[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර පසළොස්වක 2019.05.18

සමගි වෙමු මෙත් සිත පතුරමු

ලෝ සත දුකින් මුදවාලන පිණිස සම්මා සම්බුද්ධත්වය අපේක්ෂාවෙන් සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් කල් පාරමී දම් පුරා අප මහා බෝසතාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළේ අදවන් පින්බර වෙසක් පුන් පොහෝ දිනෙක ය. අවිදු අඳුරේ ගිලී දුක පසුපස ම හඹායන ලෝසතුන් වෙනුවෙන් උන්වහන්සේ පන්සාළිස් වසක් පුරා අමා දහම් දේශනා කළහ. ඒ සදහම් ආලෝකයෙන් ලෝ දනන් අදටත් සුවපත් වෙති.

වෙසක් පුන් පොහෝ දිනය ලෝවැසි බොදු දනන්ට ඉතාම සුවිශේෂී ය. තම ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් අන් කවරදාටත් වඩා ආමිෂ පූජාවෙන්, ප්‍රතිපත්ති පූජාවෙන් ගෞරව දක්වන්නට බෞද්ධයෝ පෙළ ගැසෙති. එහෙත් මෙවර ලක්වැසි ජනතාවට ඒ පිළිබඳව ඇත්තේ චකිතයකි. කුරිරු ත්‍රස්තයන්ගේ අමනුෂ්‍යකම් ඊට හේතුවයි. එහෙත් බෞද්ධයන් ලෙස තමන්ට එරෙහි වන්නා කෙරෙහි වුවද එරෙහි වන්නට, වෛරයේ ක්‍රෝධයේ ගිනිදැල් මුදා හරින්නට, හිංසාවට ඉඩක් නැත. අවිහිංසාව අගයන බුදුදහමට අනුව ජීවන ප්‍රතිපදාව සකසා ගත් බෞද්ධයන් ලෙස අපි මේ මොහොතේ ඉතා කල්පනාකාරී විය යුතු වෙමු. මෝහයෙන් මුලා වී වෛරයේ ගිනිදැල්වලින් හදවත පුරවාගත් අඥානයන් වෙත මෛත්‍රිය පතුරවමු. අවිගත්තෝ නැසෙන්නේ අවියෙන් ම ය. එහෙත් ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ම ආරක්ෂා කරනු ලබන බව බුදු වදන ය. අපට පිහිටට ඇත්තේ ධර්මය පමණි. එහෙයින් අප තථාගතයන් වහන්සේ අනුව ජීවිත හැඩ ගස්වා ගන්නට, ප්‍රතිපත්ති පූජාවෙන් සම්බුද්ධ පූජාව පවත්වන්නට ඇප කැප වෙමු.

තුන්ලෝකයට අග්‍ර වූ අපගේ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ නායකයෙක් බවට පත්වූයේ තමන් වහන්සේ විසින්ම දියුණු කරන ලද අධ්‍යාත්මික ශක්තියෙනි. සම්බුද්ධ චරිතය පුරාම දක්නට ලැබෙන උතුම් ලක්ෂණ යම්තාක් දුරකට හෝ අපවෙත පවත්වා ගන්නට උත්සාහ ගැනීමට මේ වෙසක් පෝදා අපි අදිටන් කරගනිමු. උන්වහන්සේගේ ජීවිතය පුරාම ඇත්තේ ආදර්ශවත් බවයි. අප සමාජයේ යහපතට අවවාද, අනුශාසනා කළ යුතු පළමු කොට ආදර්ශයෙනි. බුද්ධ චරිතය ඊට හොඳම නිදසුන ය. ඒ මග යමින් බෞද්ධයන් ලෙස අපි ලෝකයට ආදර්ශවත් වෙමු.

මිනිසා නොමිනිසුන් කරන්නේ රාගය, ද්වේශය, මෝහය ආදී කෙලෙස් ධර්මයන් ය. මේ කෙලෙසුන්ට වසඟවන මිනිසා අපමණ පාප කර්මයන් හි නියැළෙයි. මෙලොව ද පිරිහී පරලොව ද දුගතිගාමී වෙයි. අප තථාගතයන් වහන්සේ රහසින්වත් පව් නොකළහ. උන්වහන්සේගේ චරිතවත්බව ආදර්ශයට ගැනීම සැබෑ බෞද්ධයකුගේ ස්වභාවයයි.

බුදුරජාණන් වහන්සේ සමානාත්මතාවය ඉහළින් අගය කළහ. ගිහි කල රාහුල පුතුට ද මෙත් සිත පැතිර වූහ. සතුරුකම් කළ දේවදත්තට ද මෛත්‍රීය කළහ. සමානාත්මතාවය ප්‍රගුණ කළ අයගෙන් සමාජයේ කිසිවෙකුට අසාධාරණයක් වන්නේ නැත.

අප ශාස්තෘන් වහන්සේ අටලෝ දහමින් කම්පා නොවූ ආකාරය, උන්වහන්සේගේ මහා කරුණාව, අගතිගාමී නොවීම, නම්‍යශීලීත්වය, සෘජු බව, නිවැරැදි තීන්දු තීරණ ගැනීමේ ස්වභාවය, නිවැරැදි දැක්ම, ශ්‍රී සදහම් මග යන අප විසින් ද ජීවිතයට පුරුදු කළ යුතුම ය.

අද බොහෝ දෙනෙකුට තැනට සුදුසු නුවණ මද ය. විවිධ සමාජ අභියෝග හමුවේ වැරැදි තීරණවලට එළැඹෙන්නේ එහෙයිනි.

එහෙත්ඒ තීරණ මහා විනාශයක මුලවිය හැකි ය. වෛශාඛ්‍ය දිනය සැබෑ ලෙස සැමරීම යනු අප, අපගේ ශාස්තෘන් වහන්සේ දෙසූ මඟයාම ය. උන්වහන්සේගේ ජීවිතාදර්ශය අපගේ ජීවිතවලට ද ළං කර ගැනීම ය. ඒ සඳහා අප්‍රමාදී වන්නට මේ වෙසක් පුන් පොහෝ දා නොබිඳෙන අධිෂ්ඨානයක් ඇති කර ගනිමු.

පවුලක වේවා, සමාජයක වේවා යහපත් පැවැත්මට අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ගරුත්වය ඇවැසිම ය. සංවේදී බව අවැසි ය. එකමුතුකම ගිලිහුණ තැන ඕනෑම සතුරෙකුට ළං වීම පහසු ය. ඊර්ෂ්‍යාව, තරහව, කුහකකම, ක්‍රෝධය පසෙක ලා අප එකිනෙකා පිළිබඳව සිතමින් බැඳී සිටිය යුතුව ඇත. එවිට අපට එරෙහිව එන කිසිදු සතුරෙකුට අපට ළං විය නොහැකි වනු ඇත.

වටු වැද්දාගේ කතාවේ වටු කුරුල්ලන් පළමුව බේරී ගියේ එකමුතුකම නිසා ය. තමන්ගේ ලාභය සිතන්නට ගොස් දෙවන වර ඔවුන් සියල්ලෝ ම විනාශයට පත් වූහ. ආත්මාර්ථකාමී වූයේ නම් අපට ද එවැනි අත්දැකීම්වලට මුහුණ දෙන්නට වීම වැළැක්විය නොහැකි ය. එහෙයින් පළමුව අපි සමගි වෙමු. එවිට සතුරාට ජයගත නොහැකි ය.

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.10 ට ලබයි.19 වන දා ඉරිදා පූර්ව භාග 02.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම මැයි මස 18 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි 26 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]