මැදහත් සිතින්
නිදහස්ව සිතීම
මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි
ජීවිතය ගැන, ලෝකය ගැන, සමාජය ගැන, පෞද්ගලික හා සාමාජික ගැටලු ගැන උපේක්ෂා සහගතව,
ඉවසිලිමත්ව, මැදිහත්ව සිතීමට අපොහොසත් වීම, සැකෙවින් කියතොත් සමබරව නොසිතීම නො
දියුණු, නොවැඩුණු සිත් සතන් ඇත්තවුන්ගේ ස්වභාවයයි. ඒ හේතුවෙන් එක් අතෙකින් පෞද්ගලික
ජීවිතය ඇසුරු කොටගත් බොහෝ අසහන පීඩනාදියට අපි ගොදුරු වෙමු.
අනෙක් අතින් බොහෝ සමාජගත ගැටලු, ගැටුම් හටගැන්මෙන් සිත් සතන්හි සාමය, සැනසිල්ල
අහිමි වෙයි. වැඩුණු නුවණ ඇති, වැඩුණු සිත්සතන් ඇති තැනැත්තා කවර තරමේ පෞද්ගලික
ගැටලුවක දී වුව ද, සමාජමය ගැටලුවක දී වුව ද උපේක්ෂා සහගත ය. මැදිහත් ය. අන්තගාමීව,
පක්ෂග්‍රාහීව නොසිතයි. එබැවින්ම හෙතෙම ඉවසිලිමත් ය. අකම්ප්‍යය, හෙතෙම සිය සිතුම්
පැතුම් මැනවින් පාලනය කර ගනියි. අසහනයට දුකට පීඩනයට හසු නොවෙයි. විවෘත වූ සැහැල්ලු
සිතින් ජීවිතයට මුහුණ දෙයි. පි‍්‍රයශීලි අයෙකු වෙයි. සැබැවින් ම හෙතෙම පී‍්‍රතිමත්
ය. සතුටින් වසන්නේ ය. මෙබඳු දියුණු සමබර මානසික තත්ත්වයක් ඇති ප්‍රසන්න ප්‍රමුදිත
පුද්ගලයකු වීමට මඟ පෙන්වන විශිෂ්ට ධර්ම මාර්ගයක් ලෙස බුදුදහම හැඳින්විය හැකි ය.
ලෝ වැස්සන් නිබඳව ම විවිධාකාර වූ අන්තවාදී අදහස්වල එල්බ සිටින සැටි බුදු දහම පෙන්වා
දෙයි. එම අන්තවාදීවීම් විටෙක ආගමික ය. තවත් විටෙක දාර්ශනික ය. බැතිමත්හු ආගමිකව
අන්තවාදී වෙති. සමහරු අනේකවිධ හේතු සාධක මත සහේතුකව, සකාරණව තමන් පිළිගන්නා
මතවාදයෙහි ම එල්බගෙන සිටිති. ඉන් බැහැරව නොසිතතති. බොහෝ විට විවිධ ධර්ම
ශාස්ත්‍රාදියෙහි නිපුණ වූ උගතුන් අතර මෙවැන්නෝ නොඅඩුව සිටිත්, මේ හැරුනුවිට සමාජ,
සංස්කෘතික කරුණු පිළිබඳව විවිධාකාර වූ හේතු සාධක දක්වමින් අන්තවාදීව සිතන්නෝ,
අන්තවාදිව කරුණු දක්වන්නෝ පොදුජන සමාජය තුළ නොමදව ම සිටිති. පෞද්ගලික වූ
ගෘහාශි‍්‍රත ජීවිතය හා බැඳුණු කරුණුවල දී මෙන්ම එම ජීවිතය ආශි‍්‍රත ප්‍රශ්නවලදී ද
අන්තගාමීව සිතා ක්‍රියාකරන්නෝ ද මෙම ගණයට අයත්වෙති. එසේම සිය වෘත්තීය ජීවිතය, බාහිර
සමාජ ජීවිතය ආශි‍්‍රත ගැටලු ආදියෙහිදී ද එක් අන්තයකම රැඳෙමින්, එක් පක්ෂයකටම වහල්ව,
එක් අදහසක ම එල්බ ගැනීම ද සමාජයෙහි දැක ගත හැකි ය. මෙය බුදුසමය හඳුනාගන්නේ උපාදාන
ග්‍රහණයක් ලෙස ය. බුද්ධකාලීන භාරතීය ආගමික, දාර්ශනික, සංස්කෘතික පරිසරය තුළ එසේ
උපාදාන, ග්‍රහණය කළ අන්තග්‍රාහී මතවාද දෙසැටක් පැවතිණි. සූත්‍ර දේශනාවල සමකාලීන
අන්තවාදී අදහස් දෙයාකාරයැ යි ද, සිව් ආකාර යැයි ද දක්වා ඇති අවස්ථාවන් සුලභ ය. එබඳු
අන්තවාදියෝ ‘තම මතයම, තම අදහසම සත්‍යයය, සෙසු මත, සෙසු අදහස් අසත්‍යය, වැරැදියැ’ යි
සිතති. කියති. කරුණු දක්වති. අප ජීවත්වන මේ සමාජය තුළ ද මෙවැන්නවුන් දැකගත හැකි ය.
ජීවිතය ගැන හෝ, ලෝකය ගැන හෝ, සමාජය ගැන හෝ එසේ අන්තවාදී වීම බොහෝ ගැටලුවලට මුල්
වන්නකි. අන්තවාදියා තම මතයෙහි ම සිරවී සිටියි. තම පක්ෂයටම ගැති වෙයි. ඔහු තමා
පිළිගත් මතයෙහි, පක්ෂයෙහි සිරකරුවෙකු වැනි ය. වහලෙකු වැනි ය. එයම සත්‍යය. නිවැරැදි
යැයි සිතන හෙතෙම එහිම එල්බගෙන සිටියි. ඔහුට නිදහසේ සිතා විමසා බැලිය නොහැකි ය. මතය,
අදහස, පිළිගැනීම විසින් නටවන රූකඩයක තත්ත්වයට පත්වන හෙතෙම ඇති තතු ඇති හැටියෙන්
නොදකියි.
හෙතෙම අනුන්ට සවන් නොදෙයි. අනුන් පවසන අදහස සත්‍යය ද, අසත්‍ය දැයි නොවිමසයි.
නොසිතයි. තම මතයෙහිම ගිලෙයි. ඔහු අන්ධයෙකු වැනි ය. එසේම අන්තවාදියා තුළ ඉවසීම ද
නැත. තම මතයට එකඟ නොවන්නවුන් ගැන, ප්‍රතිපක්ෂ මත දරන්නවුන් ගැන හෙතෙම කෝපයට ද
පත්වෙයි. ඔවුන්ට පහර දෙයි. ඔවුන් සමඟ ගැටෙයි. වාද විවාද කරයි. තම මතයම නිවැරැදි
බවත්, සෙසු මත වැරැදි බවත් කියමින් තර්ක කරයි. හේතු සාධක ද දක්වයි. කරුණු ඉදිරිපත්
කරයි. එසේ වාචිකව කරුණු දැක්වීම්, වාද විවාද, තර්ක විතර්ක විටෙක කෙළවර වන්නේ කායිකව
ද අන් මතවාදීන්ට පහර දීමෙනි. අන්තවාදීහු එක් පැත්තකින් පමණක් ගැටලු දකින්නෝ ය. බුදු
දහම ඔවුන් හඳුන්වන්නේ ‘ඒකංගදස්සී’ යනුවෙනි. ඔහුගේ චින්තනය පටු ය. ගැටලුව පුළුල් ලෙස
හැම පැත්තකින්ම දැක්මට ඔහු අසමත් ය. මෙසේ ක්‍රියා කරන, මෙම තත්ත්වයට පත් පුද්ගලයෝ
පවුල් පරිසරය තුළ ද, වෘත්තීය පරිසරය තුළ ද, ආගමික දාර්ශනික ධර්ම ශාස්ත්‍රීය පරිසරය
තුළ ද දක්නා ලැබෙත්.
බුදු දහම අනුව කවර ආකාරයක හෝ අන්තවාදී අදහසක එල්බ ගැනීම ඇත්ත ඇති හැටියෙන් දැක්මට
බාධාවකි. කවර කරුණක දී වුවද සියලු අන්තග්‍රාහී කල්පනාවන් පසෙකින් තැබිය යුතු යැයි
බුදුරදුන් වදාළේ එබැවිනි. බුදු සමය තුළ එබඳු අන්තගාමී චින්තාවන් ඨපනීය (පසෙකින්
තබන) ගණයට ඇතුළත් වෙයි. ඒවා බුදුරදුන් විසින් නොවිසඳනු නොලැබේ. (අව්‍යාකත)
බුදුරජාණන් වහන්සේ සමකාලීන දෙසැටක් වූ අන්තග්‍රාහී මතවාදයන් පසෙකින් තැබූහ. ඉන් එකක
හෝ එල්බ නොගත්හ. හැටතුන් වැනි අන්තවාදයක් ද ඉදිරිපත් නොකළහ. එම මතවාද සියල්ල
පසෙකින් තබා උත්තරීතර වූ යථාර්ථය, සත්‍යය දැන දැකගත්හ. ඒ මධ්‍යස්ථ චින්තනයෙනි. සමබර
වූ හේතුඵල දර්ශනයෙනි. මූලික වශයෙන් මැ සමකාලීන අන්තවාදීහු දෙයාකාර වූහ. ඒ
නිත්‍යාත්මයක් ඇත යන ශාස්වත දෘෂ්ටිය හා නිත්‍යාත්මයක් නැත යන අශාස්වත දෘෂ්ටිය
යනුවෙනි. බුදුසමය එම උභයාන්තය ම පසෙකින් තබා සමබර මධ්‍යස්ථ චින්තනය ඉගැන්වෙන හේතුඵල
දර්ශනයම ප්‍රකාශ කරයි. එකී උභයාන්තයම පාදක කොටගත් අන්තවාද සතර (චතුෂ්් කෝටියක
දෘෂ්ටියද) පසෙකින් තබා හේතුඵල දැක්ම වූ කලී බුදුන් වදාළ මධ්‍යම දේශනාවයි. මෙසේ
සියලු කරුණුවලදී මැදිහත්ව හේතුඵල දහම අනුව සිතිය යුතු ය. අන්තග්‍රාහී නොවිය යුතු ය.
සමකාලීන සාමයික ප්‍රතිපදාවෝ ද අන්තවාද දෙකකට ඇතුළත් වූ හ. එනම් නිත්‍යාත්මයක් ඇතැයි
ශාස්වතවාදී වෙමින් අත්තකිලමතානුයෝගී ව තමා තමාටම කටුක වූ, අධික දුක් පීඩා කළ
පිළිවෙත හා නිත්‍යාත්මයක් නැතැයි අශාස්වතවාදීව උපරිම වශයෙන් පස්කම් සුවයෙහි ඇලීමේ
පිළිවෙතයි. මෙම උභය ප්‍රතිපදාවන් ද බුදුදහම දකින්නේ අන්තවාදී පිළිවෙත් ලෙස ය.
පළමුවැන්න ආත්මවාදී ආගමික උමතුවක් වැනි ය. දෙවැන්න ආත්මවාද විරෝධී, ආගම් විරෝධි
පිළිවෙතකි. මෙකී අත්තකිලමථානුයෝගය මෙන්ම කාමසුඛල්ලිකානුයෝගය ද බැහැර කළ බුදුරජාණන්
වහන්සේ ම උභයාන්තයට නොවැටී මධ්‍යස්ථ වූහ. මෙසේ චින්තනයෙන් මෙන්ම, චරණයෙන් ද
අන්තග්‍රාහී නොවන්නට ද මැදිහත්ව සිතන්නට හා පිළිපදින්නට ද බුදු සමය ශ්‍රාවක
ප්‍රජාවට මඟ පෙන්වයි. සමබර දැක්මක් මත පිහිටා සමබර පිළිවෙතක් අනුගමනය කිරීම එහිලා
අපේක්ෂා කෙරේ.
අන්තග්‍රාහී අන්තවාදී නොවන මැදිහත් තැනැත්තාට නිදහස්ව විචාරපූර්වකව සිතිය හැකි ය.
හෙතෙම අනුන්ට සවන් දෙයි. අනුන්ගේ අදහස්වලට ද ගරු කරයි. විරුද්ධ අදහසක් ඔහුට නැත.
අන්තවාදීව කිසිවක් පිළිනොගන්නා ඔහු අන්තවාදීව කිසිවක් ප්‍රතික්ෂේප ද නොකරයි. හෙතෙම
අනුන්ගේ මතවාද අසා නොකිපෙයි. ඔහු ඉවසිලිමත් ය. නුවණැත්තේ ය. කවර කරුණක වුවද, කවර
ගැටලුවෙක වුවද එක් පැත්තකින් පමණක් බලා (එකංගදස්සිව) තීරණ නොගනී. වඩාත් පුළුල්ව හැම
පැත්තකින්ම ගැටලු දෙස බලයි. ඇත්ත ඇති හැටියෙන් දකියි. ඔහු කඳු මුදුනකට නැගුනෙකු
වැනි ය. එවැන්නෙකුට හැම පැත්තක්ම පෙනේ. එබැවින් එක් පැත්තක එල්බ ගන්නේ නැත. මේ
බෞද්ධ චින්තන ක්‍රමයයි. මෙසේ මැදිහත්ව, ඉවසිලිමත්ව, විචාර පූර්වකව, නිදහසේ සිතන,
නිදහසේ සදාචාර මාර්ගයේ ගමන් කරන පුළුල් දැක්මක් ඇත්තෙකු වීමට බුදුරජාණන් වහන්සේ
නොයෙක්විට නොයෙක් අයුරින් ශ්‍රාවකයන් දැනුවත් කළහ.
බුද්ධ වචනය වුවද අන්තවාදීව කරගසා ගැනීම, එල්බගැනීම නොකළ යුතු යැයි උගන්වා තිබේ. දහම
පහුරක් වැනි ය. එය කරගසාගෙන දැඩිව එල්බ ගැනීමට නොවේ. ගැටලු විසඳා ගැනීමට ය. දුකින්
මිදෙන්නට යැයි පෙන්වා දෙන ලදී. ශ්‍රාවක ප්‍රජාව සිය දහමෙහි වුව ද වහලුන් සේ “මෙයම
සත්‍යය. අන් සියල්ල අසත්‍ය යැයි” අන්තවාදී වීම උන්වහන්සේ අපේක්ෂා නොකළහ. එය දහම
වරදවා ගැන්මකි. එලෙස බුදුදහම අන්තවාදීව ගැනීම සර්පයෙකුගේ වලිගයෙන් අල්ලා ගැන්මක්
වැනි යැයි පෙන්වා දෙන ලදී. වලිගයෙන් ඇල්ලූ විට සර්පයා ඇල්ලූ තැනැත්තාට දෂ්ට කරයි.
සර්පයෙකු අල්ලාගත යුත්තේ උගේ හිසෙනි. එමෙන්ම බුදු වදන ද නිවැරැදිව ගත යතු ය. බුදු
වදනෙහි අරමුණ ද, එහි අර්ථය ද, ස්වභාවයද නිසි පරිදි දැක ඒ වෙත එළඹීමට බුදුරදුන්
විසින් උගන්වන ලද්දේ ය.
බුදු දහමෙහි පදනම වන්නේ හේතුඵල දර්ශනයයි. එනම් පටිච්චසමුප්පාදයයි. පටිච්ච සමුප්පාදය
දැකීම නම් බුදුදහම දැකීම ය. බුදුදහම දැකීම නම් පටිච්ච සමුප්පාදය දැකීම ය.
සිව්සස්දැක්ම මෙන් ම, තිලකුණු දැක්ම ද ඇතුලු සියලු බෞද්ධ සිද්ධාන්තයෝ ඒ හා බැඳෙති.
මෙකී මූලික බෞද්ධ ඉගැන්වීම මැදිහත් චින්තනය ද, ඒ අනුව ගිය මැදිහත් පිළිවෙත ද
අර්ථවත් කරයි. මිනිස් ජීවිතයේ යථාර්ථය වූ සංසාර ගත දුකත්, ඉන් අත්මිදීමේ මග වූ
මැදුම් පිළිවෙතත් පැහැදිලි කිරීම බුදු දහමෙහි අරමුණ ය. මධ්‍යස්ථ බව මත පිහිටි ඉහත
කී මූලික බෞද්ධ ඉගැන්වීම් අනුව ගිය චින්තනය මෙන්ම චරණය ද ඇති තැනැත්තා වූ කලී
තැන්පත් ය. සංවරශීලී ය. ජයග්‍රහණයෙන් වෛරය ද, පරාජයෙන් දුක ද උපදනා බව දන්නා හෙතෙම
තරගයට එක් නොවෙයි. එබැවින් ම ජය ද, පරාජය ද නොලබයි. සුවසේ වසයි.
අතීතයට එක් වූ ඉක්මගිය දේ ගැන හෙතෙම ශෝක නොවෙයි. අනාගතයට අයත් නූපන් දේ ගැන ද හෙතෙම
අපේක්ෂා භරිතව නොතැවෙයි. වර්තමානයෙන් යැපෙන, තුටු පහටුවන හෙතෙම ප්‍රසන්න ය. මේ
වූකලී මැදිහත් සිතිවිලි ද, මැදිහත් පැවතුම් ද ඇතිව ඇති තතු ඇති හැටියෙන් දන්නා
දක්නා තැනැත්තාගේ ස්වභාවයයි. කුඩා දියපහර අවම ඇත්දැක්ම් ඇත්තේ ය. අවම හැකියාවෙන්
ඇත්තේ ය.
එහෙත් මහ හඬ ඇත්තේ ය. මහා ගංගාව වූ කලී උපරිම අත්දැකීම් සහිත ය. උපරිම හැකියාවන්
සහිත ය. එහෙත් නිහඬ ය. මැදිහත්ව දිවි මග හැඩගසා ගත් එසේ නැතිනම් බුදුදහම අනුව
ජීවිතය ගොඩනගාගත් තැනැත්තා ද මහා ගංගාවක් වැනි ය. ධර්මාවබෝධය අත්දැකීමක් කොටගත් එම
ශ්‍රාවකයා වූ කලී අකම්ප්‍ය වූ සිත් සතන් ඇත්තෙකි. හෙතෙම අටලෝ දහමින් කම්පා නොවෙයි.
පෘථිවියෙහි ගැඹුරටම සිටුවන ලද මහ ටැඹක්, ඉන්ද්‍රඛීලයක් සිව් දිගින් හමන වාත වේගයෙන්
කම්පා නොවන්නා සේ හෙතෙම සදාචාර සම්පන්න ය.
මැදිහත්ව සිතන, මැදිහත්ව පිළිවෙත් පුරන තැනැත්තා සාමකාමී ය. ඔහු කිසිදු අදහසකට
මතයකට විරුද්ධ ද නැත. අන්තගාමී නොවන හෙතෙම දැඩිව යමකට එරෙහි නොවෙයි. එසේම ඔහු
කිසිදු මතයකට අදහසකට වහල් නොවන්නෙකි.
එබැවින් යම් මතයකට තදින් පක්ෂපාතී ද නොවේ. සැබෑ මැදිහත්කම නම් විරුද්ධ නොවීම මෙන්ම
පක්ෂ නොවීමයි. පූර්ව නිගමනයකට නොපැමිණ මධ්‍යස්ථව විචාර පූර්වකව පක්ෂ විපක්ෂ අදහස්
විමසීමට ඔහුට අවස්ථාව ලැබේ. එබැවින් ඔහුට සාමයෙන් කටයුතු කළ හැකි ය.
ඇත්ත නැත්ත ඉවසිලිමත්ව විමසා තේරුම්ගත හැකි ය. ගැටුමක් ඇති කර නොගන්නා ඔහු මැදිහත්ව
සිතන බැවින් ම නිදහස්ව සිතයි. එබැවින් හැම පැත්තක්ම තේරුම්ගෙන නිවැරැදි අදහසට
එළඹීමට ඔහුට හැකියාව ද ලැබේ. |