[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිළිවෙත් සුපිපි හද කුසුමින් බුදු සිරිපා පුදමු බැතින්

පිළිවෙත් සුපිපි හද කුසුමින් බුදු සිරිපා පුදමු බැතින්

බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී,
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද,
අභිධර්මය පිළිබඳ කථිකාචාර්ය,
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
බලංගොඩ රාධ හිමි

කලාතුරකින් නමුත් මුණ ගැසෙන කාරුණික, ගුණබර මිනිසුන්ගේ ඇසුර නිසා දුර්ජනයන්ගේඇසුරින් ලද අනේකවිධ සිත් තැවුල්-පීඩා-කරදර-හිරිහැර පහව ගොස් සිතට දැනෙන ශාන්තිය වචන වලින් කිව නොහැකි ය. උපතින් කිසිවෙකුත් ලොව සජ්ජනයෙකු හෝ දුර්ජනයෙකු නොවන අතර සත් පුරුෂයන් හා එකට විසීමෙන් සාමකාමී මිනිසුන් බිහිවේ. ලාමක අදහස් ඇති උදවියගේ ඇසුර ලැබූවෝ ප්‍රචණ්ඩකාරී සාහසිකයෝ වෙති.

බුදුරජාණන් වහන්සේ නම් වූ මහා කාරුණිකයාණන්ගේ ඇසුර ලැබූ අපමණ දෙවි මිනිස් පිරිසක් බොහෝ කලක් මුළුල්ලේ මුළු ලොවටම කරුණා සුවඳ පතුරවා ලබාදුන්නේ සව් සතුන්ගේම සිත් සුවපත් කරන ධර්ම දායාදයකි. එහෙත් අද වන විට ලෝකාමිසයට ගිජු වී අසත්‍ය වූද පාපී වූද මිත්‍යා අදහස් දරණ මිනිසුන්ගේ අධර්ම දායාදයන්ට හසුවූවන් තමනුත් නසා අනුන්ගේ ද ජීවත්වීමේ අයිතිය පැහැර ගන්නේ ලේ-මස් බුදින රකුසන් ලෙසිනි.ඉමක් කොනක් නොපෙනෙන ගල් පර්වතයකට වඩා මිට මොලවා ගත හැකි දීප්තිමත් මැණික් කැටයකට ලැබෙන වටිනාකම දන්නේ ඇස් ඇත්තවුන් පමණි. එලෙසින්ම හිංසනකාරී ආකල්පධාරී ආගමික නායකයන් අතර බුදුරදුන්ගේ වටිනාකම දුටුවෝ යම් පමණකට හෝ දැන අවබෝධ කර ගත්

දහම් මිහිර ඇති ඤාණවන්තයෝ ය. දුර්ලභ බව, දිදුලන බව, ශක්තිමත් බව ආදී කරුණු නිසා ගල් බොරළු අතර මිණි කැටයක් අසම සම වන්නා සේ දෙවි මිනිසුන් සහිත ලෝකය තුළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අසම සම වන සේක. කල්ප කෝටි ගණනකගේ ඇවෑමෙන් පහළ වීම, අලංකාර දේහ රශ්මීන් හා අපමණ ප්‍රඥාලෝකයක් හිමිවීම; අෂ්ඨලෝක ධර්මයෙන් අකම්පිත භාවය ආදී කරුණු නිසා භාග්‍යවතුන් වහන්සේ මාණික්‍ය රත්නයකට උපමා ඇති සේක. එහෙත් එම මාණික්‍ය දෙවි මිනිසුන් බඹුන්-මරුන් සහිත ලෝකයේ කිසිදු මිණි කැටයකට සම කළ නො හැක. එබැවින් ලොව පහළවන එකම අසහාය රත්නය බුද්ධරත්නයකි.

ශත වර්ෂ කිහිපයකට පෙර උතුරු දඹදිව කිඹුල්වත් නම් රමණීය රජ දහනක් විය. එහි අගරජු හා අග රැජිණිය වූයේ සුද්ධෝදන හා මහාමායා දෙපළයි. අනූපම රජ සිරියෙන් කල් ගෙවූ ඔවුන්ට දාව රන් රුවකට හෝ උපමාකළ නොහැකි අසිරිමත් පුත් කුමරෙකු පහළ වූයේ නගරාසන්නයෙහි වූ ලුම්බිණි සල්වනයේ දී ය. එදින හරියටම අදවන් වෙසක් පුන් පොහෝ දිනයකි. උදාහිරු මුදා හළ රක්ත වර්ණ රැස් ධාරා, මුල පටන් අග දක්වා මල් පිපුණ සල් තුරු අතරින් බිම පතිත වනවිට හමා එන සුගන්ධ මාරුතයට මුසු වූ මල් සුවඳ හාත්පස පැතිර යද්දී දෙවි මිනිසුන්ගේ සාධුකාර මැද මෙලොව එළිය දුටු ඒ පින් ඇති පුත් කුමරු අප මහා සිද්ධාර්ථ බෝසතාණෝ ය. දස දහසක් සක්වල භූ තලයන් කම්පා කරවූ ඒ පින්බර මොහොත අනන්ත සක්වල දෙවි බඹුන්ට පවා ප්‍රීති දායක වූයේ කල්ප ගණනක මොහඳුර නසන හිරු මඬලේ උදාව සියැසින්ම දුටු හෙයිනි. එතැන් පටන් පුරා වර්ෂ තිස් පහක් ගෙවුන පසු එක් රාත්‍රියක නුඹ ගැබ අරා නැගි වෙසක් සඳුගේ සිසිල් කිරණ පතිත වූ උරුවෙල් ජනපදය,නේරඤ්ජනා නදී තෙර, බුද්ධගයා පින් බිම ඇතුළු මිහි මඬලම දැහැනකට සම වැදුන ශාන්ත වේෂධාරී තව්සෙකුගේ සිරි ඉසිලී ය.

පුරා සය වසරක දුෂ්කර ක්‍රියාව අවසන් කළ අප මහා සත් සිරි සිදුහත් උතුමාණෝ එදින සැන්දෑ යාමයේ මහා බෝධි මූලයෙන් නැගුණ වජ්‍රාසනාරූඪ වූයේ වෙසඟේ සිරි වඩාත් අසිරි කරමිනි. දෙවි බඹුන්ගේ සාධු නාද, තුති පූජා, මල් වැසි, පසඟතුරු ගොස, ඇතුළු අනේක විධ පූජා පැවැත්වෙද්දී එහි පැමිණි දස බිම්බරක් මර සෙනගකගේ එඩි බිඳීනු රිසි මහා බෝසතාණෝ පාරමී ධර්ම සම්මර්ශණයෙහි යෙදුනහ. එවිට පැළී ගිය මිහි මඬලේ සිටගත නොහැකි වූ, නව මහා වැසි වස්සවා වෙහෙසී සිටි පාපී මාරයා ඇතුලු පිරිස හිස් ලූ ලූ අත පළා ගියෝය. මරුට බියෙන් සැඟව ගිය දෙවි බඹු පිරිස නැවත ද අනේක විධ පූජා දැක්වීමට පටන් ගත් පසු අප මහා බෝසතාණෝ කුඩා කල දඹගස් සෙවනේ දී උපදවා සමවැදුන ආනාපානසති ධ්‍යාන පිළිවෙළින් අෂ්ඨ සමාපත්ති උපදවා ගත්හ. අනතුරුව අභිඥා නම් වූ සුවිශේෂී ඤාණයන්ගේ ආරම්භක අවස්ථාවක් වන පෙර විසූ ස්කන්ධ පරම්පරාව දක්නා නුවණ පහළ කරගත්හ. ඒ මොහොත වෙසක් පුන් පොහෝ දින රාත්‍රියේ පූර්ව යාමයයි. කෙළවරක් නැති අතීත සංසාරයේ ජාති-මරණ පරිවර්තය දුටු බෝසතාණෝ අන් සත්වයන්ගේ ද ඉපදීම්, චුතවීම් දක්නා දෙවන විද්‍යාව වන චුතූපපාත ඤාණය පහළ කරගත් සේක් රාත්‍රියේ මධ්‍යම යාමය උදාවිය.

ඔබ මා සේ ම අසරණ ලෝ සතුන් ඉපැදෙමින්, මියැදෙමින් ඒ ඒ ගතීන්ට යනු දුටු අපගේ මහා වීරයාණෝ ඊට ඇති එකම විසඳුම වන ඉපදීම නැති කිරීම උදෙසා, ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම පිණිස මොනවට සමාහිත වූ සිත යොමු කළහ. එය සැබවින්ම ජාති-ජරා-මරණාදී එකළොස් ගින්නකින් ඇවිලගත් සංසාර මරු කතරට මහා වැසි වැටෙන මංගල මුහුර්තය විය. රාත්‍රියේ අවසන් යාමය උදාවිය. සිසිල් මද පවන, බැස යන වෙසක් සඳ, දෙවි බඹුන්ගේ අපමණ පූජා ආදී අනේකවිධ පෙළහර මැද මහා සත්වයන් වහන්සේ අනුලෝම ලෙසින් ද, ප්‍රතිලෝම ලෙසින් ද පටිච්ච සමුප්පාදය මෙනෙහි කළහ. අනතුරුව ආශ්‍රව හෙවත් දුක්ඛය ද, ආශ්‍රව සමුදය හෙවත් දුක්ඛ සමුදය ද, ආශ්‍රව නිරෝධය හෙවත් දුක්ඛ නිරෝධය ද, ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හෙවත් දුක නැති කරන මාර්ගය ද යන මේ චතුරාර්ය සත්‍ය ආකාර දොළොසකින් අවබෝධ කොට වදාළ අප මහා බෝසතාණෝ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක පාරමී ගමන මහී ගර්ජනා සහිතව අවසන් කරමින් අනන්ත ඤාණ-ගුණ-බල පරිවාර කොට ඇති ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත්වී වදාළහ.

එතැන් පටන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෑම නිමේෂයක්ම ගතකළ සේක් ලෝ සතුන්ගේ සංසාර දුක්ගිනි නිවාලන්නට ශ්‍රී සද්ධර්මය දේශනා කළහ. ඊට සවන් දී මගඵල නිවන්සුව අවබෝධ කරමින් අභිනවයෙන් පැවිදි උපසම්පදාව ලැබූ ශ්‍රාවකයා වීමේ භාග්‍ය ලැබූයේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහා රහතන් වහන්සේ ය. එය භික්ෂු ශාසනයෙහි ආරම්භය විය. මහා ප්‍රජාපතියගෙන් අරඹන ලද කාන්තා පැවිද්ද නිසාවෙන්; එවක බමුණු සමාජය විසින් අවුරන ලද කාන්තා අයිතීන් මෙන්ම ඔවුන්ගේ විමුක්තිය ද අරහත් ඵලයෙන් කුළුගැන්වූ සේක. සත් හැවිරිදි දරුවාගේ පටන් බඹලොව බ්‍රහ්මයන්ටද එකසේම අවබෝධ කළ හැකි වන ලෙස පරම ගම්භීර ධර්මයක් සරල සුගම භාෂා මෙවලම් මාර්ග යෙන් උගන්වා වදාළ බුදුරජාණන් වහන්සේගේ අමරණීය ශ්‍රී නාමය අනන්ත සක්වල පැතිර ගියේ ය. අටලෝ දහමින් අකම්පිතව සියල්ලට මුහුණ දුන් බුදුරජුන්ගේ සම්බුද්ධත්ව ජීවිතය පුරා වර්ෂ සතළිස් පහක් තරම් කෙටි කාලයකට සීමා විය. එහෙත් බුදු සිරි මුවමඩලින් ඇද හැළුණ ධර්ම මහෝඝයෙහි කිසිදු අඩුවක් නොවී ය. අනුමාත්‍ර නමුත් පාපය අනුමත නොකළ තථාගතයන් වහන්සේ පින ස්වල්ප යැයි අවමන් නොකළ යුතු බව අවධාරණය කළේ ගද්‍ය වශයෙන් ද පද්‍ය වශයෙන් ද උන්මිශ්‍ර වශයෙන්ද සිදුකරන චිත්තාකර්ශනීය දේශනා මාර්ගයෙනි. බුදුරදුන්ගේ ධර්ම දේශනාවන්ගෙන් සුපහන් සිත් ඇති සැදැහැතියෝ බුදුන් ප්‍රමුඛ පැවිදි ශ්‍රාවක-ශ්‍රාවිකාවන්ට ආහාර පාන, වස්ත්‍ර, වාසස්ථාන, ඖෂධ, ඇතුළු පැවිදි දිවියකට අවැසි සියල්ලම අඩුවක් නොමැතිව පරිත්‍යාග කළහ. රජ-සිටු-මැතිවරු කෝටි ගණන් ධනය බුදු සසුනෙහි විසිරවූ අතර; සිඟා කන දුගියා පවා තමාට ලැබුණ බත් පත ද බුදු සව්වන්ට පරිත්‍යාග කළ අවස්ථා සුලභ විය.

ලාභ සත්කාර සම්මාන වලින් අතරක් නැතිව බුදුරදුන්ගේ යශෝරාවය දිගන්තයේ පැතිර ගියේ සුවඳ මඳ පවනක් ලෙසිනි. උපතින් අසූවැනි වියට එළැඹෙන බුදුරදුන්ගේ සතළිස් පස් වර්ෂයක ධර්ම ප්‍රචාරයන් සියලු දුක් ගෙවන් කොට ධර්මාවබෝධ ලැබූවෝ සංඛ්‍යා පථයකින් පමණ කළ නොහැකි වූහ. සෑම සංඛත ධර්මයකටම ආරම්භයක් මෙන්ම අවසානයක් ඇත. දෙවි මිනිසුන්ගේ දෑස් කඳුළු සයුරක ගිල්වමින් ඒ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන සාල වනයට වැඩියහ. පායා බැසයන වෙසක් සඳේ මලානික කිරණ නැමී කෙමෙන් කෙමෙන් මැකී යද්දී යළි කිසිදා නොනැගිටින ලෙස සැතපී වදාළ ධර්මරාජයාණෝ පිරිනිවන් වඩිමින් අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනයෙහි යෙදෙන ලෙස අනුශාසනා කළහ.

තථාගත ධර්මයට අනුව පුද්ගලයෙකුගේ ගුණාත්මක භාවය මනින ප්‍රධාන සාධක තුනක්හඳුනා ගත හැකි ය. ඉන් පළමු වැන්න සීලයයි, දෙවැන්න සමාධියයි, තුන්වැනිව ප්‍රඥාවයි. කාය-වාග් සංවරය, යහපත් ආචාරධර්ම, සිරිත්-විරිත් සීලය වශයෙන් කෙටියෙන් හැඳීන්විය හැකි අතර සමාධිය වශයෙන් පෙන්වන්නේ චිත්තේකාග්‍රතාවයි. එමගින් පුද්ගල මනසක් සංසිඳීමට හා සමනයට පත්කර සමගිය, සහජීවනය, ඉවසීම වැනි ලෞකිකාර්ථයන්ද, සාධනය කරන නිසා සමාධිමත් සිතක ඇති අසිරිය ඉමහත් ය. ප්‍රඥාව යනු බුදු සසුනකින් පමණක් ලැබෙන අසමසම ධර්ම දායාදය යැයි කිව හැකි ය. එනම් මාර්ගඵල ප්‍රතිවේදයට හේතුවන විදර්ශනා භාවනාවයි. මාර්ගඵල ප්‍රඥාව ද මීටම ඇතුළත් වන අතර බුදු මගෙහි පරම නිශ්ඨාව වන නිර්වාණාවබෝධය යනු ප්‍රඥාවේ කෙළ පැමිණීමයි.

එම උත්තමාර්ථය ලබනු රිසි බුද්ධ ශ්‍රාවකයා ඒ සඳහා පාරමී ධර්ම නම් ගුණ ධර්ම සම්භාරයක් අවශ්‍යයෙන්ම සම්පාදනය කර තිබිය යුතු ය. එහෙත් ධර්මාවබෝධය සඳහා ප්‍රමාණවත් කැපකිරීමක් නොමැතිව අපට පාරමී මදි යැයි කිසිවෙකුටත් කිව නොහැකි ය. ආමිස සහ ප්‍රතිපත්ති පූජා වශයෙන් දෙවැදෑරුම් වූ පාරමී ධර්මයන්හි දානය බොහෝ සෙයින් ආමිස පූජාවක් වන අතර සීලය, නෙක්ඛම්මය ආදී සෙසු ගුණ ධර්මයෝ ප්‍රතිපත්ති පූජා ගණයට අයත් වේ. එසේ ආමිසයෙන් තොර ප්‍රතිපත්තියක් හෝ ප්‍රතිපත්තියකින් තොර ආමිසයක් හෝ තිබිය නොහැකි ය. ද්‍රව්‍යමය දෑ පූජා කරමින් සිදුකරන ආමිස පරිත්‍යාගයට වඩා සීලාදී ගුණ පිළිවෙත්හි පිහිටා කෙරෙන ප්‍රතිපත්ති දානය උතුම් වේ. මන්ද යත් චිත්ත පාරිශුද්ධියට හෙවත් කෙලෙස් ප්‍රහාණයට සෘජුවම හේතුවන්නේ ප්‍රතිපත්තියයි.

ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරදුන් සතුටු කරන්නා සැබෑ බෞද්ධයෙක් බවත් ධර්මාවබෝධය ලැබීම් වශයෙන් ඔහු බුදුන් දකින බවත් වදාළ බුදුරජාණන් වහන්සේ සීලාදී ගුණයන්ගෙන් තොරව සිදුකරනු ලබන කිසිදු ආමිස පූජාවක් අගය නොකළහ. අසිරිමත් සම්බුදු තෙමගුල සිහිකරන මේ වෙසක් සමයේ, ලක්වාසී බොදුනුවන්ට වෙනදා මෙන් නිදහසේ ආමිස පූජා සිද්ධ කිරීමට නොහැකි වී ඇත. එහෙත් බෞද්ධයන් ලෙස අප කිසිසේත්ම පසුබට නොවිය යුතුයි. ප්‍රතිපත්තියෙන් බුදුන් පිදීමට මෙය අවස්ථාවක් කරගතහොත් එමගින් වෙන කවරදාකටත් වඩා අධ්‍යාත්මික දියුණුවකට මග පෑදෙනු ඇත. බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව හා මරණ සතිය වැඩීම මගින් තමාටත්, අනුන්ටත් එකසේ ම සාමය සහජීවනය ලබාදිය හැකි අතර පෙරළා වෛර කිරීම්, එකට එක කිරීම් ආදී මුරණ්ඩුකම් දුරු කිරීම ම පිවිතුරු සම්බුද්ධ පූජාවක් වේ. සැරසිලි, තොරණ, දන්සැල, භක්ති ගීත ප්‍රසංග ආදිය මගින් සිදුකරන බුද්ධ පූජාවට වඩා දහස් ගුණයකින් බලවත් සම්බුද්ධ පූජාව වන්නේ සමථ-විදර්ශනා භාවනාව බව සිහිකළ යුතු ය.

රූපාදී ස්කන්ධ පංචකය අනිත්‍ය වශයෙන් බලමින් ද, චක්ෂුරාදී අධ්‍යාත්මික ආයතන හා රූපාදී බාහිර ආයතන අනාත්ම වශයෙන් ද බලමින් වාසය කිරීම මගින් අනාත්ම සංඥාව ප්‍රගුණ වී විදසුන් නුවණ දියුණු වනු ඇත. මාර්ගඵල ප්‍රතිවේදයට මාර්ගය ද එයම වන නිසා මේ වෙසක් සමය වෙනදාටත් වඩා උද්යෝගීමත්ව සීල-සමාධි-ප්‍රඥා ගුණ අභිවර්ධනය කරගැනීමට යොදාගැනීම මුළු රටටත්, ජාතියටත් ඉමහත් ශාන්තියක් සැලසීමකි.

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.10 ට ලබයි.19 වන දා ඉරිදා පූර්ව භාග 02.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම මැයි මස 18 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි 26 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]