[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහ බෝසතාණෝ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක

මහ බෝසතාණෝ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක

සම ගැලවී විසිර ගියත් බුදු වී මිස නොනැගිටිමි. නහර ගැලවී විසිර ගියත් බුදු වී මිස නොනැගිටිමි. ඇට ගැළවී විසිරී ගියත් බුදුවී මිස නොනැගිටිමි. මස්, ලේ වියළී ගියත් බුදු වී මිස නොනැගිටිමි.

අප මහ බෝසතාණෝ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා සිද්ධාර්ථ කුමරා යන ගිහි නාමයෙන් මෙලොව උපත ලැබී ය. රම්‍ය, සුරම්‍ය, සුබ සහ තමනට හිමි වූ රාජකීය කිරීටය ද සියලු රාජකීය සැප සම්පත් ද අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත ලා විමුක්තිය සොයන අධිෂ්ඨානයෙන් වනගත විය. පුරා සයවසරක් දුෂ්කර ක්‍රියා කර සයවැනි වර්ෂ අවසාන දිනයක එනම්, වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට පෙරදින රාත්‍රියේ සිදුහත් තවුසාණෝ සිහින පහක් දුටහ.

එනම්,

මහපොළොව ම යහනක් විය. හිමාලය පර්වතය කොට්ටය විය. උඩුකුරුව නිදන බෝසතාණන් වහන්සේගේ දකුණත අවර සයුරෙහි ද, වමත පෙර සයුරෙහි ද , පා දකුණු සයුරෙහි ද තිබෙනු දුටුහ.

සිදුහත් තවුසාණන්ගේ නාභියෙන් රතු ඊතණ ගසක් ඉතා උසට නැගී අහස පුරා පැතිර යනු දුටුහ.

කළු හිස් ඇති සුදු පණුවෝ පාමුලින් නැගී දණහිස දක්වා වසා ගනු දුටුහ.

නා නා වර්ණ ලිහිණියෝ සිව්දෙනෙක් සතර දෙසින් පියඹාවිත් උන්වහන්සේගේ පාමුල වැටී සුදු පැහැති වනු දුටුහ.

අශූචි ගොඩක අශූචි නොගෑවී සක්මන් කරනු දුටුහ. තමන් වහන්සේට ස්ථිර වශයෙන්ම බුද්ධත්වය අවබෝධ වීමේ පෙර නිමිති බව අවබෝධ කොටගත් උන්වහන්සේ පසුදින අජපාල නම් නුගරුක මුල පෙරදිග දෙස බලා සමාධිගත වූහ. එම මොහොතේ දී සුජාතා සිටු දේවිය ද පුණ්ණ නම්, දාසිය සමඟ පැමිණ පෙර වූ බාරයන් ඔප්පු කිරීම සඳහා රන්තලියෙහි බහා ලු කිරිබත් බුදු බව පතනා සිදුහත් බෝසතාණන් වහන්සේට පූජා කළහ. බෝසතාණන් වහන්සේ නේරංජනා ගං තෙරට වැඩම කොට ස්නානය නිමවා දන් වළඳා ඉදින් බුදු වන්නේ නම් මේ ස්වර්ණ පාත්‍රය උඩුගම් බලා යේවායි අධිෂ්ඨාන කළහ. පාත්‍රය උඩුගම් බලා ටික දුරක් ගොස් දියේ ගිලුණි. දවල් වළඳා වනයෙහි වෙසෙමින් ආලාර කාලාම, උද්දකරාම පුත්ත යන ගුරුවරුන්ගෙන් උගෙන

දුෂ්කර ක්‍රියා කරන සමයෙහි අමතකව ගිය පංචාභිඥා සහ අෂ්ටසමාපත්ති මෙනෙහි කරමින්, කුසතණ මිටි අට බිම අතුරා අපරාජිත පර්යංකයෙන් , චතුරංග සමන්තාගත වීර්යයෙන් අධිෂ්ඨානකොට නැගෙනහිර දිසාව බලා වජිරාසනයෙන් වැඩ උන්හ. අපරාජිත පර්යන්කයෙන් චතුරංග සමන්තාගත වීර්යය අධිෂ්ඨාන කොට වැඩ හිඳීම යනු,

සම ගැලවී විසිර ගියත් බුදු වී මිස නොනැගිටිමි.

නහර ගැලවී විසිර ගියත් බුදු වී මිස නොනැගිටිමි. ඇට ගැළවී විසිරී ගියත් බුදුවී මිස නොනැගිටිමි. මස්, ලේ වියළී ගියත් බුදු වී මිස නොනැගිටිමි.

යනුවෙන් මෙසේ අංග සතරෙන් යුත් වීර්යය චතුරංග සමන්නාගත වීර්යය නම් වේ. බෝසතාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් උන්වහන්සේගේ සිරුරෙන් පිටතට ආලෝක ප්‍රභාව විහිදෙන්නට විය.

පරිසරය පුරා සුබ නිමිති පහළ විය. මාරයා, මාර දූවරු දසමාර සේනාව සමඟ කළ මහා සටනින් පරාජය වී යන ආකාරය දුටු දේව, බ්‍රහ්ම ආදීහු බෝසතාණන් වහන්සේගේ විජයශි‍්‍රය දැක නිදුකාණෙනි, සිද්ධාර්ථයන් වහන්සේට ජය ය. අසිද්ධාර්ථ වූ මරහට පරාජය ය. ජයමංගල්‍යය ද, බුද්ධ මංගල්‍යයද එකට කරන්නෙමුයි කියා එකවර අවුත් සිද්ධාර්ථ තාපසයන් වැඩසිටි බෝමැඩ වටා රැස්වූහ.

අපමහා බෝසතාණෝ පළමු, දෙවැනි, තෙවැනි හා සිව්වැනි ආනාපානසති ස්මෘති කර්මස්ථානයෙන් ධ්‍යාන ලැබූහ. පසුව ධ්‍යානයෙන් මිදී සත්ත්වයාගේ අතීත ආත්ම භාවයන් සිහිපත් කරන්නට වූහ. මේ ආකාරයෙන් සත්ත්වයාගේ අතීත ජාතීන් සිහි කරන විට ඒ ඒ සත්වයින්ගේ අතීත භව මෙනෙහි වන්නට විය. එය තවදුරටත් වර්ධනය කරගනිමින් ගැඹුරට පැමිණ කෙල සුවහස් ගණන් සත්ත්වයන්ගේ අතීත භවයන් දුටුහ. මෙලෙස මෙනෙහි කරන බෝසතුන්ට රාත්‍රියෙහි පූර්ව යාමයේ එක දිගටම මෙනෙහි කිරීම නිසා මනසෙහි පෙර විසූ කඳ පිළිවෙළ වසාලන මෝහය දුරු වී ගියේ ය. ඒ හේතුවෙන් බෝසතාණන් වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානය පහළ විය.

අප මහා බෝසතාණන් වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානය අවබෝධ වූ පසු සියලු සත්ත්වයන්ගේ අතීත භවයන් මෙනෙහි කරන්නට විය. එවිට සත්ත්වයා සංසාරයේ ඉපදෙමින් මැරෙමින් අනේක විධ වධ බන්ධනයට ගොදුරු වන ආකාරය අවබෝධ කොට ගත්හ. ඒ අනුව විංසත් වස්තු සක්කාය දෘෂ්ටිය නැති වී ගියේ ය. ඒ වනාහි බෝසතාණන් වහන්සේ ලැබූ දිට්ඨි විසුද්ධියයි.

අප මහා බෝසතාණන් වහන්සේ මධ්‍යම රාත්‍රියේ දී ආනාපාන චතුර්ථ ධ්‍යානයට සමවැදී වැඩ උන්හ. ඉන් නැගී සිට සත්ත්වයාගේ චුති උප්පත්තිය හෙවත් මරණය හා නැවත උපත බැලීමට මනස යොමු කළහ. එසේ උන්වහන්සේ ප්‍රඥාවෙන් බලනකල මරණයට ඉතා ළං වූ ද, ඒ ක්ෂණයෙහිම පිළිසිඳ ගන්නා වූ ද, කළ කර්මය අනුව සුගති දුගති දෙකෙහි මැරෙන උපදින සත්ත්වයෝ දුටහ. මෙවැනි ආකාරයට සත්ත්වයන්ගේ චුති උප්පත්තිය දැකීමෙන් එයට අදාළ මෝහය දුරු වී ගොස් මම අතීතයේ සිටිය ද නැද්ද යනාදී සොළොස් ආකාරයෙන් ඇති වන සැකය දුරු වී ගියේ ය.

තුන්වැනි රාත්‍රි යාමය උදාවීමත් සමඟ අප මහා බෝසතාණෝ ආනාපානසති චතුර්ථ ධ්‍යානයට සම වැදුනාහ. එහිදී මිනිසාට හටගෙන ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ස්කන්ධ පංචකය මෙනෙහි කරන සේක්, ධූලි අංශු මාත්‍රයේ සිට ක්‍රමික වර්ධනය හා විනාශය ද මෙනෙහි කරමින් අනිච්චානුපස්සනාවෙන් නිත්‍ය සංඥාව ද, දුක්ඛානුපස්සනාවෙන් සුඛසංඥාව ද, අනත්තානු පස්සනාවෙන් ආත්ම සංඥාවද, විරාගානු පස්සනාවෙන් රාගය ද, නිබ්බිදානු පස්සනාවෙන් නන්දියද, නිරෝධානුපස්සනාවෙන් සමුදය ද, පටිනිස්සග්ගානුපස්සනාවෙන් ආදානයද දුරලු සේක.

නැවත සියලු සංඛාර නාමරූප වශයෙන් ගැඹුරින් විමර්ෂණය කරන උන්වහන්සේට ආලෝක, පීති, පස්සද්ධි, ඥාන, ශ්‍රද්ධා, සති, සුඛ, උපේක්ෂා, වීරිය, නිකන්ති යන විදර්ශනා උපක්කිලේස පහළ විය.

පීති ධර්ම නුවණින් බැලූ සේක. තෘෂ්ණාව දෘෂ්ටි අරමුණු බැවින් මාර්ග නොවී ය. විදර්ශනෝත්පත්ති ලෙස වෙති. එයින් මිදී විදර්ශනා මාර්ගයට පිළිපන් නුවණ මාර්ග වේ. මෙසේ මග්ගා මග්ග ඤාණදස්සන විසුද්ධිය පහළ වූ සේක.

විදර්ශනා මාර්ගය මෙනෙහි කරන බෝධිසත්වයන් වහන්සේට ස්කන්ධ හටගැනීම සහ විනාශය පිළිබඳ ඥානය වූ උදයව්‍යය ඥානය පහළ වූහ. සත්ත්වයාගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ ගැඹුරින් මෙනෙහි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එම ඥානය පහළ විය. මෙසේ අප මහා බෝසතාණන් වහන්සේ සත්ත්වයා පිළිබඳව විවිධාකාරයෙන් මෙනෙහි කළ කල්හි ඒ ඒ කේෂ්ත්‍රයට අදාළ ඥාන පහළ වූ හ. එනම්, හටගැනීම හැර විනාශවීම පමණක් දකින ඥානය වූ භංගානුපස්සනා ඥානය, භයතෝ පටියාන ඥානය විනාශ වීම වශයෙන් ඉදිරියෙහි පෙනී සිටිනා, තෛ‍්‍රභූමික ධර්මයෙන් උවදුරු වශයෙන් දැකීම, මුංවිතුකාමාතා ඥානය, දොස් දුටු තෛ‍්‍රභූමික ධර්ම කෙරෙහි කලකිරීමෙන්, ඉන් මිදෙනු කැමැතිව එය දැකීම, පටිසංඛානුපස්සනා ඥානය, මිදෙන උපාය සම්පූර්ණ කරනු පිණිස යළි යළි සමිවර්ශනය කිරීම වශයෙන් පවත්නා නුවණ නම් වේ. ඒ ඒ කේෂ්ත්‍රයට පහළ වන්නා වූ ඥානයෝ ය. අප මහා බෝසතාණෝ අර්හත්ව මාර්ග ඥානයෙන් ද, සිව්පිළිසිඹියායෙන් ද ෂඩ් අසාධාරණ ඥානයෙන් ද, තුදුස් බුද්ධ ඥානයෙන් ද, අටළොස් ආවේණික ධර්මයෙන් ද, දස බලවලින් ද, චාතුර්වෛශාරද්‍ය ඥානයෙන්ද බුද්ධ ගුණයේ සමෘද්ධ වූහ. මේ ආකාරයෙන් එදින රාත්‍රිය පහන් වී උදෑසන සූර්යයා අරුණාලෝකයෙන් නැගී එන මොහොතේ ලෝධා එකළු කරමින් , සුබ නිමිති පහළ කරමින් සකල ක්ලේස විද්වංශනය කරමින් නිරුත්තර සම්‍යක් සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.10 ට ලබයි.19 වන දා ඉරිදා පූර්ව භාග 02.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම මැයි මස 18 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි 26 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]