වෙස්වලාගත්
ලෝභය
මහනුවර අස්ගිරි මහාවිහාරයේ
කාරක සංඝ සභික, උපාධ්‍යාය ධුරීන,
වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක මහාචාර්ය
තුඹුල්ලේ සිලක්ඛන්ධ හිමි
බුදුරජාණන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි දේශනා කරන වැදගත්
දේශනාවක් ලෙස වත්ථූපම සුත්‍රය හඳුන්වා දෙන්නට පුළුවන්. උන්වහන්සේ මෙහි දී හොඳ සරල
උපමාවක් යොදා ගන්නවා.
ඒ කුමකට ද? මේ සිත ක්‍රියා කරන ආකාරය හා සිත විවිධ වෙස් අරගෙන අප ඉදිරියේ පෙන්වන
මායාව දක්වන්නට යි. කිළිටි ස්වභාවයට පත් වුණු වස්ත්‍රයක් ගැන සඳහන් කරන උන්වහන්සේ
යම් රෙදි පිරිසුදු කරන අයෙක් ඒ වස්ත්‍රය විවිධ වර්ණ ගන්වන්නට ඒ ඒ වර්ණ යොදා ගෙන
මහත් වූ උත්සාහයක යෙදෙනවා. ඉතින් ඒ කොපමණ උත්සාහ කළත් ඒ වස්ත්‍රයට ඔහු බලාපොරොත්තු
වන ඒ වර්ණය ගැන්විමට සමත් වන්නේ නැහැ. ඒ මොක ද? වස්ත්‍රය මුලික වශයෙන් ම කිළිටි වී
ඇති නිස යි. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා මේ සිතේ තත්ත්වය. ඉතින් මේ නොයෙක්
අපිරිසුදු සිතිවිලි නිසා කිළිටි භාවයට පත්ව අපේ සිත පවතිනවා නම් ඒ සිතට පැහැදිලි
කුසල් සිත් ඇතුළත් කරන්නට කොපමණ උත්සාහ කළත් සිත ඒවා අල්ලා ගන්නේ නැහැ. එහි අනික්
පැත්තත් එහෙමතමා කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වා දෙනවා. ඒ විදිහට බලන කොට
ඉතාමත් පැහැදිලිව පිරිසුදු වස්ත්‍රයක් අරගෙන ඊට අවශ්‍යය යි සිතන වර්ණයක් ගැන්විමට
යම් රෙදි සෝදන අයෙක් උත්සාහවත් වෙනකොට ඒ පිරිසුදු වස්ත්‍රයට තමන් අපේක්ෂා කරන වර්ණ
පැහැදිලිව ම ගැල්විමට හැකියාව ලැබෙනවා.
ඒ වගේ තමා සිත පිරිසුදුව පවතිනවා නම් පැහැදිලි දූෂ්‍යභාවයට පත් නො වූ කුසල සිතිවිලි
මැනවින් ග්‍රහණය කර ගැනීමට පුද්ගලයා සමත් වෙනවා. ඉතින් සිත අපිරිසුදු නම් ඒ
පුද්ගලයාට දුගතියේ දොර විවර වනවා. එය කෙසේවත් වෙනස් කරන්නට බැරි බව තමා බුදු රජාණන්
වහන්සේ පෙන්වා දෙන්නේ.
ධම්මපදයේ මුලින් ම එන ගාථා පාඨ දෙකෙන් පැහැදිලි කරන්නෙත් මේ කාරණය ම යි. ඒ අනුව
අපිරිසුදු සිතින් යම් දෙයක් කරනවා හෝ කියනවා නම් එය පුද්ගලයාගේ දුක පිණිස ම
පවතිනවා. එයට පෙන්වා දෙන උපමාවත් හරි අපූරුයි. කරත්තයේ බඳීන ගොනාගේ පිටුපසින්
කරත්තය ඉදිරියට ඇදි ඇදී එනවා වගේ අපිරිසුදු සිතේ ස්වභාවය නිසා දුකත් ඔහු පිටුපස්සේ
අත් නො හැර ම ලුහු බඳීමින් එනවා, කරත්තයේ බරත් කරත්තයේ පටවා ගෙන බඩුවල බරත් ගත්තහම
එය දරා ගෙන ඉදිරියට යන ගොණුට මහ දුකක්. අනික් අතින් බලන කොට පිරිසුදු සිත මුල් වී
ඇති වන සිතිවිලි නිසා ක්‍රියාත්මක වන ක්‍රියාවන් හෝ භාවිත කෙරෙන වචන හැම විට ම
යහපතට හේතු වන නිසා එය සැප ගෙන දෙනවා. බුදුරජාණන් වහන්සේ එය උපමා කරන්නේ තමන් පසු
පස නො කඩවා දිවෙන හෙවණැල්ලට යි. හෙවණැල්ල හැම විට ම තමන්ට ලබා දෙන්නේ සුවයක්.
සැනසිමක්. සෙවණත්. ඒ වගේම යි ඒ කරන ක්‍රියා හා කතාබහ නිසා හැමවිට ම වැඩක් අර්ථයක්
සිද්ධ වෙනවා. එය සුගතිය පිණිස ම හේතු වෙනවා.
ඉතින් මේ සිත දුෂ්‍ය වෙන ආකාරයත් ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. සිත
දූෂ්‍ය කරන ප්‍රධාන කොටස් 16 ක් පිළිබඳව උන්වහන්සේ මෙම වත්ථූපම සූත්‍රයෙන් අපට
උගන්වනවා.
ඒ අනුව අභිජ්ඣාව හා විසම ලෝභය පළමුවන සිත දූෂ්‍ය කරන උපක්ලේෂය ලෙස මෙහි දී පෙන්වා
දී තිබෙනවා. මේ කියන අභිජ්ඣා හා විසමලෝභය මෙහි එකක් වශයෙන් පෙන්වා දී තිබුණත්
ඇත්තෙන් ම බැලූ බැල්මට දෙකක් වශයෙන් අපේ සිත දූෂ්‍ය කරනවා. අභිජ්ඣා යන්නෙන් අදහස්
වන්නේ අපට පුහුදුන් ගතිය නිසා ස්වභාවයෙන් ම හුරු වෙලා තිබෙන එක්රැස් කරගන්නා වස්තුව
දේපොළ පිළිබඳ අපේ සිතේ නලියන ආශාව යි. අපි හැමවිටම මේ එකතු කරන දේ පිළිබඳ
මමායනයකින් ක්‍රියා කරනවා. මෙම ස්වභාවයේ ම තවත් වර්ධනය වූ අවස්ථාවක් තමා විෂම වූ
ලෝභය. මෙහි දී ඇති විශේෂ ලක්ෂණය වන්නේ තමන් විසින් එකතු කරගෙන ගොඩ ගහගෙන ඉන්න
වස්තුව, මිල මුදල්, මුතු මැණික්, ආභරණ, යාන වාහන ආදිය ඉක්මවා පිටස්තර අය විසින්
රැස්කරගෙන තිබෙන එවැනි දේ පිළිබද, ඇති කරගන්නා ආශාව, එහෙම නැතිනම් බැඳීම. එපමණක්
නොව මෙහි තවත් වර්ධනිය අවස්ථාවක් තමා පුරුෂයෙක් නම් ඔහු විෂම ලෝභයෙන් තෙරපෙමින්
ක්‍රියා කරන කොට තමන්ගේ භාර්යාව පිළිබඳ ඇති කරගෙන තිබෙන ආශාව හෙවත් ලෝභය ඉක්මවා
අනිකුත් පුරුෂයන්ගේ භාර්යාවරුන් ගැන පවා ආශාවක් බැඳීමක් ඇති කරගෙන තවදුරටත්
ක්‍රියාත්මක වී පර ස්ත්‍රී සේවනයට පවා යොමු විම. ඒවගේ ම තමා ස්ත්‍රියක් නම් පරපුරුෂ
සේවනයට යොමු විම. මෙම සමාජ ධර්මතාවන්ට පවා පටහැනි වූ නිතියට පවා විරුද්ධ වූ
ක්‍රියාවකි. මේ ආකාරයෙන් බලන විට මෙම විසම ලෝභයේ දී පුද්ගලයා එක පැත්තකින් අනුන්ගේ
වස්තුව පිළිබඳ වූ ආශාව ක්‍රියාත්මක වනවා වගේම තමන්ගේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන
ඉන්ද්‍රියන් පිනවිමේ ආශාව වශයෙන් ද මේ විෂම ලෝභය ක්‍රියාත්මක වනවා.
වස්තුව දේපොළ රැස්කරගෙන ඒ පිළිබඳ ආශාවෙන් පෙළෙන පුද්ගලයාගේ ලක්ෂණයක් වන්නේ ඔහු තමා
රැස්කරගත් ධනය වස්තුව ඒ ආකාරයෙන් ම පවත්වා ගැනිමට දරන්නා වූ උත්සාහය යි. එහි දී ඔහු
ඒ ධනය වස්තුව තමන්වත් ප්‍රයෝජනයට නො ගන්නවා පමණක් නොව වෙනත් අයෙක් පරිභෝග කරනවාට
හරි, පාවිච්චි කරනවාට හරි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔහුට අවශ්‍ය කරන්නේ එය ගොඩ ගසා
ගෙන කාලය ගෙවීමට යි. මේ අතර අනුන්ගේ සැප සම්පත් දිහා බලා තමන්ටත් එවැනි සැප සම්පත්
ලබා ගැනීමේ දැඩි උත්සාහයක යෙදෙනවා හරි අනුන්ගේ සැප සම්පත්වලට ඊර්ෂ්‍යා කරමින් ඒවාට
ලොල් බවක් ද ඇති කර ගන්නවා. දැන් අදින්නපුබ්බක, මච්ඡරිය කෝසිය සිටාණන් වැනි අය
පිළිබඳ අපේ බෞද්ධ සාහිත්‍යයේ එන විවිධ කථා පුවත් මෙයට නිදසුන් වශයෙන් අපට යොදා ගත
හැකියි. අදින්නපුබ්බක සිටුවරයා තමන්ගේ එක ම පුතු රෝගාබාධිතව දැඩිව ගිල්නව සිටිය දී
පවා බේත්හේත් කිරීමට ධනය යෙදෙව්වේ නැත්තේ ද, පුතණුවන් මිය ගියොත් සිටුවරයාගේ මෙම
ධනය රැස්කොට ඒවා ඒ ආකාරයෙන් වැය නොකර තබා ගැනීමේ පරම ආශාව දැඩිවීම නිස යි,
මෙම ලෝභ සිතිවිල්ලේ තවත් භයාතක පැත්තක් තිබෙනවා, එය තමා තමාට ම තමන් වංචාකාරි ලෙස
ලෝභය ක්‍රියා කිරිම. මේ පිළිබඳ ඉතා පැහැදිලි විස්තරයක් අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල
මහානායක හාමුදුරුවෝ වංචකධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම නමැති ධර්මග්‍රන්ථයේ පැහැදිලිව
පෙන්වා දෙනවා. ඒ අනුව තවදුරටත් මේ ලෝභ චෛතසිකයේ ස්වභාවය විමසා බැලුවොත් නිදසුනක්
විදිහට සාමාන්‍යයෙන් ලෝකයේ විවිධ ගුණධර්ම නිසා කිර්ති ප්‍රශංසා ලබන අය ප්‍රසිද්ධ
වෙනවා. අපි සිතුවොත් දුගී මගි අසරණ පිරිස්වලට විවිධ පරිත්‍යාග කරමින් ඔවුන් නගා
සිටුවිමට ඇතැම් උදවිය මහත් උනන්දුවකින් ක්‍රියා කරන ආකාරය. මේ ගැන බලන යම් කෙනෙක්
තමන්ටත් එවැනි කීර්තියක් ප්‍රසිද්ධියක් අපේක්ෂා කරන අයෙක් ඒ විදියට ම අසරණ පිරිස්
සඳහා එසේ පරිත්‍යාගශීලි ව ක්‍රියා කරනවා නම් ඒ තුළින් ලෝභය යටපත් වූවා යයි කියන්නට
බැහැ. සත්‍ය වශයෙන් ම සිදු වී තිබෙන්නේ කිර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් කරන ලද එම
පරිත්‍යාගයන් ඔහුගේ ආශාව, තෘෂ්ණාව හෝ එසේත් නැතිනම් ලෝභය තවදුරටත් වර්ධනය වීම යි.
මේ ආකාරයෙන් ලෝභය නමැති චෛතසිකය වංචක ලෙස ඉදිරිපත් වී ක්‍රියා කරන්නට හැකියාව
පවතිනවා. ඒ අනුව බාහිර පෙනුම තුළින් කුසල සිතිවිල්ලකි. යථාර්ථ වශයෙන් පැවතී ඇත්තේ
අකුසල සිතිවිල්ලකි. මෙපමණක් ම නොවේ මේ ලෝභය නම් වන චෛතසිකය මේ ආකාරයෙන් තවත් විවිධ
පැති කඩ ඔස්සේ ලෝභය අඩු කරගන්නට යයි අප විසින් සිතා ක්‍රියාත්මක කරන ඇතැම්
ක්‍රියාවන් අපේ තෘෂ්ණාව වෙනත් ආකාරයෙන් වැඩි වන ලෙස ක්‍රියාත්මක වෙනවා.
ලෝභයට ප්‍රතිවිරුද්ධ සිතිවිල්ල අත්හැරීම යි. හෙවත් දානය යයි. අපි සාමාන්‍යයෙන්
භික්ෂූන් වහන්සේට දානය දෙන්නේ මේ අත්හැරීම කියන සිතිවිල්ල මත සිට යි. යම් දායක
මහත්මයෙක් විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයට විවිධාංගයෙන් සම්පුර්ණ වූ
මහාදානයක් දෙනවා. එහි දී ඔහු බලාපොරොත්තු වෙනවා නම් එම ප්‍රතිග්‍රාහක භික්ෂූන්
වහන්සේ ලවා මහජනකායක් මැද තමන්ගේ දානය ගැන හෝ තමන් ගැන නර්ණනාවක් කර ප්‍රසිද්ධියක්
ලබා ගැනිමට. එයිනුත් සිදු වී තිබෙන්නේ ලෝභය හෙවත් ගුණවර්ණනා පිළිබඳ ආශාව තියුණු වීම
යි. මෙය බරපතළ කෙලෙස් සහිත තත්වයක්. මෙයිනුත් සිදු වී තිබෙන්නේ වංචනික තත්වයක්. මේ
අනුව ඉතා නිවැරැදි වදැනගෙන ම ලෝභය යටපත් කර ගැනිමට පරිත්‍යාගය හෙවත් දානය සිදු කළ
යුතු වෙනවා. |