරණයට සමීප වෙමින් සිටිමු. දිනක්
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හමුවට ආ කොසොල් රජතුමාට දේශනා කොට වදාළේ සතර දිගින්,
සියලු දෑ සුණු විසුණු කරමින් පෙරළී එන, අහස තෙක් උස වූ ඒක ඝන මහා පර්වතයක් සේ
වියපත් වීමත්, මරණයත් අප වෙත පෙරළීගෙන එන බවයි. ඉන් ගැලවීමට කිසිවෙකුට නො හැකි බව
යි. එය සියල්ලන්ට ම පොදු ධර්මතාවයක් වන බව යි.
තමන් කොතරම් බලසම්පන්න වුව ද ජව සම්පන්න වුව ද, මහා ධන සම්පත් තිබුණ ද, සේනා
සම්පන්නව සිටිය ද ඒ කිසිවකගේ මාර්ගයෙන් වියපත් බවත්, මරණයත් ජයගත නොහැකි බව ය.
වියපත් බව, මරණය කොතරම් වේදනාකාරී ද යන්න සමාජය තුළදී ම අපි අත්දකිමු. එහෙත්
ප්‍රඥාවන්ත පුද්ගලයා , ධර්මාවබෝධය ලද තැනැත්තා ජීවිත විපර්යාසයන්ට හෝ මරණයට බිය
නොවේ. ඔහු ඒ ජීවිත වෙනස්කම් හමුවේ තමන්ටත් කෙදිනක හෝ එම අවස්ථාවන්ට මුහුණ දෙන්නට
සිදුවනවා යන ධර්මතාවය අනුව යමින් දහමට අනුවම ජීවත් වේ. දැහැමි දිවි පෙවෙතක් ගත
කරයි. තමන් යහපත සලකා ගනිමින් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යමින් පින්
දහම් කරයි. අකුසලයෙන් වෙන් වෙයි. එසේ ධර්මය තුළ හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ම
ආරක්ෂා කරනු ලබයි. තමන්ට තමා පිළිබඳව සතුටු වන්නට හැකිවෙයි. මේ ජීවිතය සේ ම
පරලොවෙහි ද සතුටින් වෙසෙයි.
මිහිඳු මා හිමියන් අපට හඳුන්වා දුන් තථාගත ශ්‍රී සද්ධර්මය ජීවිතයේ සුවය පිණිසම ය. ඒ
ප්‍රායෝගික ජීවිතයට සමීප කරගත්තේ නම් පමණි. පුරුදු පුහුණූු කර ගත්තේ නම් පමණි.
ඒ ප්‍රතිපදාවන් ප්‍රගුණ කර දෙලොව සුගතිය ළඟා කරගන්නට අද පොසොන් පෝ දිනයේ අදිටන් කර
ගනිමු. |