[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා කරුණා ගුණ මහිමය

මහා කරුණා ගුණ මහිමය

අපේ අමාමෑණි බුදුපියාණන් වහන්සේ තුළ පැවැති මහා කරුණාවට සමාන කරුණාවක් ලෝකයේ පහළ වූ බුදුවරයෙකුට මිස වෙනත් කිසිම කෙනෙකු තුළ දැකගත නොහැකි ය.

බුදුරදුන්ගේ දින චරියාවෙහි ප්‍රථම අංකය මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දෙස බැලීමයි. මෙහි මූලික අරමුණ අන්‍ය ජීවිතවලට ආලෝකයත් ලබා දීමයි. එකල සිටි රජවරුන්, බිසෝවරුන්, කුමරකුමරියන්, සිටුවරුන්, ඇමැතිවරුන්, සෙන්පතියන්, බමුණු බැමිණියන්, ගොවියන්, කම්කරුවන්, කසල සෝධකයින්, සැඩොලුන් හා නොයෙකුත් මිථ්‍යා දෘෂ්ටිකයින් බුදුරදුන්ගේ කරුණා ඇසට ලක් වූ ආකාරය ත්‍රිපිටකය තුළින් දැකගත හැකි ය. මෙහි දී උසස් පහත්, උගත්නූගත්, දුප්පත් පොහොසත්, සැරපරුෂ, අහිංසක වැනි කිසිම වෙනසක් ප්‍රභේද නොකොට සෑම දෙනා කෙරෙහි ම මෛත්‍රියෙන්, කරුණාවෙන් තම මෙහෙය ඉටු කළහ. තමන් වෙත යොමු වූ මේ විවිධ චරිත බුදුරදුන්ගේ වදන්තුළින්, ක්‍රියාකාරකම්තුළින්, උපදේශාත්මක මඟ පෙන්වීම් තුළින් නිවැරැදි මගට යොමු වූ අයුරු දැකගත හැකි ය. මෙය බුදුරදුන් තුළ පැවැති උදාර කරුණා ගුණ මහිමයේ ප්‍රතිඵලයකි.

බරපතළ ලෙස රෝගී වූ පූතිගත්තතිස්ස හිමි බුදුරදුන්ගේ කරුණාවට හසු වූ භික්ෂුවකි. මේ භික්ෂුව බලවත් සේ රෝගාතුර විය. සිරුර පුරාම බිබිළි හටගත්තේ ය. අබ ඇටතරම් කුඩා ගෙඩි සෑදී ක්‍රමානුකූලව වර්ධනය වී නෙල්ලි ගෙඩි තරමට ලොකු වී පසුව ඒවා බෙලිගෙඩි තරමට වර්ධනය විය. ශරීරය පුරාම පැතිරුණු මෙම ගෙඩි පිපිරී සැරව ගලන්නට විය. පෙරවගෙන සිටි සිවුරු හා අඳන ලෙයින් සැරවවලින් පිරී දුර්ගන්ධවත්, පුස්කාගිය වස්ත්‍ර බවට පත්විය. උපස්ථාන කළ අයටත් ළං විය නොහැකි මට්ටමට පත්වීම නිසා කිසිම කෙනෙකුගේ උපකාරයක් ලැබුණේ නැත. මේ නිසාම ‘තිස්ස’ කියන නමට මුලින් තවත් කොටසක් එකතු වී ‘පූතිගත්තතිස්ස’ තෙරුන් යැයි භාවිත කරන්නට පටන් ගත්හ. උදේ පාන්දරින්ම ලොව බලන බුදුරදුන්ට සිරුර කුණු වී, ජරා ගොඩක සිටියත් පූතිගත්තතිස්ස තෙරුන්ට නිවන් දැකීමේ වාසනාව ඇති බව පෙනී ගියහ. කෙලෙස් ලෙඩට පමණක් නොව ශාරීරික රෝගවලටත් බෙහෙත් දන්නා බුදුරජාණන් වහන්සේ කෙලෙස්වලින් ගොඩගන්නට කලින් ශරීරගත රෝගය සුවපත් කළ යුතු යැයි සිතා තමන් වැඩ සිටින ගඳකිළියෙන් නික්ම ගිනිහල් ගෙයට වැඩමකළහ.

පූතිගත්තතිස්ස භික්ෂුව සිටින කුටියට වැඩ ඇඳෙහි පැත්තකින් ඔසවා රැගෙන යන්නට සූදානම් වන විට අනෙකුත් භික්ෂූහු ද පැමිණ ඇඳ පිටින්ම ගිනිහල් ගෙයට ඔසවාගෙන ගියහ. එහි දී උන්වහන්සේ ඇඳ සිටි සිවුරු හා අඳන සෝදා වියළෙන්නට තබා බුදුරදුන් සිය අතින් රෝගී භික්ෂුවගේ ඇඟ උලා පැන්වත්කොට නහවා පිරිසුදු රෙදි කඩකින් සිරුර පිසදා වේලුනු සිවුරු හා අඳන පෙරවී ය. රෝගී තත්ත්වයෙන් සැනසිලිදායක මට්ටමට පත් වූ මේ භික්ෂුවගේ සමාධිගත මනසට එදා බුදුරදහු දේශනාකළ ධර්මය මහත් සැනසිල්ලක් විය. ධර්මය ඇසූ තිස්ස හිමි රහත් ඵලයට පත්විණි. බුදුරජාණන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උත්තමයෙකු කාගේවත් පිහිටක් නැති මෙවැනි අසරණ රෝගියෙකුට උපස්ථාන කළ ආකාරය ‘කරුණාව‘ යනු කුමක්දැයි අපට ප්‍රායෝගිකව පෙන්නුම් කරන අතිශය දුර්ලභ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි.

අද සමාජය දෙස බලන විට ලෙඩට, දුකට, අසරණ භාවයට පත් වී දරුවන්ගේ දැක්මක්, බැල්මක්, උපකාරයක්, සැලකිල්ලක් නැති මවුපියන් කොතෙකුත් දැකගන්නට පුළුවන. අවශ්‍ය ආහාරපාන, බෙහෙත් හේත් ලබාගැනීමට නොහැකි ව අසරණව සිටින අය කොපමණ ඇත්ද? කාගේවත් පිහිටක් නැති වැඩිහිටි ජනතාව මොනතරම් සිටිනවාද? දූපුතුන් ඉතා හොඳ ආර්ථික මට්ටමක සිටියදී අනාථ නිවාසවලට වී මානසික ව වේදනා විඳිමින් සිටින මව්පියවරු මොනතරම්ද? මෙහිදී පූතිගත්තතිස්ස හිමියන් වෙනුවෙන් බුදුරදුන්ගේ කාරුණික උපස්ථානය අපට මහඟු පාඩමකි. අප අපගේ මවුපියන් අනාථවන්නට ඉඩ නොතබමු. අසරණ රෝගියෙකු, කාගේත්වත් පිහිටක් නැති අසරණයෙකු දුටුවිට අපට කළ හැකි යම් දෙයක් ඇතිනම් අපි එය ඉටුකරමු. මෙය බුදුරදුන් වෙනුවෙන් කරන බුද්ධපූජාවක් බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත.

සමාජය තුළ විවිධාකාරයෙන්, පීඩනයට, අසහනයට, වේදනාවට පත්වන අය දෙස බලන්න. තම දරුවන් ජීවත්කරලීම සඳහා විදේශගත රැකියාවල නියුක්තවන කාන්තාවන් දෙස බලන්න. ඔවුන් විවිධාකාරයේ පීඩනයන්ට පත්වන අයුරු අපි අසා ඇත්තෙමු. ශ්‍රී ලාංකික සමාජය තුළින් අන්‍යයන්ගේ ඇනුම් බැණුම් දෝෂාරෝපණ, නින්දා අපහාස විඳිමින් සිටින අය මොනතරම් ද? එදිනෙදා විවිධාකාර ගැටුම්කාරී මට්ටමට පත් වූ පවුල් ජීවිත කොතෙක් ද? මෙම ගැටුම්කාරී ස්වභාවයට කරුණාව හා මෛත්‍රිය ඖෂධයක් කරගන්නේ කෙසේද යන්න රජ්ජුමාලා චරිතය අපට පෙන්වා දෙයි.

උරුවෙල් ජනපදයේ බමුණු ගෙදරක දාසියක් සිටියා ය. එම ගෙදර ප්‍රධාන බමුණාගේ ලේලිය මෙම දාසියට විරුද්ධකම් කරන්නී ය. වරදක් නැතත් කෙස්වැටියෙන් අල්ලා පහර දෙයි. දාසිය බැරිම තැන තම කෙස්වැටිය කපාදමා හිස බූගා ගත්තා ය. මෙය දුටු ලේලිය තව තවත් කේන්තියෙන් පුපුරමින් පහර දුන්නා ය. බෙල්ල වටා ලණු කැරැල්ලක් දමා ගැට ගසා එයින් අල්ලාගෙන පහර දුන්නා ය. දාසියගේ කරේ නිතරම ලණු පටක් එල්ලී ඇති නිසා මේ දාසියට ‘රජ්ජුමාලා’ කියා නමකුත් පටබැඳුණි. නිතිපතා සිදුවන මෙම පහරදීම් ඉවසීමට බැරිතැන රජ්ජුමාලා වතුර ගෙනෙන්නට යන මුවාවෙන් කළයකුත් රැගෙන අසල ඇති වන ලැහැබකට ගොස් ‘අනේ මට මෙහෙම ජීවත්වීමෙන් ඇති ප්‍රයෝජනයක් තියෙනවද? මා දිවිනසා ගන්නවායයි කියා මල පුඩුවක් සාදා ගෙල වැලලාගන්නට සූදානම් වී වටපිට කවුරුත් සිටිනවාදැයි බැලුවා ය.

එදින මහා කරුණා සමාපත්තියෙන් ලොව දෙස බැලූ බුදුරදුහු අහිංසක දාසිය ගෙල වැල ලාගන්නට සැරසෙන බව දැන කල්තියාම ඒ අසලට විත් ගසක් මුල වැඩ සිටියහ. වට පිට බලන දාසියට රන්වන් පැහැයෙන් බබළමින් ගසක් මුල වැඩ සිටින බුදුරදුන් දැක ගැනීමේ වාසනාව උදාවුණි. ඇය බුදුරදුන් දෙසම බලා සිටියා ය. තම ඇස බුදුරදුන් වෙතින් ඉවතට ගත නොහැකි විය. බුදුරදුහු ‘දුවේ රජ්ජුමාලා, එල්ලී මැරෙන්න එපා, මාවෙත එන්න. කියා රජ්ජුමාලාට කතා කළහ. මෙය ඇසෙනවාත් සමගම ඇයට සියලු දුක් වේදනා අමතක විය. මහත් සැනසිල්ලක් ඇතිවිය. බුදුරදුන් වෙත ගොස් ගෞරවයෙන් වැඳ පැත්තකට විය. බුදුරදුහු ඇයගේ මානසික පීඩාව දුරු කිරීමට අදාළ කරුණු පෙන්වා දුන්හ. ඉතා ඕනෑකමින් ධර්මය ඇසූ රජ්ජුමාලා සෝවාන් ඵලයට පත්විය. එතැන් පටන් තම ජීවිතය නසන්නට පැමිණියත් ඒ ඕනෑම කෙනෙකුට මෛත්‍රීය පතුරවන, කරුණාවෙන් දයාවෙන් යුතු කාන්තාවක් බවට පත්විය. ‘මගේ ස්වාමි දියණිය, මට ගැසුවත් මාව මැරුවත් කමක් නැහැ මගේ දුවකට මෙන් මම ඇයට මෛත්‍රී කරමි’යි

අධිෂ්ඨානයත් ඇතිකරගෙන වතුර කළය පුරවාගෙන සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා’යි මෛත්‍රී කරමින් නිවස දෙසට ගියා ය.

ගෙදර ප්‍රධාන බමුණා මෛත්‍රියෙන් බබළන ඇය දැක අද ඔබගේ මුහුණ වෙනදා වගෙ නොවෙයි, අද ආදරබර හැඟීමකින් කටයුතු කරන බවයි පෙන්නේ. මෙහෙම වෙනසක් වුණේ කොහොමදැයි රජ්ජුමාලාගෙන් ප්‍රශ්න කළේ ය. අද මම මෙලොව ශ්‍රේෂ්ඨතම උත්තමයා වූ බුදුරදුන් සරණ ගියෙමි. තුනුරුවන් වෙනුවෙන් ජීවිතය පූජා කළෙමි. මම සියලු දෙනාටම මෛත්‍රී කරමි, මේ දක්වා මා අතින් වරදක් සිදුවී ඇත්නම් මට සමාවෙන්න යැයි රජ්ජුමාලා ඇයැද සිටියා ය. මෙය ඇසූ බමුණා රජ්ජුමාලා හොඳ තැනැත්තියක් වූවා යැයි සිතා තම ලේලිය වෙත ගොස් ‘දුවේ අදින් පසුව මගේ රජ්ජුමාලාට මොනම පීඩාවක් වත්, හිංසාවක්වත් කරන්න එපා’ කියා අවවාද කළේ ය.

බමුණා බුදුරදුන් වෙත ගොස් තම නිවසට වැඩමකරගෙනවිත් මහත් භක්තියෙන් දානය පිරිනැමී ය. බුදුරදුන් වැඩම කළ බව අසා අසල්වාසීන් ද එක්රැස් වූහ. රජ්ජුමාලාවට හිංසා කළ තරුණිය ඇතුළු සියලු දෙනාටම බුදුරදහු බණ දේශනා කළහ. තරුණ බැමිණියගේ සිත මෘදු මොළොක්බවට පත්විය. ඇය ඇතුළු සියලු දෙනාම සියලු සත්ත්වයන්ට කරුණාව මෛත්‍රිය වඩන අය බවට පත්වූහ. මෙතෙක් හිංසා පීඩාකළ තරුණිය මෙයින් පසු රජ්ජුමාලා මාව මැරුවත් ඇයට සිතින්වත් අහිතක් නොසිතමියි අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා ය. මහලු බමුණා ද අද සිට රජ්ජුමාලා මගේ දාසියක් නොව මගේ ආදරණීය දුවක් බවට පත්වූවා යැයි සිතා දරු සෙනෙහසින් කටයුතු කළේ ය. තරුණ බැමිණිය ද එක කුස උපන් සහෝදරියකට මෙන් රජ්ජුමාලාට ආදරයෙන් කරුණාවෙන් සැලකුවා ය.

වහල් මෙහෙයක යෙදී සිටි පුණ්ණ දාසියගේ ඉල්ලීම පිළිගනිමින් ඇයගේ දුක්බර වහල් ජීවිතයට නිදහස ලබාදුන් ආකාරයත්, දහස් ගණනක් මරණයට පත්කළ අංගුලිමාල තම කාරුණික වදන් තුළින් සදහමට හොඳ මිනිසෙකු කළ අයුරුත්, මරණ දඬුවමට ලක් වූ ගොවියෙකුගේ අහිංසකත්වය පෙන්නාදී ඔහු මරණින් නිදහස් කරගත් ආකාරයත්, විහාරස්ථානයෙන් එළවා දමනු ලැබ සිවුරු හැර යන්නට සූදානම් ව සිටි චුල්ල පන්ථක හිමියන් රහතන් වහන්සේ නමක් බවට පත්කළ ආකාරයත්, සිය සැමියාත්, දරු දෙදෙනාත්, මවත්, පියාත් සහෝදරයාත් යන අයගේ හදිසි මරණයෙන් කම්පිතව සිහිවිකල් වූ පටාචාරාව මහා කාරුණික වදන් තුළින් රහත් මෙහෙණියක් බවට පත් කිරීම වැනි සිද්ධීන් තුළින් බුදුරදුන්ගේ මහා කරුණාවේ බලමහිමය අපට දැක ගන්නට පුළුවන.

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.10 ට ලබයි.19 වන දා ඉරිදා පූර්ව භාග 02.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම මැයි මස 18 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි 26 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]