චුල්ල හත්ථිපදෝපම සූත්‍රය:
නිවන්මග පහදන ඇත් අඩි උපමාව
මහනුවර අස්ගිරි මහා විහාරයේ
කාරක සංඝසභික හා වයඹ පළාතේ
ප්‍රධාන සංඝනායක
උපාධ්‍යාය ධුරන්ධර මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
ක්‍රි.පූ. 6 වන සියවසේ අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන විට දඹදිව ඉන්දියාව එක ම
මිථ්‍යා දෘෂ්ටික මතවාද ජාලාවකින් ජනතාව වෙළා ගත් යුගයක් වුණා. දෙසැටක් මිථ්‍යා
දෘෂ්ටිකයන් මෙකල ක්‍රියාත්මක වුණු බව අප අහලා තිබෙනවා.
ඉන්දියාවේ පැවැතී මේ තත්වය යම් පමණකට අසල්වැසි ලංකාව කෙරෙහි ද පැතිරී තිබුණා.
බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් ඉන්දියාවෙන් මේ තත්වය සහමුලින්ම නො වුවත් යම් පමණකට
දුරුවෙමින් පැවැති අවදියක එහෙම නැතිනම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 300කට පමණ
පස්සේ ඒ පිරිසුදු බුදුදහම රැගෙන රාජකීය ධර්මදූත පිරිසක් ලෙස මිහිඳු මාහිමියන්
වහන්සේ ප්‍රධාන ධර්මදූත කණ්ඩායම ලංකාවට වැඩම කළා. ඒ වන විටත් ලංකාවේ පැවතුණේ විවිධ
මිථ්‍යා ආගමික මතවාද රාශියක්. ඉතින් අපේ මේ නව පිරිසුදු දහම මෙරට ජනතාවට පැහැදිලි
කර දීමේ දී මිහිඳු මාහිමියන් වහන්සේ වඩාත් සැලැසුම් සහගතව මනා අනුපූර්ව පිළිවෙතක්
ඇති ව ක්‍රමයෙන් ගැඹුරට යන සූත්‍ර ධර්ම කීපයක් විනය පිටකයෙන් ද ඇතුළත්ව තෝරාගෙන
එවැනි සූත්‍ර 13 පෙළ ගස්වා මෙරට ජනතාවට පියවරෙන් පියවර මුල් දින කීපය තුළ
දේශනා
කරමින් බුදුදහම තේරුම් කර දෙන්නට පියවර ගත්තා. එහි දී උන්වහන්සේ එදා පළමු දින
පොසොන් පෝදා රජතුමා ඇතුළු නැකත් ක්‍රීඩාවේ යෙදුණු රාජකීය පිරිස අමතා තමන් වහන්සේලා
හඳුන්වා දීමෙන් අනතුරුව මිස්සක පර්වතය මුදුනෙහි සිට පළමුවෙන් ම දේශනා කළ සූත්‍රය
චූලහත්ථිපදෝපම සූත්‍රය යි.
අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මෙම චූලහත්ථීපදෝපම සූත්‍ර දේශනාව කරනු
ලබන්නේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ ජානුස්සෝණි නම් බ්‍රාහ්මණයා
අරමුණු කරගෙන යි. මේ ජානුස්සෝණි බමුණා එදා මද්දහන වේලාවේ සුදෝසුදු අසුන් යෙදූ රථ
පෙරහරකින් සැවත්නුවරින් නික්මුණා. අතරමඟ දී මේ බමුණාට පිලෝතික නම් වූ පිරිවැජියා
මුණගැහෙනවා. පිලෝතික මනා වූ රූසපුවක් ඇති තරුණයෙක්. ඒවගේ ම මුල දී පරිබ්‍රාජක
ජීවිතයක් හුරුව සිටියත් දැන් බුද්ධෝස්ථායකයෙක්. ඔය කියන දවසෙත් උදෑසන මේ පිලෝතික
සුපුරුදු පරිදි දෙව්රම් වෙහෙරට ගිහින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කර වෙනත්
මහතෙරවරුන් වහන්සේලාත් බැහැදැක උපස්ථානත් කරලා ආපසු නගරයට එන අතරමග දී අර කියපු
ජාණුස්සෝණි බමුණා හමු වෙනවා. එහි දී මේ දෙදෙනා අතර සාකච්ඡාවක් ඇති වෙනවා.
ජාණුස්සෝණි බමුණා පිලෝතිකගෙන් අසා සිටිනවා” ඔබ කොහි සිට එන්නේ ද? කියලා. ඒ අවස්ථාවේ
දි පිලෝතික උත්තර දෙනවා “ මම සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ
සමීපයෙහි සිට එනවා” කියලා. ඉතින් දැන් මේ දෙපළ අතර දිගු සාකච්ඡාවක් දිග හැරෙනවා.
ඉතින් ජාණුස්සෝනි අහනවා” ඔබ සිතන මතන විදිහට ඔය කියන ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ
ගැන කොහොමද හිතන්නේ? ඇත්තටම ඔහු සැබෑ ඤාණවන්තයෙක් ද? “ ඒ අයගේ ප්‍රඥාවන්ත භාවය කුමන
මට්ටමක පවතිනවා ද? මේ ප්‍රශ්න මෙහෙම අහන කොට පිලෝතික උත්තර දෙනවා මෙහෙම.”
ශ්‍රමණභවත් ගෞතමයන්ගේ ප්‍රඥාවන්ත භාවය ගැන කථා කරන්නට මම කොහොම ද සුදුසු වන්නේ?”
එවැන්නක් දැන ගන්නට හෝ ප්‍රකාශ කරන්නට මා කවරෙක් ද? ඒක හිතන්නටවත් මට හැකියාවක්
නැහැ.” උන්වහන්සේ මේ ලෝකයෙහි ප්‍රශංසා කළ යුතු ශ්‍රේෂ්ඨයන්ගෙන් ප්‍රශංසා ලද
උතුමෙක්. මම උන්වහන්සේ ප්‍රශංසාවට ලක් කිරීමට තරම් සමත් අයෙක් වන්නේ නැහැ.
උන්වහන්සේගේ ගුණ සමුදාය ගැන වුවත් වර්ණනා කරන්නට තරම් සමත් අයෙක් නොවෙයි මම.
උන්වහන්සේ දෙවි මිනිසුන් අතර ඉහළ ම ශ්‍රේෂ්ඨත්වයට පත් වූ අයෙක් වෙනවා. මේ
අවස්ථාවෙහි දී ජාණුස්සෝණි බමුණා මවිතයට පත් වෙනවා. පිලෝතික වැනි උපතින්
පරිබ්‍රාජකයෙක්, මිථ්‍යා දෘෂ්ටිකයෙක් මෙපමණට ම බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ කරන
වැනුම නිසා.
පිලෝතික පිරිවැජියා තවදුරටත් අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය ඇතුළු
ශ්‍රේෂ්ටත්වය පැහැදිලි කරමින් උපමා කථාවක් ඉදිරිපත් කරමින් වඩාත් ප්‍රායෝගික ලෙස
කරුණු පැහැදිලි කරනවා. පිරිවැජියා ප්‍රකාශ කරනවා වනයේ ජීවත්වන, වනය හොඳට හුරුපුරුදු
වනවැසියෙක්. වනයට වැදී වඩාත් දිගු පුළුල් මහ ඇත් අඩියක් දැක්කහම ඔහු සිතනවා මේ තමා
වනයේ ජීවත් වන විශාල ම ඇතාගේ අඩිය කියලා . ඒ ආකාරයෙන් ම මම ත් බුදුරජාණන් වහන්සේ
පිළිබඳ විශේෂිත වූ ඤාණ පද හතරක් දැකලා නිශ්චයට පැමිණ සිටිනවා. බුදුරජාණන් වහන්සේ
ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන් වහන්සේ විසින් ම සියල්ල අවබෝධ කර ගත් මෙලොව සිටින එකම
ශාස්තෘවරයාණන් බව, ඒ වගේම උන්වහන්සේ මේ වන විට ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයට පැමිණ
යම් සත්‍ය ධර්මයක් අවබෝධ කර ගත්තා නම් ඒ දහම හැම අතින්ම, එහෙමත් නැතිනම් මුල, මැද
හා අග යන තුන් ස්ථානයෙන් ම මැනවින් දෙසූ දහමක් බව වගේ ම, උන්වහන්සේ දේශනා කළ ඒ දහම
අනුව යම් ශ්‍රාවකයෙක් ඒ දහම ප්‍රත්‍යක්ෂ කරගෙන මේ නෛර්යාණික වු ශාසනයෙහි උතුම්
පැවිදි බව ලබා උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු බවට පත්වූවා නම් හැම අතින්ම ශ්‍රාවක සංඝයා
සුපටිපන්න බව මම නිශ්චය වශයෙන් තීරණයකට පැමිණ සිටිනවා කියලා මේ අවස්ථාවේ දී කියා
සිටිනවා. මේ අවස්ථාවේ දී මේ සියල්ල අසා සිටි ජානුස්සෝණී බමුණා විශ්මයට පත් වෙනවා.
පිලෝතික පිරිවැජියා මෙහි දී ඤාණ පද හතරක් ගැන සඳහන් කරනවා. බමුණාට අවශ්‍ය වෙනවා
පිලෝතිකගෙන් මේ ඤාණ පද හතර කවරේදැයි දැන ගන්නට. ඒ අවස්ථාවේ දී පිලෝතික ඒ කරුණු හතර
පැහැදලි කර දෙනවා. මෙයින් ඉදිරිපත් කරන්නේ මිථ්‍යා මතවලින් ගැලී වෙලී සිටි
ජාණුස්සෝණිට බුදුරජාණන් වහන්සේ කවර නම් ලක්ෂණ ඇති උතුමෙක් ද? බව පැහැදිලි කර දෙන්නට
යි. මෙහිදී පිලෝතික එකින් එක ඒ ඤාණ පද හතර පැහැදිලි කර දෙනවා.
1.මේ ලෝකයෙහි සියුම් නුවණ ඇති, මහා පාණ්ඩිත්‍යයක් ඇති, තමන්ගේ ඒ සියුම් වූ ප්‍රඥා
මහිමයෙන් අනුන්ගේ වැරැදි මත බිඳහෙළා සුණු විසුණු කරන්නට සමත් වූ ක්ෂත්‍රිය කුල
හෙවත් රාජකීය වංශිකයෝ බුදුරජාණන් වහන්සේ යම් ගමකට, පළාතකට, වීදියකට වැඩිය බව ඇසුවා
නම් ඒ රාජකීයවරු එනවා, බුදුරජාණන් වහන්සේ හමු වෙලා ප්‍රශ්න අහලා උන්වහන්සේ ඊට
පිළිතුරු දෙන්නට අපොහොසත් වෙන කොට උන්වහන්සේගේ කීර්ති නාමය දුරු කර හරිනවා කියා
හිතා ගෙන. උන්වහන්සේ හමු වී ප්‍රශ්න නගා වාද විවාද කරනවා. අවසානයේ දී උන්වහන්සේ ඒ
සියල්ලක් විසඳා මෛත්‍රීයෙන් ම කරුණු පැහැදිලි කරනවා. ඒ අනුව ඒ වාදයට ආ රාජකීයයෝ
පරාජයට පත්වෙනවා වගේම උන්වහන්සේ වෙත දමනය වූ පිරිසක් බවට පත් වෙනවා. උන්වහන්සේ සමඟ
ප්‍රශ්න විචාරීම තමන්ට සුදුසු නොවේ යැයි සිතා කිසිවක් නොවිචාරාම සිටිනවා. එයින් ම
උන්වහන්සේ ගේ සම්මා සම්බුද්ධත්වය පිළිගන්නවා.
2.ඒ වගේ ම තමා සමහර බමුණු පඬිවරු උන්වහන්සේ වෙත එළඹෙනවා උන්වහන්සේට දෝෂාරෝපණය කර
උන්වහන්සේ උපහාසයට, අපහාසයට පත් කිරීමට . ඒ පිරිස් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියහම
උන්වහන්සේ මෙත් සිතින් ඔවුන්ට දේශනා කරන මිහිරි දහම් අසා උන්වහන්සේගේ ම ශ්‍රාවක බවට
පත් වී උන්වහන්සේගේ බුද්ධත්වය අවබෝධ කර ගන්නවා.
3.ඒ වගේම ගිහි පඬිවරුන් එනවා උන්වහන්සේ වෙතට මේ විදිහට උන්වහන්සේට දෝෂාරෝපණය කර
උන්වහන්සේට නින්දා කර කීර්තිනාමය විනාශ කරදමන්ට හිතලා. ඒ පිරිසත් උන්වහන්සේ වෙත
පැමිණි පසු බුදුරජාණන් වහන්සේ දේශනා කරන දහම් පද අවබෝධ කරගෙන ඒ සමඟ ම බුද්ධශ්‍රාවක
බවට පත් වෙනවා. උන්වහන්සේගේ ධර්මයෙහි නිවැරැදි බව පිළිගන්වා. උන්වහන්සේගේ
ශ්‍රාවකයන් වහන්සේලාගේ ශ්‍රේෂ්ඨත්වය ඇගැයීමට ලක්කර අවසානයේ බුදු සව්වන් බවට
පත්වෙනවා.
4.මේ ආකාරයෙන් ම වෙනත් මිථ්‍යාදෘෂ්ඨික ශ්‍රමණයන් ද බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ
උන්වහන්සේගේ මනරම් අරුත් බර දේශනා අසා කිසිවක් කර කියා ගත නොහී නිතැතින්ම ගිහින්
උන්වහන්සේටත්, ඒ දහමටත් , ශ්‍රාවක මහා සංඝයා වහන්සේටත් පැහැදී වැඳවැටී අවසානයේ දී
බුදුසව්වන් බවට පත්වෙනවා.
ඉතිරි කොටස පොසොන් අව අටවක පෝදා (ජුනි 25) පත්‍රයේ පළවේ. |